Breaking News

නාකෙළගනේ මහා ඉඩම් ජාවාරමක් – වනාන්තර ඉඩම් අක්කර 5400ක් හිතවතුන්ට බෙදා දීලා

නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව වගා බිම් අක්කර 5400 කට වැඩි ප්‍රමාණයක් ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පරිසරවේදීන් පිරිසක් සඳහන් කළේ වලත්වැව රාහුල හිමි හා වලත්වැව සුනන්ද හිමි එක් ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නාකොළගනේ, ඒරියාව, ඇතිනිමලේ, පාලුකඩවල, මානක්කුලියාගම, දිවුල්වැව හා කැලේගම යන ග්‍රාමනිලධාරී වසම්වල පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථාන හා වැව්වල ජලපෝෂක ප්‍රදේශ ලෙස පැවති රජයේ වනාන්තර ඉඩම් ඇතුළු ව ජනතාව වගා බිම් අක්කර 5400 කට වැඩි ප්‍රමාණයක් බලහත්කාරයෙන් අත් පත් කර ගෙන නාකෙළගනේ රජ මහ විහාරයට අයත් නින්දගම් ඉඩම් යැයි සඳහන් කර ව්‍යාපාරිකයන්ට හා විවිධ සමාගම්වලට බදු දීමේ මහා ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි.

මේ ජාවාරම සඳහා දේශපාලන රැකවරණය චමල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ පුත් ජෙහාන් ප්‍රනාන්දු හා විමල් වීරවංශ ගේ ලේකම්වරයකු විසින් ලබා දෙන අතර අඹන්පොල, ඇහැටුවැව හා ගල්ගමුව යන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් සහ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් මෙම ඉඩම් ජාවාරම සඳහා නීතිමය රැකවරණය ලබා දෙන බව පැවසේ.

වර්තමානයේ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරන ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම් රේණුකා පී. විජේරූප විසින් වලත්වැව රාහුල හිමියන්ට මෙම ඉඩම් ජාවාරම සඳහා ව්‍යාජ සන්නසක් සකසා දී ඇති අතර එය භාවිත කර මෙම දැවැන්ත ඉඩම් ජාවාරම සිදු කරනු ලැබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් රාහුල හිමියන්ගෙන් බදු පදනම මත ලබා ගත් පාලුකඩවල වැව ඉහත්තාවේ කඳුබොඩයාගම ප්‍රදේශයේ අක්කර 5 ක පමණ භූමියක ගස්ලබු වගා බිමක් පවත්වාගෙන ගිය අතර ඒ ආසන්නයේ පිහිටි අලි – ඇතුන් ගේ වාසස්ථානයක් වන වනාන්තර ඉඩම් අක්කර 50 ක් එළිපෙහෙළි කරමින් කාබනික වගා බිම් ව්‍යාප්ත කිරීමට සූදානම් විය. මේ පිළිබඳ ව අප විසින් අනාවරණය කළ පසුව එම වගා බිම් සියල්ල ඉවත් කර අප වෙත අපහාස චෝදනා යටතේ රුපියල් මිලියන 500 ක් ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ.

මේ අතර තුර පසුගිය කාලය පුරා සිදු කර ඇති වන විනාශයන් හේතුවෙන් 2022 වසර මෙතෙක් ඉතිහාසයේ වැඩි ම අලි – මිනිස් ගැටුම් වාර්තා වූ වසර බවට පත් වී ඇත. පසුගිය වසරේ දී හානි කර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අලි – ඇතුන් 412 ක් හා අලින් ගේ පහරදීම් හේතුවෙන් මිනිසුන් 132 ක් මරණයට පත් වී ඇත. මෙරට වැඩි ම අලි – මිනිස් ගැටුම් පවතින ප්‍රදේශ අතුරෙන් එකක් ලෙස සැලකෙන වයඹ කලාපය තුළ රක්ෂිත ප්‍රදේශවලින් පරිබාහිරව බොහෝ වැව් හා හුදෙකලා වූ වනාන්තර කුට්ටි ආශ්‍රිත ව සැලකිය යුතු අලි ගහනයක් ජීවත් වේ. එම සතුන් දහවල් කාලයේ රැදී සිටීමට මෙම වනාන්තර කුට්ටි භාවිතා කරන අතර රාත්‍රී කාලයේ දී වගා බිම්වලට හා වැව් ආශ්‍රිත ප්‍රදේශ වලට පැමිණේ. එවන් වනාන්තර ප්‍රදේශ මේ ආකාරයෙන් එළිපෙහෙලි කර ව්‍යාපාරිකයන් විසින් වාණිජ වගාවන් සඳහා යොදා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම ඉතා ම දරුණු ලෙස මේ වන විට වර්ධනය වී තිබේ.

leave a reply