Breaking News

හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට බත් එක ලබාදීමත් නවත්වන නව නීතියක්

රක්ෂිත බන්ධාගාරගතව සිටින රැඳවියන් සම්බන්ධයෙන් අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ අත්සනින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා හිරගෙදර පෝසතුන්ට කාමර දීලා දුප්පතුන්ට ගෙදරින් බත් එක ගේන එකත් නැවත්වීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ නව ගැසට් නිවේදනය ගැන අදහස් දක්වමින් පැවසුවේ,

ජුලි 12වැනිදා දිනැතිව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් 1920 මාර්තු මස 19 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් කර තිබෙනවා. මේ මගින් වෙනස් කරලා තියෙන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තවමත් වරදකරුවන් බව ඔප්පුවී නැති අය සම්බන්ධයෙන් පවතින නීතියයි.

මෙතෙක් කල් පැවතුනු නීතියට අනුව සතියේ දින 05ක් 06ක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අයගේ ඥාතීන්ට ඔවුන්ව බලන්න එන්න පුළුවන් කම තිබී ඇත. මේ නව නීතිය හරහා සතියට එක්වරක් දක්වා එය අඩුකර තියෙනවා. ඒ වගේම රැඳවියන්ට ආහාර, ඇඳුම් පැළඳුම් සහ කඩදාසි ගෙනෙන්න ලබාදී තිබූ අනුමැතිය දැන් අහෝසි කර තිබෙනවා. ඒවගේම දැනට තියෙන නිතිය හරහා රැඳවියන් ඔවුන් සිටින සිරකුටිවලින් එළිමහනට ගැනීමට දිනකට පැය 06ක් 08ත් අතර කාලයක් නියම කර තිබූ අවස්ථාව දැන් පැයකට සීමා කර තිබෙනවා.

මේ නව නීතිය හරහා මුදල් තිබෙන අය සඳහා වෙනම වරප්‍රසාද නියම කර තිබෙනවා. උදාහරණයක් ලෙස මෙම ගැසට් නිවේදනයට අනුව මුදල් ගෙවා කාමරයක්, එයට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබාගන්න පුළුවන්. මේ හරහා සිදුවීමට නියමිතව ඇත්තේ බන්ධාගාරය තුළ ධනය බලය ඇති මිනිස්සුන්ට එක විදිහකටත් ධනය බලය නැති මින්ස්සුන්ට වෙනස් විදිහකටත් සැළකීම නීතියක් බවට පත්වීම. වෙනත් වචනවලින් කිවහොත් තිළිණි ප්‍රියමාලිට එක විදිහකටත් යම්කිසි චෝදනාවකට බන්ධාගාරගතවන සාමාන්‍ය ගැහැනියකට තවත් විදිහකටත් සැළකීම. එය පසුගිය කාලයේ දිගින් දිගටම සිදුවූ දෙයක්. බන්ධාගාර ගතවන විශ්ව විද්‍යාල ශිෂ්‍යන් අසනීප වූ විට රෝහලකටත් ඇතුළත් කරන්නේ නැති වුවත් ඇමතිවරු බන්ධනාගාර ගතවූ වහාම යන්නෙ රෝහලට.

මේ නව ගැසට් නිවේදනය හරහා කර තිබෙන්නේ ධනය බලය ඇති මිනිස්සුන්ට බන්ධාගාරය ඇතුලේ කාමරයක් වෙන්කරගෙන ගෘහභාණ්ඩ පුරෝගෙන ඉන්න සලසලා දුප්පත් මිනිස්සුන්ට ඥාතීන් විසින් ගෙනියන බත් එකත් නැතිකිරීම. බන්ධාගාර ගේට්ටුවේ සිරක්රුවොද මනුෂ්‍යයෝය කියලා ගහලා තිබුණට දෙයාකාරයට තමයි රැඳවියන්ට සලකන්නේ.

leave a reply