Breaking News

1978 ව්‍යවස්ථාවෙත් නැති, 20න් හිමිකරන්න යන බලතල මෙන්න – අධිකරණ ඇමති අලි සබ්‍රිට පෙ.ස.ප. අභියෝගයක්

1978 ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන බලයක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හිමිවන්නේ නම් පෙන්වන ලෙස අධිකරණ ඇමති අලි සබ්‍රි පැවසුවද එවැනි බලයක් හිමිකර දෙන අවස්ථා ගණනාවක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
නාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිකරදීම 1978 ව්‍යවස්ථාවේ පවා නොතිබුණු තත්වයක් බවත් පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ අද(22) පෙ.ස.ප. බත්තරමුල්ල කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
78 ව්‍යවස්ථාව පරයමින් ජනාධිපති අත්තනෝමතික බලයක් හිමිකර දීමට ගෙන ආ 20 වැනි සංශෝධන ගැන කෙරෙන විවාදවලදී ජනාධිපතිට එවැනි හිමිකර ඇත්තේ කුමන වගන්තිවලින්දැයි අධිකරණ ඇමතිවරයා විමසන නමුත් ඒවා වගන්ති ලෙසම පවතින බව පුබුදු ජයගොඩ සහෝදරයා අවධාරණය කරයි. ඔහු එහිදී පළ කළ අදහස් මෙසේය.

“මේ ව්‍යවස්ථා සංශෝධනයට අනුව, පාර්ලිමේන්තුව පැය 24කින් පවා විසුරුවන්නට බලයක් ජනාධිපතිවරයාට හිමි වෙනවා. පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ජනාධිපති බලයට යටත් කරලා. ඒ වගේම මැතිවරණ කොමිසම සම්බන්ධ බලතල අධිකරණ නියෝගය නිසා නැවත ලබා දෙන්නට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මෙන්ම එහි සභාපති පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව තිබෙනවා. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට තිබුණු බලයට වැඩි බලයක් මේ සංශෝධනයෙන් දීළා තියෙනවද කියලා අධිකරණ ඇමති අහනවා. 78 ව්‍යවස්ථාවේ නොතිබුණු බලය ජනාධිපතිවරයාට හිමිකර දෙන වගන්ති එකින් එක කියන්න පුළුවන්.

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 16 වැනි පිටුවේ ඇති 52-4 වගන්තියේ මෙසේ සඳහන් වෙනවා. ‘අමාත්‍යංශ ලේකම්වරයා ධරය දැරීම එසේ නතරවූ අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් ඒ ලේකම්වරයා රජයේ සේවයේ වෙනත් තනතුරකට පතුකරනු ලැබිය හැක්කේය.’ මේක ලොකු ප්‍රශ්නයක්. අමාත්‍යංශ ලේකම්වරු පත්කරන ආකාර දෙකක් තිබෙනවා. පරිපාලන සේවයෙන් පත්කරන්න පුළුවන්. එහෙම නැත්නම් ජනාධිපතිවරයාට පුළුවන් පරිපාලන සේවයට පිටින් තමන් කැමති කෙනෙක් පත් කරන්න. තිබෙන නීතිය අනුව, ජනාධිපතිවරයා එහෙම පත්කරන ලේකම්වරයෙක් ධුර කාලය අවසන් වුණාම වෙනත් රාජ්‍ය සේවයකට යොදවන්න බෑ. නමුත් මේ නව සංශෝධනයෙන් යෝජනා කරන්නෙ ජනාධිපතිවරයා පත්කරන අමාත්‍යංශ ලේකම්වරයා කෙලින්ම රාජ්‍ය සේවයට එකතු වෙන තත්වයක්. ජනාධිපති විසින් කවුරුන් හෝ අමාත්‍යංශ ලෙකම් ලෙස පත් කළාම ඊට පස්සෙ එයා නිකම්ම රාජ්‍ය සේවකයෙක් බවට පත් වෙනවා. එයාට දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් හෝ සංස්ථා ප්‍රධානියෙක් වෙන්න පුළුවන් තත්වයක් මෙහි තිබෙනවා. දැන් මේ ජනාධිපතිවරයා හමුදාවේ විශ්‍රාමික නිලධාරින් අමාත්‍යංශ ලේකම්වරු බවට පත්කරනවා. දැන් තියෙන නීථිය අනුව, අමාත්‍යංශ ලේකම් ධුර කාලය අවසන් වුණාම එයා නැවත විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. නමුත් මේ 20 වැනි සංශෝධනය ගෙනාවම ඔහුව රාජ්‍ය සේවයට අනියුක්ත කෙරෙනවා. දැන් තියෙන තත්වය අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් පත්කරන්න හැකියාව ලැබෙනවා. ඕනම දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ලෙසත් හමුදා නිලධාරියකු පත් කරන්න ඒ විධියට අවස්ථාව ලැබෙනවා. ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයට පිටින් ගෙන එන ඕනම කෙනෙක් දෙපාර්තමේන්තු, සංස්ථා ප්‍රධානි තනතුරුවලට පත් කිරීමේ බලය මේ 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිට හිමි වෙනවා. ඒ නිසා මෙහෙම බලයක් 1978 ව්‍යවස්ථාවෙ තිබුණද කියලා අධිකරණ ඇමතිගෙන් විමසිය යුතුයි. එකින් එක බලතල අත්තනෝමතික පාලනයක් වෙනුවෙන් ඒකරාශි කිරීමේ කටයුතු මේ මගින් සිදුකරන බව පැහැදිලියි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 36 වැනි පිටුවේ 170 වගන්තියට අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට පත්කරගන්න අය රජයේ සේවකයන් ලෙස නොසළකා කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. පවතින නීතිය අනුව, ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආයතන සංග්‍රහයට අනුව, වැටුප්, වැඩ කාලය, පත්වන වගකීම්, උසස්වීම් හා දරණ වරප්‍රසාද සහිත රජයේ සේවකයන්. නමුත් මේ 20 වැනි සංශෝධනයේ 170 වගන්තිය කියන විධියට ඒ කාර්ය මණ්ඩලයට කැමති විධියට වැටුප් ගෙවන්න, උසස්වීම්, වරප්‍රසාද දෙන්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒ නිසා ආයතන සංග්‍රහය උල්ලංඝනය කරලා බඳවා ගන්න උසස්වීඹ් දෙන්න සූදානම් වෙනවා. මේ වෙන්න යන්නෙ රාජ්‍ය සේවකයන් ලෙස ආයතන ක්‍රමයකට වගකියන්නෙ නැති කැමති පිරිසක් පත්කරගෙන වැඩි වැටුප් හා වරප්‍රසාද දෙමින් ජනතාව මර්දනය කිරීමේ බලයක් පාවිච්චි කිරීමයි. මේක පාර්ලිමේන්තුවේ විපක්ෂය පවා කතා නොකරන තත්වයක් තිබෙනවා.“

leave a reply