ඔබ හිතනවද වචන පේළියකට පුළුවන්ය කියලා “යමක සැබෑව, තත්‍ය ස්වභාවය, පරම පවිත්‍ර ස්වරූපය” ඒ ආකාරයෙන්ම අර්ථ නිරූපණය කරන්න? බැහැ.
මේ ලෝකේ වචන රහිත තැන් හරිම සුන්දරයි, නිර්ව්‍යාජයි. වචන නැති තැනක තියෙන්නේ යමක ප්‍රභවය. මූලය. Origin එක.
සුළඟට, වර්ෂාවට, බුබුලන දිය දහරකට, වැලි කැටයකට, ඉන්ද්‍රචාපයකට, සූර්‍යයාට, තාරපතිට, මහා සමුද්‍රයට කෝ වචන? නමුත්, එතැන කෝ හිදැසක්? අඩුවක්? එතැන තියෙන්නේම අපූර්ව පූර්ණත්වයක්…
ඒත්, කතා කරන අපි?
පව්.. ඒ අතින්, මනුෂ්‍යයින් කියන්නේ හරිම අසරණ ජීවී කොට්ඨාශයක්!
ස්වභා දහම වචනයක්වත් නොකියා කරන හැඟීම් ප්‍රකාශනයෙන් ලක්ෂයෙන් පංගුවක්වත් මනුෂ්‍යයින්ට එයාලගෙ පරිණත, දියුණු වාංමාලාව හරහා “තත්‍ය ආකාරයෙන්ම” ප්‍රකාශ කරගන්න බෑ.
ඉතිං හිතන්න.
අපි වචනමද?
අපි වචන වලින් කියැවෙන අපිමද?
නැත්නම්,
නිර්වචනය කළ නොහැකි වෙනත්ම අභ්‍යන්තරික හැඟුම් සමුදායක්ද?
අවබෝධය තියෙන්නේම, මිනිසා නිෂ්ශබ්ද වූ තැන. නිහඬ වූ තැන. වචන නැති තැන.
නිමක් නැති කතා, ටෙලිෆෝනය, රූපවාහිනිය, වාහන ඝෝෂය, සංවාද, තර්ක, කලබලය, හැල්මේ දිවීම shut down කළ තැනක, ශේෂ වන යම් සංවේදනයක් ඇත්ද, එය වචන අබිභවනවා. වචන අතික්‍රමණය කරනවා.
කිසිත් නොකියා, නිහඬව, යම් ප්‍රපංචයක් හා සුසර උනොත්, ඔබට සෙමෙන් සෙමෙන් එහි vibe එක feel වෙනවා. එහි කම්පන රටාව ඔබ තුළ අනුනාද වෙන්න ගන්නවා. ඒ ප්‍රපංචය හා ඔබ ඒකාත්මික වෙනවා. සියළු සන්නිවේදන කපා හළ තැනක, ඉතා සුන්දර මානසික හෝ ආධ්‍යාත්මික සුසරවීමක් ගොඩනගාගත හැකියි. එය කියැවීමක්. නොකියවා කියැවීමක්.
අපි තේරුම් ගත යුතුයි,
“Massive feelings and thoughts can’t be defined by a limited vocabulary” කියන එක.
ඇත්තෙන්ම,
පරම ස්වභාවය තිබෙන්නේ, වචන වලින් එහා තැනක. Unspoiled තැනක. වචන හරහා කෙරෙන ගණුදෙනුවකින් පැන නගින නිගමන හෝ විනිශ්චයන් “සැබෑව” නොවේ. එබන්ඳක් ආරෝපිතයක් මිස කිසිදා සත්‍යය වන්නේ නැහැ. සැබෑව අස්පෘෂ්‍යයි, අතීන්ද්‍රීයයි.
ඔව්, වචන කියන්නේම spoilers.