“කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි” (සනත් බාලසූරිය) -මේ කවි පොත පිළිබඳ ඉඟිය ලැබෙන්නේ 2019 ජනවාරි මාසේ 19 වැනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය “නයිස් කෑවා මතක නැතිලු” එළිදක්වපු දිනයේ අදහස් දැක් වූ දිලිප් කුමාර ලියනගේ අප හිතවත් කවියාගෙන් . “කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි” පොතෙහි එන “සිඟිති මිරිවැඩි” නම් කවිය තුළ කොටසක් උදාහරණ ලෙස ඔහු ගන්නවා . තව බොහෝ කවි එදින උදාහරණ ලෙස ගෙනාවත් මේ කවිය පිළිබඳ මතකය ඉතා තදින් රැඳෙන්නට හේතු උනේ අවුෂ්විට්ස් වද කදවුර පිළිබඳ සහ එය නිදහස් කර ගත් දිනය පිළිබඳ අමතක නොවෙන මතක මගේ දරුවන් විසින් තැන්පත් කර තිබුණු නිසයි. වසරේ ජනවාරි 27 වන දා ඉතාලියේ පාසල් ආශ්‍රිත වැඩසටහන් තුලින් දෙවන ලෝක යුද්ධය සහ විශේෂයෙන්ම අවුෂ්විට්ස් ඛේදවාචකය පිළිබඳව දරුවන්ට සිහි කැඳවනවා. ඒ හා බැඳුණු ලියැවුණු ගීත කතා කවි ගුරුවරුන් දරුවන් එක්ව කියවමින් විඳවනවා. 2023 ජනවාරි මාසේ 27 වැනිදා දුවගේ පන්තියේ ගුරුවරු දරුවන් සමඟ චිත්‍රපටයක් නරඹා තිබෙනවා. ඔවුන් මේ චිත්‍රපටිය නරඹලා අඬලා අඬපු බව ගෙදර ඇවිත් කියනවා. මේ ආකාරයෙන්ම මීට අවුරුදු පහළොවකට පමණ ඉහතදී ජනවාරි මස 27 වනදා පුතා ඔවුන්ට පාසලේ ගුරුවරිය කියා දුන් කවියක් ගෙනැවිත් දෙනවා.
එම කවියේ සිංහල පරිවර්තනය
කළ යුතු දේ සහ නොකළ යුතු දේ
දහවලේ ඔබට කළ හැකි දේ තිබේ
පිරිසිදු වන්න,
ඉගෙනගන්න,
සෙල්ලම් කරන්න,
ඔබ කැමතිනම්
දහවල් කෑම මේසය පිළියෙල කරන්න.
රාත්‍රියේ ඔබට කළ හැකි දේ තිබේ
දෑස් වසා නින්දට යන්න
ඔබට හැකි වෙයි දකින්න සිහින
එවිට ඔබේ කන්වලට කිසිවක් නො’ඇසෙවී.
ඔබ කවමදාවත් නොකළ යුතු දේ ද තිබේ
දහාවලේ දී ද,
රාත්‍රියේ දී ද,
සයුරේ දී ද,
අහසේ දී ද,
මිහිමත
උදාහරණයක් ලෙස
යුද නො’වදින්න
(ජාන්නි රෝදාරි)
“කළ යුතු දේ සහ නොකළ යුතු දේ” කවිය මේ වන විට මාව ගොඩක් දුර අරගෙන ගොස් තිබේ. ඒ පිළිබඳව පසුව පවසමි. දරුවන්ගෙන් ලද මේ උත්තේජනය හරහා අවුෂ්විට්ස් ගැන ලියවුනු කවි ගැන හොයන්නට මගේ උනන්දුව වැඩි වුණා.
අවුෂ්විට්ස් “සුළගේ පාවී යන දරුවාගේ ගීතය”
මා ළදරුවෙකු ලෙස මිය ගියෙමි
මා සමග තව සියදහස් ගාණනක් මියගියහ
මා උදුන තුලට ගොස්
දැන් මා සුළඟ සමග සැරි සරමි………
අවුෂ්විට්ස් හිමෙන් වැසි තිබිණ
දුම් සෙමිහිට අහස දෙසට නැගගියේය
ශීත ඝෘතුවේ මේ සිතල වූ දවසේ
දැන් මා සුළඟ සමග සැරි සරමි…………
අවුෂ්විට්ස් හි මෙපමණ පිරිසක් සිටිය නමුත්
ඇයි මෙතරම් නිහැඬියාවක්
තවමත් වටහා ගත නොහැකිවේ
ඇයි දැයි මට සිනාසෙන්න නොහැකි කියා
මිනිසාට තමා මෙන් වෙනත් සොහොයුරෙකු
මරාදැමීමට හැකි කෙලෙසදැයි මම අසන්නෙමි
මක්නිසාද මා වැනි මිලියන ගණනක් ජිවිත
මෙලෙස අළු ලෙස සුළගේ පාවී යන හෙයිනි
කවදාද මිනිසා එකිනෙකා
මරා නොගනීමින් සමාදානයෙන් ජිවත්වන්න
ඉගෙනගන්නේ යයි මම අසන්නෙමි
එවිට මෙම සුළඟ නිශ්චල වනු ඇත
(නොමදී සංගීත කණ්ඩායමේ)
අවුෂ්විට්ස් නම් කෞතුකාගාරය
මිය ගිය හිස කෙස්
කලක් තරුණියකගේ
හිස අලංකාර කළ,
දැන්
විනිවිද පෙනෙන වීදුරුවකින් එහා
දමා තිබේ.
පරණ සපත්තු
ඔවුන් පා පැළඳී මේස්
ඒ ඔවුන්ව එතනට ගෙන ආ එවාය.
පැරණි උපැස් යුවළ,
බොරු දත්,
සමහරක් කිහිලිකරු මෙන්ම
කෘතිම අත් පාද වේ.
(මයිකල් එට්කින්ඩ්)
ගොඩක් අය ඒ ගමන ඒවි
මට යන්න ඕනා
හොඳ මිනිසුන් ඉන්න ප්‍රදේශයකට
කවුරුවත් දන්නෙ නැතිද
කාවත් නොමරණ
එවන් තැනක් .
සමහර විට
ගොඩක් අය ඒ ගමන ඒවි
මේ සිහිනය අතර
ගොඩක් අය හිඳීවි
ඒත් ඇයි ඒක ඉක්මන් නොවන්නේ
මේ කවි ටික එකතු කරල සටහනක් ලියන්න පසුගිය ජනවාරි මාසේ සූදානම් වන විට මට සනත් බාලසූරියගේ කවියාගේ ඉහත කවිය යලි මතකයට නැගුණි. මේ කවි ගොන්න අතරට එයද එකතු කිරීමට උවමනා පහළ වූ බැවින් දන්න අඳුනන කීප දෙනෙකුට කතා කොට කවිය පිළිබඳ විමසුවද ඔවුන් ළඟ එය නොතිබිණි. අනතුරුව මෙය ලබාගැනීමට හෝ තියෙන තැන් දැනගන්න එකම මග කවිය හිමි කවියා ම යැයි මට සිතුනි. ඔහුට පණිවිඩයක් තබා මේ පිළිබඳව විමසා සිටි සැනින් පොත් කීපයක් මා සතුව තිබේ ඉන් එකක් ඔබට දෙන්නම් එවන්න ලිපිනය ප්‍රති-පිළිතුරු ලැබුණි.
දැන් මා මේ කවි ගොන්න සම්පූර්ණ කරමි.
මහා මිරිවැඩි කන්ද පාමුල බලා සිටිනා සිඟිති මිරිවැඩි යුගළ
බොහෝ දුර දිවි වන්දනාවක
යනුව මව් දෑතකින් පැළැඳූ
සිඟිති මිරිවැඩි
නතර විය
මේ ගෑස් කාමර අසල
දවසක
අවුෂ්විට්ස් ළඟ පාර නිම වී
සිඟිති පා පොඩි යන්න ගිය පසු
තවත් සුවහස් පතුල් සමඟින්
දුම් බටෙන් ගුවනතට වියැකී..
යනෙන මං නැති
දහස් ගණනක් අතර මිරිවැඩි
අතරමං විය
සිඟිති මෙ දෙපල
එකිනෙකින් දෙපසකට විසිවී
කෙතෙක් කල් උහුලන්න ඇතිවද
හුදෙකලා වී ඒ වියෝගය
නො දැන සිදු වූ දෙයක් හරියට
සිඟිති දෙ පයින්
යුගළ බැඳුමෙන්
විබැඳි කළ’යුරු -හේතු ගොරතර
එහෙත් අවසන
හමුවෙලා එකිනෙකා මේ ලෙස
පරණ හිරමැදිරියක ගොඩකළ
මහා මිරිවැඩි කන්ද පාමුල
බා ඉන්නේ ගොඩෙන් තරමක් මෑත් වී ගෙන
ගලන ජන ගඟ දිහා
නොම දැන
දිරාපත් බව
පරණ හිමිකාරයා ඇවිදිනද දෙතැ’යි කියලද
යළින් උණුසුම
එ’පා පොඩිවල ?
(සනත් බාලසූරිය)
සනත් බාලසූරිය සහෝදරයා “කැෆ්කියානු වංකගිරිය සහ තවත් සංචාරක කවි” දැන් මා සතුව පවතී. දුර බැහැර ගෙවාගෙන ඒ පොතට මා වෙත එන්න මඟ කියා දුන්නාට ස්තුතියි.