ආරියවංශ රණවීරගේ කඳු නගින්නෝ කාව්‍ය සංග්‍රහය ජනගත වීම වෙනුවෙන් ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන කළ කතාව සිංහල කවියේ රසික සභාවේ අවධානයට ලක් කිරීම වැදගත් දෙයකි . මූලික වශයෙන්ම ඔහුගේ දෙසුම හුදෙක් රණවීර කේන්ද්‍රීය නොවී සිංහල කවිය ද කේන්ද්‍රයේ තබා ගනිමින් කළ එකක් වීම වැදගත් දෙයකි . රණවීරට මතු නොව එහි සිටි අපේ කාව්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත කවියන් වන රත්න ශ්‍රී,නන්දන,හෑගොඩ වැනි අය වෙත ද ආදරෙයෙන් අමතන ව්ජේසිරිවර්ධනගේ දෙසුම සිංහල කාව්‍ය සංවාදයට ශාස්ත්‍රීය පර්‍යාලෝකයක් කැඳවාගෙන ඒමේ අවශ්‍යතාවය ද ඉඟි කරයි . රණවිර ගැන කතා කිරීමට ලැබීම වරප්‍රසාදයක් ලෙස දකින්නට තරම් ඔහු නිහතමානී ද වෙයි .
රණවීරගේ කවිය මූලික වශයෙන් විවිධ දෘෂ්ටිවාදවලින් විචාරාත්මකව ඈත් වූ භාවිතයක් ය යන සමන් කුමාරගේ නිරීක්ෂණය ඉතා නිවැරදි එකක් බව ප්‍රකාශ කරන අතරම ඒ කාව්‍ය භාවිතය රණවීරගේ ජීවිත දැක්ම ඇසුරින් වටහා ගැනීමේ වැදගත්කම දඔහු ප්‍රකාශ කරයි . එහි දී මූලික වශයෙන් රණවීර ලෝකායත කවියකු වන බව ඔහු ප්‍රකාශ කරයි .’චූල කවියක්’නම් රණවීරගේ කවියෙන්ම රණවීර තමා මහ මැවුම්කරු ගැන වද නොවන බව ප්‍රකාශ කරයි . රසල්ගේ සම්බන්ධතා ත්‍රිත්වය ඇසුරින් සහිත්‍ය ප්‍රවාද ගොඩ නැගීමට විජේසිරිවර්ධන තුළ ඇති ප්‍රියතාවය දිගටම පෙනෙන ලක්ෂණයකි . ඒ සම්බන්ධතා හුදෙක් වියුක්තව නොව අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බව රසල්ට කෘතඥ වෙමින් පවසන ඔහු ඒ සම්බන්ධතා ත්‍රිත්වයට ඉහළින් ඇති විශ්වීය මානයක් හදුනාගත හැකි කවියක් ගැන ද ප්‍රකාශ කරයි . එහි දී ඒ ලක්ෂණය නන්දන වීරසිංහගේ කවියේ ඇති බවට ඔහු කරන නිරීක්ෂණය ඉතා වැදගත් වන අතරම එය සංනිදර්ශනාත්ම්කව කිරීම ද වැදගත් දෙයකි .
ආචාර්‍ය විජේසිරිවර්ධනගේ දේශනයේ දී මතු කළ කව් ලැකිය, පද්‍ය කරණය වැනි මාතෘකා නිදර්ශන සහිතව පුළුල්ව කළ හැකි නම් එය තරුණ කවි පරපුරට වැදගත් විය හැකි දෙයකි .
ඔහුගේ ගිම්හානේ යන්න ගිහින් කෘතියේ එන දීර්ඝ සංවාදයේ එන අක්මේවාදය,ප්‍රංශ සංකේත වාදය වැනි සංකල්පවල සම විෂමතා පදනම් කර ගනිමින් අප අතර දීර්ඝ සංවාද ඇති නොවීම ද අපේ කව්‍ය සංවාද මණ්ඩපවල සීමාවන් හෙළිදරව් කරයි . සිරිගුණසිංහ ප්‍රංශ සංකේතවාදී කවියෙන් ආභාසය ලැබුවා වැනි හුදු ප්‍රකාශවලට සීමා නොවී ඒවා අර්ථවත් ලෙස මතු කර ගන්නට අවශ්‍ය පසුබිමක් ද විජේසිරිවර්ධන ගෙන එන සංවාදය තුළ වෙයි .
ගුණදාස අමරසේකරගේ විද්ගධ රසිකත්වයට ගරු කරමින් වුවද ඔහූගේ හදබස ප්‍රවාදයේ සීමා මතු කිරීමට රණවීරගේ හදබස ගැන විකල්ප අදහස් සහිත ලිපිය වැදගත් බව ප්‍රකාශ කිරිම ද විජේසිරිවර්ධනගේ කතාවේ සාධනිය ලක්ෂණයකි .
කවියට සහ කවියාට විජේසිරිවර්ධන මහතා තුළ ඇති ඇල්ම පසුගිය වසර කීපය තුළම නිරීක්ෂණය කළ හැකි වූ දෙයකි . එහෙයින් ඔහු සමග නූතන සිංහල කවිය ගැන අර්ථ්වත් සංවාදයක් කළ හැක්කේ කෙසේද යන්න ගැන සොයා බැලීම ඉතා වැදගත් දෙයකි .
විභවිය ඇසුරෙහි සිදුවූ කාව්‍ය සංවාදය නොවන්නට රණවීරගේ කවිය වටහ ගැනීම තවත් ප්‍රමාද වන්නට තිබුණි .එහෙයින් රණවීරගේ කඳු නගින්නෝ ගැන කතාබහ කරන්නට ආචාර්‍ය විජේසිරිවර්ධන තරම් සුදුසු කෙනෙක් කොහිද?