ජනපති මැදුරෙන් සොයාගත් මුදල්

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් එක්කෝටි හැත්තැ අට ලක්ෂ පනස්දහසක මුදල තමන් විසින් අසරණ ජනතාවට බෙදා දීමට සූදානම් කර තිබුණු මුදලක් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කර ඇත. ඒ මේ පිළිබඳ ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පෙබරවාරි 06 වැනි දින ඒ මහතාගේ නිවෙසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත ප‍්‍රකාශයක් ලබා දෙමින්ය. අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැය 3ක් ප‍්‍රශ්න කර මේ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම මුදල හිටපු ජනාධිපතිවරයා වෙත නැවත භාර දීමට නියෝග කරන්න යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර පෙබරවාරි 08 වැනි දා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥවරු එම ඉල්ලීමට දැඩිලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කළහ. ඒ එම මුදල් උපයාගත් ආකාරය හෝ ඔහුට එම මුදල් ලැබුණු ආකාරය පිළිබඳ කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප‍්‍රකාශයෙන් අනාවරණය නොවන බවත් එම මුදල් උපයාගත් ආකාරය පිළිබඳ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විධිමත් විමර්ශනයක් කර නොමැති බවත් ප‍්‍රකාශ කරමින්ය.

මේ සම්බන්ධයෙන් කිසියම් විමර්ශනයක් සිදුවන්නේ දැයි අප අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයෙන් කළ විමසීමේ දී එහි වූ නිලධාරිනියක් ප‍්‍රකාශ කළේ එවැනි විමර්ශනයක් පැවැත්වීම සඳහා අධිකරණයෙන් පොලිසියෙන් හෝ වෙනත් කිසිදු පාර්ශවයක් ඉල්ලීම් කර නොමැති බවත් තම ආයතනය ම`ගින් විමර්ශනයක් සිදුවන්නේ එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වීමෙන් අනතුරුව බවත්ය.

මේ පිළිබඳ කරුණු දැක්වීමට හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අරගල කරුවන් විසින් කොටුව පොලිසියට බාර දුන් එම මුදල මේ වන විට අධිකරණය භාරයේ පවතී.

Share post:

Popular

වෙනත් පුවත්

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...