Breaking News

2023 දේශපාලන ජෝතිෂය සහ ජවිපේ උතෝපියාව යථාර්ථයක් ද?

උදය ආර්. තෙන්නකෝන්

ප්‍රධාන සිරස්තල
එහෙම වීමත් මෙහෙම වීමත් දෙකම එකම ද
ජනතාව රට වැසියෝ ද රට වැසියෝ පිට වැසියෝද
ජවිපේ ජවිපේ නම් ලංකාව ලංකාවමය
පොඩි අතුල මහත්තයාටත් කන් -න – දෙන්න

මෙවරත් අලුත් හැඩයක්

මොන මොන තත්ත්වයන් යටතේ වුණත් දවසින් දවස ලංවෙන්නේ මැතිවරණයකට හා ඡන්දවලට. අරගලය ආවත් එයින් කියැවෙන්නෙත් එයමයි. ආණ්ඩුව පැත්තෙන් කල් දමන්න මොන ගැට ගැසුවත්, ඒවා දීර්ඝ කාලයක් ඇදෙන්න නියමිත නෑ. මේ බව දේශපාලන පක්ෂ සහ රට මෙහෙයවන බලවේග නො දන්නවා නෙවෙයි. ඒත් මොනයම් හෝ දවසක ඡන්දයකට යන්නේ නම්, එය මෙවරත් අලුත් හැඩයක් ගන්න එක නම් විය හැකි දෙයක්. ඒ අලුත් වෙනසට ජවිපේ සහ ජාතික ජනබලවේගය සුදුසුකම් ලබා ඇති බව පෙනෙන්න තියෙන කාරණයක්.

බිම සහ සයිබරය ජවිපේ සමත් කමක් ද

මේ ජනතා සූදානම එන්න එන්න වැඩි වෙමින් යන බවක් ජන සමාජ මාධ්‍ය තුලින් පමණක්ම නොව ඊට සමගාමීව මෙවර ප්‍රාදේශීය මට්ටමෙන් ද ජන පදනම් හදා ගැනීමට දරණ වෑයමේ යථාර්ථය පෙරට වඩා විශාල වී ඇති බව ද බොරුවක් යැයි කියන්නට නො හැකි ය.

ජනතාව ඔවුන් වෙතත්, ඔවුන් ජනතාව වෙතත් ලංවීමට ඇත්තටම බල පෑ හේතුව ජවිපේ සතු දේශපාලනික සමත්කමට වඩා රාජපක්ෂලාගේ හා අනෙක් ප්‍රතිවාදීන්ගේ දුර්වලකම වේ. රටේ ආර්ථික ගැටුම තුලින් ලබා දී ඇති ජීවිත අපේක්ෂා භංගත්වය ජාතික ජන බලවේගයට හා ජවිපෙට මැරතන් එක දුවන්නට සහයක් වී ඇත. නමුත්, ඊට පරිබාහිරව සමාජයක් හා දැනුවත් ජනතාවක් ලෙස ජවිපෙ දෙසට හැරි ඇත්තේ දැයි සිතීම අසිරුය. එය ජනතාවට මෙන්ම ජාතික ජන බලවේගයට ද ප්‍රත්‍යාවර්තක ය.

වන් මෝ චියර්ස් වෙනුවට

මෙන්න මේ තත්ත්වය නිසාම ජවිපේ ඇතුලු ජාතික ජනබල වේගය සැබෑම ජාතික ජන බලවේගයක් ලෙස සමත් වී ඇත්ද සමත් වීමට හැකියාවක් පවතීවි ද යන්න තව තවත් සිතිය යුතු වේ. ඒ සඳහා ජනප්‍රිය දේශපාලනය තුලින් කරන චියර්ස් දේශපාලනයට වඩා වැඩියෙන් චින්තනමය වෙනසක් සහිත දේශපාලනයට ඇතුල් විය යුතුය. එවැනි ගුණාත්මක වෙනසක් සහිත බරපතල මැදිහත්වීමක් අවශ්‍ය නමුත් එය ලංකාව තුල ඉටු වන්නේ ද යන ප්‍රශ්නය ඇත.

සියයට තුන ඉක්මවීම සහ බලය ගැනීම

දැන් ඇති වී ඇති තත්ත්වය අනුව කවුරු කොහොම කැමැති අකමැති උණත්, ගුණ අගුන වුවත්, ඊ ලඟ අත්හදා බැලීමට සැලකිය යුතු ජන කොටසක් සූදානම් වීම දැකිය හැකි වේ. එය ප්‍රාතිහාරයයක් නො වුණොත් හැරුණු කොට වෙනස් වීමට ඉඩක් නැත. මෙන්න මේ නිසා, මොන තත්ත්වයක් යටතේ වුවත් ජවිපෙට තිබෙන වාසිය ලොකුයි. ඒ පෙර ප්‍රථිඵලයන්ට අනුව. කොහොම උණත් සියයට තුන ඉක්මවන එක සිදු විය හැකි වේ. නමුත් ජාතික ජන බලවේගයේ අපේක්ෂාව තියෙන්නේ රටේ බලය ලබා ගැනීම. ඒ බව එහි නායකත්වය ශපත කර කියති. ඕනැම තරඟයක දී එකිී අරමුණ තරඟවදින්නා විසින් ප්‍රදර්ශනය කරන දෙයක් වුවත්, එය සත්‍යයක් ද නැති ද යන්න තීරණය කරනු ඇත්තේ ජනතා කැමත්ත ය. මේක අනික් පක්ෂ වගේම එයාලගෙත් අපේක්ෂාවක්.

ගේම ඇත්තේ ගෝඨාභයගේම ජනතාව තුලයි

හැට නව ලක්ෂයක් ගත්ත ගෝඨාභය වගේ පෙර නොවූ විරූ වික්‍රමයක් කරන්නට ජනතාව නැවත සැරයක් අංශක එකසිය අසූවක් කෙසේ වෙතත් අංශක එකසිය විස්සක් විතරවත් හැරෙයි ද කියන එකට තවම කල් වැඩියි. නමුත් වැඩි වාසියක් පිළිබඳ උපකල්පනය කරන්නේ නම්, ජවිපේ ප්‍රමුක ජාතික ජනබලවේගය බලය ලබා ගත්තොත් හෝ ගන්නට හැකියාවක් ආවොත් එය සිදු වන්නට නියමිත වන්නේ නැවත සන්ධානයකින්ය. එම සන්ධනය විරුද්ධවාදීන් අතරින් සතුරාගේ සතුරා මිතුරා කර ගැනීමේ න්‍යායට පැමිණීමෙන් ය. එය මේ මොහොතේ තිබෙන සියලුම ප්‍රධාන පක්ෂවල යථාර්ථයය. එය අද දවසේ දේශපාලනයේ දක්නට ඇති විවිධත්වයේ අනිවාර්යය ලක්ෂණයකි. එහි ඇති සාධනීයත්වය තේරුම් ගන්නේ නම් “මං අධිපති“ මානසිකත්වයෙන් මිදී ජාතික මානසිකත්වයක් බවට පත් කිරීමට මෙම විවිධත්වය වැදගත් වේ. නමුත් ජාතික මානසිකත්වයේ ලෝක දැක්ම නැවත විවරණය කර ගත යුතු වේ

බෙලි නොකපා කිරිපැනි කෑමට ඉගෙන ගැනීම

ජාජබේ බලාපොරොත්තුවට අනුව තනිවම බලය ලබා ගත්තොත් රට මෙහෙයවීමට ඇති දැක්ම හා ක්‍රමවේද සහ සන්ධානයකින් බලය ලබාගත්තොත් කළ හැකි දේ අතර විශාල වෙනසක් තිබෙන්නට පුළුවන් ය.. ඒ එසේ වන්නේ සන්ධාන ගත වීමට සිදු වන අනෙක් අයගේ වැඩ පිළිවෙළ සහ අපේක්ෂාවන් අනුව ය. නමුත් වඩාත් නැමියාවකින් යුතුව අපි මෙහි දී ජාතික ජන බලවේගය තනිව ජනතා බලය ලබා ගන්නේ නම් යැයි සිතන්නේ නම් ඔවුන්ට ඇති අභියෝගය ද අනෙක් දේශපාලන කඳවුරුවලට වඩා විශාල වශයෙන් වැඩිය.

එයටත් නො තේරෙන ක්‍රමයේ වෙනස්

මැතිවරණ ඔස්සේ ඡන්ද බලයෙන් පාලනය ගන්නේ උවත්, ඔවුන්ගෙන් කියැවෙන්නේ පැවැති හා පවතින ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකි. නමුත් ඒ ක්‍රමය හරියටම කුමක් දැයි ඔවුන්ටවත් තේරෙන්නේද යන්න කිව නො හැකි ය. එහි ඇති එක් වැදගත් කාරණයක් වන්නේ ගෝලීය බල දේශපාලනයට ප්‍රතිමුඛ වන විලාසය අනුව ය. ධනේෂ්වර ක්‍රමයකට එරෙහි වුවත්, ඊට පක්ෂපාත හා එහි කර්කයේ ජීවන විලාසය ද, සමාජවාදී ක්‍රමයක් ගැන කතා කළ ද ඊට ප්‍රති විරුද්ධ රහස් ගුහාවන් ද, ජාතිකවාදී ක්‍රමයක් ගැන පැවසුවද බටහිර ක්‍රමයම අනුව යන බවක් පෙන්නුම් කරීම ද, අමෙරිකාවට විරුද්ධ යැයි පෙන්වනු ලැබුවත්, හොරෙන් අතවනන හා චීනය දෙසට වැඩි නැඹුරුවක් ඇති බව වැඩියෙන් පෙන්වුනු ලැබුවත්, චීනය නොතේරීම ද ගෝලීය දේශපාලනයේ දී හරි හමං දර්ශනයක් නැති කම ද දැනට දක්නට ඇති ලක්ෂණයකි.

බෝකසින් සූරී මයික් ටයිසන්

අනුර කුමාර දිසානායක මාධ්‍ය තුල මෙන්ම වේදිකා මත කරන කතා තුලින් ඔවුන්ගේ ඉදිරි දර්ශනය පැහැදිලි කරමින් ජනතාව අවදි කරනු ලබන්නේ තමන්ගේ ප්‍රතිවාදීන්ට බිම වැටෙන්නට බොක්සින් ගැසීම එකම එක උපාය මාර්ගය කර ගෙනය. එය ජනප්‍රිය වේ. ආකර්ශනීය වේ. නමුත් නූතන දේශපාලනය මයික් ටයිසන් නොවේ. ඊට ඩවා වැඩි බරක් “තින්ක් ටෑන්ක්“ (Think Tank) සංනිවේදනයට යොමු කිරීම සහ මං පොර පඥ්ඥස්කන්ධයෙන් තොර දේශපාලන සංස්කෘතියට ඇතුළත් විය යුතු ය. එය හැත්තෑ පස්වසරක දේශපාලන සංස්කෘතියට විවේචනයක් ගෙන යමෙක් වේ නම් ඔවුන් එය අලුතින් භාවිතයට ගත යුත්තකි. එහෙත් ලංකා සමාජය පුරවැසියන් හා ජාතියක් ලෙස වර්ධනය වී ඇති ප්‍රමාණයේ බර අනුව සහ මෙතෙක් පැවැති පාලන ඉතිහාසයන්ට අනුව මේ අවස්ථාවේ දී පවා ගෝඨාභය විරුද්ධාභෂය ඇති විය හැකි ය. එසේම ජවිපේ බලය ලබා ගතහොත්, ඔවුන් විසින් එය මෙහෙයවනු ලබන්නේ කෙසේ දැයි කාටවත් හරියටම පරිකල්පනය කළ නොහැකි ය. එම නිසා ඔවුන් සතු මේ නව ක්‍රමය එක පැත්තකින් උතොපියාවක් ලෙස නම් කළ හැකි වුණත්, උතෝපියාවක් පවා යථාර්ථයක් කරා ගමන් කර විය හැකි වන්නට ද පුළුවනි.

උතෝපියාව සහ අපිව තෝරා ගැනීම

ගැටලුව ඇත්තේ ජවිපේ සහ ඔවුන්ගේ සන්ධානය විසින් ජනතාව වෙත මුදා හරින දෘෂ්ටිවාදයේ ඇති බලාපොරොත්තුව ය. මෙතෙක් කළ පරිදි අරකත් මේකත් වෙනුවට “අපිව තෝරා ගැනීම“ කියන තෝරා ගැනීමට ඔවුන් විසින් ජනතාවට දී ඇති අවබෝධය කුමක් ද යන්න ය.

ක්‍රමයක් වෙනස් කරන්නට අදාල ජනතා ශික්ෂණය, ඉවසීම හා අවබෝධය යම් පමණකට හෝ නැත්තේ නො වුණත්, ජනතාව ජවිපේ විශ්වාස කරන්නේ නම්, ඔවුන්ගේ අපේක්ෂාව ගෝඨාභයගෙන් බලාපොරොත්තු වූ දෙයට වඩා වෙනස් විය හැකි ද. හොරකම වංචාව දූෂණය නැති කිරීම එක අභිලාෂයක් වුණත්, එම පරිවර්තනය කළ යුතු වැදගත් දෙයක් වුවත්, එයින් ප්‍රමුක අරමුණ මුදුන්පත් විය හැකි ද යන ප්‍රශ්නය ජනතාවට තේරෙන්නේ නැත. ජනතාව දැනුවත්කිරීම ගොඩනංවා ඇත්තේ රාජපක්ෂලාගේ හොරකම් කළ මුදල්වලින් රට ගොඩ දැමිය හැකි ය කියා ය. ජවිපෙටද එය තේරෙන ප්‍රමාණය කොපමණ දැයි කිව නො හැකි අතර ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැතැයි කීම නැවැරදි ද නොවේ. එසේ නම් එයත් රංගනයක් වේ ද

පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ක්ෂණික හා කෙටිකාලීන අවශ්‍යතාවක් වන්නාක් සේම එය ඇත්තටම කෙටිකාලීන නොවනු ඇත. කෙටිකාලින ප්‍රතිසංස්කරණ තුලින් රට ස්ථාවර කර ගැනීමට මේ පවත්නා ක්‍රමයේ මාර්ගය ඔස්සේ ගමන් කරන්නට සිදු වීම මග හැරීමට නො හැකි ය. රැඩිකල් ක්‍රියාමාර්ගයකට යාමට නම්, රටෙහි සහ පිටත ඇති වෙළෙඳ බලවේගවල හා භූ දේශපාලන උවමනාවන් නො සලකා ක්‍රියා කළ යුතු ය. එවැන්නක් කිරීමට තරම් සිරිමා යුගයේ තරම්වත් ජනතාවක් සහ චින්තනයක් ගොඩ නගා තිබේ ද

සම්ප්‍රධායෙන් විප්ලවය

සම්ප්‍රධායික ක්‍රමය තුලින් බලය ලබා ගෙන විප්ලවීය වෙනසකට යාමට හැකියාවක් හා උවමනාවක් ඇත්තේ යැයි කියති. එසේ වුවත්, එය සිදු කිරීමට පවත්නා ක්‍රමය ඉඩක් නො දෙනු ඇත. ලංකාවේ පවතින අර්බුදය සහ රට ගැට ගැසී ඇති ආකාරය අනුව ඊට අවනත වීමට සිදු වනු ඇත. මේ අවනත වීම අන් අයගේ අවනතවීම වගේ නො වන්නේ ය. සමගි ජනබලවේගය හෝ පොහොට්ටුව හෝ එජාපය හෝ බලය ලබා ගන්නේ නම්, ඔවුන්ට එය ජවිපෙට තරම් අපහසු නැත. මක්නිසා ද ඔවුන්ව පත් කරන ජනතාවට දී ඇති ආකල්පය සහිත දැනුම විසින් පාලකයාගේ අවනතවීම සාධාරණීයකරණ කිරීමට පැරණි දේශපාන සංස්කෘතිය ආධාර වීම ය. නමුත් ජවිපේ දෙන ආකල්පය හා දී ඇති දැනුම විසින් ජනතා සිහිනයට පිටින් යන්නේ නම් සතුරා කළමනාකරණය කිරීමට තව තවත් අවනත වීම් චක්‍රයකට ගමන් කිරීමට සිදු වනු ඇත. එවැනි තත්ත්වයක් යටතේ ජවිපේ හා ජාතික ජනබලවේගයේ බලයකට අනුමැතිය දෙන ජනතාව තමන් පත්කර ගත් භාරකාරයාගේ අවනත වීමට ඉඩක් දෙන්නේ නම්, එයට ප්‍රබල හා දැනෙන හේතු ඉදිරිපත් කළ යුතු වේ.

අනිත් අතට නීති හා ව්‍යවස්ථාව වෙනස්කර ගැනීම පාර්ලීමේන්තුව තුලනය කර ගැනීමට ඔවුන්ගේ අනෙකා ඉඩ සලසා දේවි ද යන්න වැදගත් වේ. එවිට නැවතත් පැරණි ක්‍රමයට ගමන් කිරීමට සිදු වනු ඇත. එය රැඩිකල්කරණය කිරීමට පවත්නා අර්බුදය සහ සමාජ චින්තනය කොතරම් ඉඩක් ලබා දේද යන කාරණයට වඩා ඇත්තේ ජාතික ජනබලවේගය සතු චින්තනය හා දර්ශනය ක්‍රම වෙනසක් යෝජනා කරමින් යථාර්ථයක් කර ගැනීම ශක්‍යතාවක් හා ගුණයක් ඇති සමස්ථයක් ද නැතිනම් බටහිරට නැඹුරු චින්තනය හා “ටිල්වීන්“ යථාර්ථය ද යන්න සොයා බැලිය යුතුය. ටිල්වින් යථාර්ථය පැහැදිලි කිරීමට මේ කවිය ප්‍රමාණවත් යැයි සිතමු.

“වින් වින් ටිල්වින්
ස්වභාදහම වෙනස් වේ
උත්පාද, ටිථි භංග
ඔබ පමණක්
ස්ථිතිකය
අකාලික ය
කොණ්ඩය
රැවුල
ඝණ කලුය
මුහුණ
බිතු සිතුවම් ය
උපැස මිතුරා ය
කතාව එකමය
නාම රූප හැර
විසි වසක් ඉක්ම ගිය මුත්
හුදෙකලාවක් නැත
අරමුණ එකමය
ජය, බලය, පාලනය
රැවටී
රවටා
රවටන
වේදිකාවක
මතක සාක්ෂි
මම පුදුමයෙන් ඔබ දෙස බලමි
මගේ ඉහ නිකට
සුදු වී
වසයට ගොස් ය
ඔබ අදත්
එදා මෙන්ම ය
කැඩපත ඔබට
හිනා නොවන්නේ ද“

මෙහිදී චින්තනය හඳුනා ගත යුත්තේ අහවලාට විරුද්ධයි හෝ පක්ෂයි හෝ කියන කාරණයට වඩා වෙනස් හා පුළුල් ලෙස ය. පුළුල් අර්ථයෙන් බටහිර නූතනවාදයත් ධනවාදයේ ඇති අසීමාන්තික කෑදරකමත් මිනිසා තුලට කා වද්දා ඇති සමාජ ව්‍යුහයන් ව්‍යාජ ලෙස සහ අවිඥ්ඥානිකව පිළිගනිමින් ඒවාට බැඳෙමින් ගැටෙමින්, මතුපිටින් ඊට එරෙහි රටට ආවේනික ක්‍රමයක් ගොඩ නැගීම වර නැගිය හැකි වුවත්, ඊට ජනතාව පුරවැසියන් බවට පත්කිරීමට හැකි වීද හැකි වේද යන්න ඉතා බරපතල ගැටලුව වන්නේ ය.

නොමල් සහ නිව් නෝමල්

නමුත් මෙසේ පවා සඳහන් කළ යුතු වන්නේ, ජාතික ජන බලවේගය හා ජවිපේ එවැනි රැඩිකල්කරණයකට යන්නේ නම් පමණි. එවැන්නක් කිරීමට ඇත්ත උවමනාවක් ඇත්තේ නම් පමණි. නමුත් සාමන්‍ය (Normal)ලෙස පැවැති දේ අසාමාන්‍ය නොවී නව සාමාන්‍ය (New normal) දෙයක් බවට පත්වීමත් ධනවාදයේම එක දිගුවක් නිසා, ජවිපේ දිශාව මේ මොහොතේ මෙසේ යැයි කීමට ඉක්මන් නොවී අනාගතයට බාර දෙමු.

අපි රනිල් ගැන හෝ සජිත් ගැන හෝ විවේචනය කරන්නට යන්නේ නැත. ඒ ඔවුන්ව නිවැරදි කිරීම හෝ වීම යන අන්තයේ අප නැති බැවිනි. නමුත් ජවිපේ ගැන මෙවැනි හෝ විවේචනයක් කරනු ලබන්නට හේතු වන්නේ සමාජයක් හා ජනතාවක් ලෙස අනාගතයේ දී ඔබලාට ගොදුරු වීමට නියමිත බැවිනි. ගොදුරු වීම යහපත් දිශාවට ගමන් කිරීම අපගේ ද අපේක්ෂාව නිසා ය. එසේ නොවුන හොත් සිදුවිය හැකි දේ ගැන ජවිපේ සිටි පැරණි සහෝදරයෙක් කියූ කතාව ද නැවත හිතන්නට වැදගත් වේ.

ජවිපේ ප්‍රජාතන්ත්‍රවාදය

ඔහු කිව්වේ, “එකක් අද කිව්වා කියලා මතක තියා ගනිං. රනිල්ලා අපිව මර්ධනය කරනාවා වගේ නෙවෙයි ජවිපේ බලය ගත්තොක් අපිව මර්ධනය කරන්නේ. මුලින්ම බැටේ දෙන්නේ අපිට. ඒ ගොල්ලෝ ලඟ ඔය ධනපතියෝ ලඟ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයවත් තියෙනවා කියලා නම් හිතන්නෙපා“

අරයා වගේ මෙයා වගේ කියලා තවත් ලෝක උදාහාරණ කිව්වත්, ඇත්තටම ඔහු කිව්ව දේ ගැන ජවිපෙට හිතන්න දෙයක් තියෙනවා කියලයි හිතෙන්නේ.

මොක ද අපිත් ඒ ගැන හිතන නිසා. සමහරවිට බහුතරයක් ජනතාව ඒ ගැන හිතන එකක් නෑ. ඒක වැඩකුත් නැති වෙයි මේ මොහොතට. නමුත් පොඩි අතුල මහත්තයා ලියැවිල්ලකුත් අරං හැම තැනම යන්නේ පාරේ අරගලය නිසා ද නැත්තම් මේ කියන අයට බලය ලැබීමට ඇති ඉඩකඩ ගැන දන්න නිසා දැයි සැකයක් තියෙනවා.

 

leave a reply