Breaking News

දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයන් ගැන නඩු කල්යන්න හේතුව පොලීසිය – ගීතා කුමාරසිංහ

දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික අපයෝජන, බලහත්කාරකම් සහ කෲරත්වයට භාජනය වීම් ගැන පැමිණිලි 94,585ක් ගෙවුණු වසර 10 තුළ ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ අද (නොවැම්බර් 08) පාර්ලිමේන්තුවේදී පවසා තිබේ. එහිදී ඇය සඳහන් කළේ මෙවැනි පැමිණිලි සම්බන්ධ නඩු විභාග කල් යාමට හේතුව පොලිස් දෙපාර්තමේන්තුව බවයි.

මෙහිදී ඇමතිවරිය පැවසුවේ,
“මම ඇහුවා පොලීසියෙන් මොකද ඔයගොල්ලෝ ඔච්චර පරක්කු කරන්නේ. අපිට ටයිප් කරන්න ඉන්නේ තුන්දෙනෙයිලු. ඒ තුන්දෙනා පෙන්ෂන් යනකම් ටයිප් කරත් මේ තියෙන ඒවා ටයිප් කරන්න බැහැ. මෙකේ සම්පුර්න වැරැද්ද පොලීසියේ. පොලිස්පතිතුමා අපිට වහාම ටයිප් කරන්න මිනිස්සු එවන්න. එතනින් යනවා නීතිපති දෙපාර්තමේන්තුවට. ගොඩ ගැහෙනවා අහසට. ඊට පස්සේ යනවා අධිකරණයට. ඊට පස්සේ ඉහළ අධිකරණයට. මේ විදිහට රේප් කරන මිනිස්සු ගමට ඇවිත් ඊළඟටත් කාන්තාවක් රේප් කරනකම් නඩු යනවා.”

ළමා හා යුක්ති ප්‍රතිසංස්කරණය සඳහා වූ පනත් කෙටුම්පත නමින් 2016 පනතක් ගෙන්න සූදානම්ව සිටි බවත් ඒ සඳහා කොමිසමක් පත්කර වසර දෙකක් ගතව ඇති බවත් මෙහිදී හෙළිවිය.

දරුවන්ට සහ කාන්තාවන්ට එරෙහි සිදුවන ප්‍රචණ්ඩත්වයන් සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කිරීමේදී එකිනෙකාට බෝලෙ පාස්කර ගැනීම නිතර දක්නට ලැබෙන්නකි. පොලීසියෙන් මේ පිළිබඳව විමසුවත් අවසානයේ තවත් කාට හෝ මෙහි වැරැද්ද පටවනු ඇත. මෙය හරියට කැකිල්ලේ නඩු තීන්දුව මෙනි.

ජනතාව විසින් මැතිවරණයකදී මහජන නියෝජිතයන් පත්කර යවන්නේ තමන් නියෝජනය කරමින් තීන්දු තීරණ ගනිමින් රටට වැඩදායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ඇති යන විශ්වාසයෙනි. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් කරනු ලබන්නේ රටට ජනතාවට වැඩදායක ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට තම තමන්ට වැඩදායක දේ වෙනුවෙන් තීරණ ගැනීමයි. මෙවැනි එකිනෙකාට වැරැද්ද පැටවීම හැර පරිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණයක් දක්නට නොලැබේ.

leave a reply