Breaking News

මේ නිහාල් නෙල්සන් ගැන පොදුවේ කියූ කතාව නෙවෙයි

හිල්මි සුපුන් 

දෙසැම්බර් 16 වනදා සිකුරාදා දසක හයක් ශ්‍රී ලාංකීය සංගීත ලෝලීයා දැනුවත් කළ , පින වූ , කුල්මත් කළ නැටවූ , කලාකරුවා නිහාල් නෙල්සන් මහතාගේ භූමදාන කටයුතු සිද්ධ කරනවා. ඉන්පසුත් නිහාල් නෙල්සන් නැතත් ඔහු ගායනා කළ ගීත අපට අසන්න ලැබෙනවා. නිහාල් නෙල්සන් මහතා ජීවතුන් අතර සිටියදී කතා නොකළ බොහෝ අය, හරියටම එච් ආර් ජෝතිපාල ජීවතුන් අතර ඉද්දි ඔහුගේ ගීත සහ ඔහුගේ හැකියාව පිළිබඳව කතාබහකට මායිම් නොකළ පිරිස් විද්වත් කතා පටන් ගත්තා සේම මොහු පිළිබඳව, ඔහුගේ ගීත සාහිත්‍යය පිළිබඳව, මෙතෙක් අපි නිහාල් නෙල්සන් ගේ ගීත තුළ නුදුටු දේවල් ඉස්මතු කරමින් උලුප්පා දක්වමින් කතා කරන්නට විචාරය කරන්නට පටන්ගනීවි. නිහාල් නෙල්සන් නැතත් අපට ඒවා ඇසේවි. ඉතින් අපි ඒවාට අද සිට සූදානම් වෙමු.

දෙසැම්බර් මස 13 වැනිදා උදෑසන නිහාල් නෙල්සන් නම් වූ ඒ සංගීතඥයා, ගායකයා ,ගී පද රචකයා, මෙලොවින් නික්ම ගියා. වර්ෂ 1946 ජනවාරි මස 09 වැනි දින මොරටුවේ උපත ලද නිහාල් නෙල්සන් මිය යන විට 76 වන වියේ පසු වුණා. යුගයක් නියෝජනය කළ පරපුරක පුරුක් එකින් එක ගැලවී යනවා. දින කිහිපයකට ඉහත ගේය පද රචක හේම ශ්‍රී ද අල්විස් සහ නුවන් ගුණවර්ධන මිය යනවා. දෙසැම්බර් 13 වැනිදා උදෑසන නිහාල් නෙල්සන් ගේ මරණයට අදාළ මරණ දැන්වීම් සෝෂල් මීඩියා බිත්ති මත ඇල වී තිබුණා.

නිහාල් නෙල්සන්,ප්‍රෙඩී සිල්වා,නුවන් ගුණවර්ධන නියෝජනය කළ යුගය නියෝජනය කරමින් තව ඉතිරිව ඉන්නේ සුළු පිරිසකි.ඔවුන් පිළිබඳ මතකය දැන් අලුත් වන්නේ ඔවුන්ගේ මරණය සමඟයි.

වර්තමාන ගායක ගායිකා නියෝජන ලැයිස්තුව තුළ තරුණ පරපුර තුළින් බිහි වූ දැවැන්ත පිරිසක් සිටියත් පැරණි මිනිසුන් නික්ම යන විට ඔවුන් අත්පත් කරගෙන තිබුණු වපසරිය සහමුලින් ම හිස් වී යන බව දැනේ .

මිල්ටන් මල්ලවආරච්චි ,එච් ආර් ජෝතිපාල, එම් එස් ප්‍රනාන්දු, ප්‍රෙඩී සිල්වා,ක්ලැරන්ස් විජේවර්ධන, ඇතුළු පිරිස ගීත සාහිත්‍යය තුළ තැබූ සටහන් කිසිදා මැකී නොයන්නේ ඔවුන් තමන්ටම වූ අනන්‍යතාවයන් මත ගීත සාහිත්‍යය පෝෂණය කළ, තමන් පෙනී සිටි කලාවට අවංකව දැනුවත්භාවයෙන් සේවය කළ නිසයි. ඒ වගේම ඔවුන් තාක්ෂණයෙන් නොව සහජ හැකියාවෙන් නිර්මාණ කළ මිනිසුන් වීමයි.

කැසට් පට එකසිය දාහතරකට ගීත ගායනා කරලා තිබෙන නිහල් නෙල්සන් ශ්‍රී ලංකා කැසට් ඉතිහාසයේ දෙවන කැසට් පටය නිකුත් කළ ගායකයා ලෙස ද ඉතිහාසගත වෙනවා.ඔහුගේ මුල්ම කැසට් පටයේ නම ගුණයා අයියාගේ කාමරේ.මේ ගීතය ගායනා නොකළ ප්‍රසංගයක් නොමැති බව ඔහු වරක් ප්‍රකාශ කර සිටියා.ජනගත වූ දා සිට අද දක්වාම ජනප්‍රියත්වය නොනැසී පවතින ගීතයක් වේ නම් ඒ නිහාල් නෙල්සන් ගේ ගුණෙ අයියගෙ බජව් කාමරේයි.

නිහාල් නෙල්සන් ලාගේ ගීත බයිලා ගීත ලෙස හැඳින්වූවත් ඒවා මිනිසුන්ට දැනුම බෙදපු ගීත.එපමණක්ද නොව ඔවුන්ගේ ගීත ඉතිහාසය හදාරන්නන්ට මඟ කියා දෙන ඒවාද වෙයි. මේ ගීත හොඳින් නිරීක්ෂණය කර බලන විට අපට පෙනී යන කාරණය තමයි ඒ ඒ යුගවල සමාජ දේශපාලන හැසිරීම මේ ගීත මගින් කතාබහ කිරීම.

මීට පනස් වසරකට එපිට ලංකාවේ නාගරික සමාජය පිළිබඳ චිත්රයක් අවශ්‍ය කෙනෙකුට ගුණෙ අයියගෙ බජව් කාමරේ ඒ සඳහා පාර කියා දෙනවා.

පත්තර වල විස්තර වල, ගීතය තුළින් ජනමාධ්‍ය සමාජ හැසිරවීම සූක්ෂමව අත්පත් කර ගන්නා ආකාරය , අපට හඳුනා ගන්න පුළුවන්.

කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ පල්ලි පන්සල් වල බණ දේශනා කරලා මිනිස්සුන්ට කියා දෙන්න අමාරු පව් පින් කතාව නිහල් ගීතය හරහා ජනතාවට දැනෙන්න අඟවනවා.එපමණක් ද නොව මේ ගීතය නිසා වෙනස් වෙච්ච මිනිස්සුත් ඉන්නවා.

නිහාල් නෙල්සන් කියන්නේ වචන කියවපු මිනිහෙක් නොව සමාජ දේශපාලන සංස්කෘතිය ගායනා කරපු මිනිහෙක්.

නිහාල් නෙල්සන් ලාගේ ගීත නාමාවලිය හැදෑරීම ඉතිහාසය හැදෑරීමට සමානයි. නිහාල් නෙල්සන්ලාගේ ගීත තුළින් හෙමින් හෙමින් ගලා බසින්නේ දසක පහක හයක ලංකා ඉතිහාසය කීවොත් නිවැරදියි.

නිහාල් නෙල්සන් යනු ලියා දුන් ගීත ගායනා කරපු ගායකයො නොව ජීවත් වුණු මොහොත තුළ සමාජය හැසිරෙන ආකාරය කියවා එය හොඳින් තේරුම්ගෙන සමාජය ගායනා ගල ගායකයෙක්.

නිහාල් නෙල්සන් ගේ ගීතවලට ආදරය කළ රසිකයාට ඔහු නික්ම ගිය පසු ඒ හිඩස එලෙසම පවතින අතර එහි අඩුවේ ගැඹුර රසිකයාට තදින් දැනෙනවා.

හිල්මි සුපුන්

 

 

leave a reply