මානව ශේෂයන් කොම්පෝස්ට් බවට පත්කිරීමට අවසර දුන් නවතම එක්සත් ජනපද ප්‍රාන්තය බවට නිව් යෝක් පත්ව තිබේ.
මරණයෙන් පසු සිය සිරුර පස්වලට හැරවීමට එහි වැසියෙකුට දැන් අවසර තිබේ – එය භූමදානය හෝ ආදාහනය සඳහා වඩාත් පරිසර හිතකාමී විකල්පයක් ලෙස සැලකෙයි.
“ස්වාභාවික කාබනික හායනය” ලෙස ද හැඳින්වෙන මෙම ක්‍රියාවලිය හරහා, සිරුර බඳුනක දමා වසා, සති කිහිපයක් පුරාවට දිරාපත් වීමට ඉඩ හරියි.
2019 දී, මෙය නීතිගත කළ පළමු එක්සත් ජනපද ප්‍රාන්තය වොෂින්ටනය විය. අනතුරුව කොලරාඩෝ, ඔරිගන්, වර්මොන්ට් සහ කැලිෆෝනියාව එය අනුගමනය කළේ ය.
එබැවින්, ප්‍රාන්තයේ ඩිමොක්රටික් ආණ්ඩුකාර කැති හෝකල්ගේ අනුමැතිය සෙනසුරාදා (දෙසැ. 31) ලබාදීමෙන් පසු, මනුෂ්‍ය ශේෂයන් කොම්පෝස්ට් කිරීමට අවසර දුන් සයවන ඇමරිකානු අධිකරණ බල ප්‍රදේශය බවට නිව් යෝක් පත්වෙයි.
කොම්පෝස්ට්කරණ ක්‍රියාවලිය සිදුවන්නේ භූමියෙන් ඉහළ පිහිටි විශේෂ ගොඩනැගිල්ලක ය.
මෙහිදී, ශරීරය දැව පතුරු, ඇල්ෆැල්ෆා (සතුන්ට ආහාර සඳහා ලබාදෙන තෘණ වර්ගයක්) සහ පන් වැනි තෝරාගත් ද්‍රව්‍ය සමග සංවෘත බඳුනක බහා ක්ෂුද්රජීවී ක්‍රියාකාරිත්වය යටතේ ක්‍රමයෙන් හායනය කෙරෙයි.
මසක පමණ කාලයකට පසු, ඕනෑම රෝගකාරකයක් විනාශ කිරීම සඳහා එය පිළිස්සීමෙන් අනතුරුව ඉතිරිවෙන පස අදාළ මියගිය තැනැත්තාගේ ආදරණීයයන් වෙත ලබාදෙයි. මේ පස මල් පැළ, එළවළු පැළ හෝ රුක් රෝපණය සඳහා යොදාගත හැකි ය.
මෙම සේවාව සපයන එක් එක්සත් ජනපද සමාගමක් වන රීකම්පෝස් ප්‍රකාශ කර ඇති පරිදි, ආදාහනයකට හෝ සම්ප්‍රදායික භූමදානයකට සාපේක්ෂව ඔවුන්ගේ සේවාව මඟින් කාබන් ටොන් එකක් ඉතිරි කරගත හැකි ය.
කාබන්ඩයොක්සයිඩ් විමෝචනය, දේශගුණික විපර්යාසයන්හි ප්‍රධාන කොටස්කරුවෙකි. මක් නිසා ද යත්, ඒවා ‘හරිතාගාර ආචරණය’ ලෙස හඳුන්වන සංසිද්ධිය හරහා තාපය පෘථිවිය තුළම රඳවාගැනීමට කටයුතු කරන හෙයිනි.
මිනී පෙට්ටියක් භාවිතා කරමින් සිදුකරන සාම්ප්‍රදායික භූමදානයන්හි දී ද දැව, භූමිය, සහ අනෙකුත් ස්වභාවික සම්පත් භාවිතා වේ.
මිනිස් කොම්පෝස්ට්කරණය වඩාත් පාරිසරික විකල්පයක් පමණක් නොව, සුසාන භූමි සඳහා ඉඩකඩම් සීමිත නගරවලට වඩාත් ප්‍රායෝගිකබව ද එහි යෝජකයින් පවසයි.
කොම්පෝස්ට් නිෂ්පාදනයට යන වියදම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුවී තිබේ. නමුත් රීකොම්පෝස් ආයතනය (එක්සත් ජනපදයේ පිහිටි ඔවුන්ගේ ආයතනය ලොව එම වර්ගයේ පළමු ආයතනයන්ගෙන් එකකි) පවසන්නේ, එයට වැයවෙන $7 000ක (රු. ලක්ෂ 25ක් පමණ) ගාස්තුව ප්‍රතිවාදී විකල්ප සමග “සැසඳිය හැකි” බව යි.
එක්සත් ජනපදයේ ජාතික අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයට (NFDA) අනුව, භූමදානයක් සහිත අවමංගල්‍යයක් සඳහා එක්සත් ජනපදය තුළ වැයවන සාමාන්‍ය මුදල 2021 දී ඩොලර් 7 848ක් (රු. ලක්ෂ 28ක් පමණ) ද, ආදාහනයක් සහිත අවමංගල්‍යයක් සඳහා ඩොලර් 6 971ක් ද විය.
මිනිස් කොම්පෝස්ට් නිෂ්පාදනය දැනටමත් ස්වීඩනය පුරා නීත්‍යානුකූල ය. එසේම, ස්වභාවික භූමදානය – මිනී පෙට්ටියක් නොමැතිව හෝ ජෛව හායනයට ලක්වන මිනී පෙට්ටියක බහා දේහයක් මිහිදන් කිරීම – සඳහා එක්සත් රාජධානිය තුළ අවසර තිබේ.
උපුටා ගැනීම – BBC සිංහල