Breaking News

භුමි කම්පාවලින් මිනිස්සු මරන්නේ නැහැ, ගොඩනැගිලියි මිනිස්සුව මරන්නේ!

ආචාර්ය ගීතිකා ධර්මසිංහ

තුර්කියේ භූමිකම්පාව නිසා මිය ගිය ප්‍රමාණය 20,000ක් ඉක්මවා ගිය බව ඊයේ සිය උණුසුම් පුවතක් ලෙස The New York Times වාර්තා කර තිබුනා. එහෙත් එය හතර පස් ගුණයකින් වැඩි විය හැකි බව මගේ තුර්කි මිතුරියක් වන සේනා පවසනවා.

ඇත්තටම භුමි කම්පාවලින් මිනිස්සු මරන්නේ නැහැ. ගොඩනැගිලියි මිනිස්සුව මරන්නේ. ඒ කියන්නේ රාජ්‍ය විසින් සහාය දෙන ලද ගොඩනැංවීම් කර්මාන්තයේ ලාභය අරමුණු කරගත් දුෂණයට ජනතාව වන්දි ගෙවනවා.

ඒ අනුව මේ අහිමි වූ ජීවිත නිකම්ම නිකම් මරණ නෙමෙයි ඝාතනයන්.

එහෙමත් නැතිනම් සේනා කියන විදියට රාජ්‍ය තමන් විසින් මේ ව්‍යසනය කළමනාකරණය කරන ආකාරයෙන් පෙනී යන්නේ මෙය සමුලඝාතනයක් (genocide) බව.

සමහර ගම් නගර බිමට සමතලා වී තිබෙනවා. බිමට සමතාල වූ සහ විනාශ වූ නගර 10ම බහුතරය කුර්දිවරුන් සහ අලෝවිට්ස් (Alawites, ෂියා මුස්ලිම් නිකායක්). ඒ අනුව ආණ්ඩුව කරන්නේ තුවක්කුවෙන් තමන්ගේ ආධිපත්‍ය යටතට ගන්න බැරි වුනු සුළුතර ජනයා පණපිටින් වැලලීම සහ සීතලේ මියෙන්නට හැරීම.

ව්‍යසනයෙන් පළමු පැය 48 ඇතුලත රාජ්‍ය නොවන සන්විධාන හෝ ජනතාවට එම ප්‍රදේශ වෙත සහන රැගෙන ලඟා වීමට ඉඩ නොදුන් බව සේනා කියනවා. එක අතකට ආණ්ඩුවේ විතරක් නෙමෙයි මේ විශාල ව්‍යසනයට ලෝකයේ අවධානය නැත්තෙත් ඔවුන් මුස්ලිම් විතරක් නිසාම නෙමෙයි, ඔවුන් එයිනුත් සුළුතරයක් නිසා වෙන්නට තිබෙන හැකියාව ඉතාම වැඩියි.

ව්‍යසනයට ලක් වූ කලාපය (southeast of Turkey) ඉස්තාන්බුල් (north east of Turkey) වලට 1000 KM කටත් වඩා ඈතින්) මිලියන 10 කට හෝ ඊට වැඩි ප්‍රමාණයක ජනතාවක් ජීවත්වන ප්‍රදේශයක්. සමහර නගර සියයට 80%-90% විතර විනාශ වෙලා. කෙසේ උනත් 10%-20% අතර ප්‍රමාණයකට තමයි දැනට ආණ්ඩුව ලඟා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අදට ව්‍යසනය සිදු වී පස් වෙනි දවස.

ජනාධිපති ඊයේ රාත්‍රියේ විනාශ වූ නගර බැලීම සඳහා යනවා. ඒ යන්නේ ජනතාවට තොරතුරු ගන්න පුළුවන් එකම මාධ්‍ය වන ට්විටර් කපා හැරලා. ගිලන්රථ ගමනාගමනය පවා නතර කරමින් පැය 4 ක කාලයක් පාරවල් වසා දමනවා ඔහුට ආරක්ෂාව දෙන්න.

ඒ අතරතුර ආලෝකයේ වේගයෙන් ට්විටර්හි (twitter) වැරදි තොරතුරු ප්‍රචාරය කරනවා යැයි පවසමින් පුද්ගලයන් අත්අඩංගුවට ගත්තද ආණ්ඩුව විසින් මේ වන තෙක් කිසිඳු කොන්ත්‍රාත්කරුවෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඇත්තටම ඔවුන්ට රටින් බැහැර වීමට ඉඩ දී තිබෙනවා. මුලික හේතුවක් වෙන්නට ඇත්තේ ඔවුන්ව අත්අඩංගුවට ගතහොත් භුමි කම්පා සිදු වීමට නියමිත ප්‍රදේශවල ඉදිකිරීම් සිදු කිරීම සඳහා ආණ්ඩුව විසින් පවතින නීති රෙගුලාසි තුලින් රිංගා යාමට ඉඩ දීම වැනි කාරණා ඔවුන් හෙළි කරාවි යන සැකය බව සේනා පවසනවා.

ආණ්ඩුව මාස තුනකට හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. බොහෝ විට ඔවුන් හදිසි නීතිය දිගු කොට, මැයි-ජුනි මාසයේ පැවැත්වීමට නියමිත චන්දය පවා හදිසි නීතිය යටතේ සිදු කිරීමට කටයුතු කිරීමට හැකි බව සේනා කියනවා.

ඒ අනුව පුදුමයක් නොවන ලෙසටම ආණ්ඩුව කම්පන ධර්මතා (shock doctrine) ප්‍රවේශය ක්‍රියාත්මක කරන බව පෙනෙනවා.

ඇත්තටම බැලුවොත් ලෝකයේ බොහෝ රටවල පාලකයෝ එකම විදියයි. ඔවුන් දුෂණයෙයි, වංචාවෙයි, ජනතා පීඩක භාවයෙයි ප්‍රතිමුර්ති!

 

leave a reply