ඓතිහාසිකත්වය’ යනු යථාර්ථවාදී සාහිත්‍ය රීතියේ දී මග හැර යා නො හැකි යථාර්ථයකි. එබඳු යථාර්ථවාදී රීතියකින් සිදු වනුයේ කිසියම් නිශ්චිත යුගයක හා ප්‍රදේශයක මිනිස් සබඳතා ප්‍රතිනිර්මාණය කිරීම යි. එනයින් එබඳු නවකතාවක් ඓතිහාසික යථාර්ථවාදී නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. ඩබ්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, ටෙනිසන් පෙරේරා, ගුණදාස අමරසේකර මෙන් ම එරික් ඉලයප්ආරච්චි ද එබඳු ඓතිහාසික යථාර්ථවාදී නවකතා රචනා කර ඇත.
එහෙත් ‘ඉතිහාසය’ යනුවෙන් වෙන ම විෂයක් තිබිය දී මිනිසාට ඓතිහාසික යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වූයේ ඇයි ද, යන තීරණාත්මක ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුරු දීමට උක්ත ලේඛකයන් එතරම් උනන්දු වූ බවක් ඔවුන්ගේ නවකතාවන්ගෙන් දිස් වන්නේ නැත. ඔවුන් අතරින් ඒ සඳහා යම් මැදිහත් වීමක් සිදු කර ඇත්තේ එරික් පමණක් බව පැවසිය හැකිය.
එහි ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ රචනා වූ බොහෝ ඓතිහාසික නවකතාවන්ගෙන්, ලංකාවේ රචනා වී ඇති ‘ඉතිහාස කතාවෙහි’ දක්නට ලැබෙන ‘ප්‍රබන්ධයට’ වඩා ප්‍රබන්ධමය යථාර්ථයක් දක්නට නො ලැබීම යි. ෆ්‍රාන්ස් කෆ්කා හෝ ජේම්ස් ජොයිස් බඳු නවකතාකරුවකු ඉතිහාසය සමග ගනුදෙනු කරන ආකාරය සමඟ සැසඳීමේ දී ලංකාවේ ඓතිහාසික යථාර්ථවාදය නතර වී ඇති ස්ථානය පිළිබඳ එතරම් සතුටු විය නො හැක්කේ එබැවිනි. ගම්පෙරළියෙහි ජිනදාසට දාව නන්දාට ලැබෙන දරුවා මිය යාම බඳු ප්‍රබන්ධ කතාමය උපක්‍රම මගින් සිදු වී ඇත්තේ ඉතිහාසය අතිශය සරලමතික ලෙස වාර්තාකරණයට ලක් වීම මිස මෙරට ග්‍රාමීය ප්‍රභූ පන්තියේ බිඳ වැටීම පිළිබඳ ඓතිහාසික සංවාදය පෝෂණය කිරීම සඳහා නව යථාර්ථමය තලයක් ප්‍රතිනිර්මාණය කිරීම නො වේ.
ලියනගේ අමරකීර්ති සිය නවතම නවකතාව වන ‘කැළලිකාරයෝ’ රැගෙන පැමිණෙන්නේ ඓතිහාසිකත්වය මෙරට ඉතිහාස රචනාවන්ගෙන් මිදී සාහිත්‍යමය වශයෙන් සන්දර්භගත කළ යුතු ඉතා වැදගත් නිමේෂයක ය. ඒ සඳහා යථාර්ථවාදය ප්‍රමාණවත් නො වන, පශ්චාත් යථාර්ථවාදී සාහිත්‍ය රීතියක අවශ්‍යතාව මතු වී ඇති නිමේශයක ය.
‘කැළලිකාරයෝ’ බඳු සංඥාවක් මීට පෙර යථාර්ථවාදී සාහිත්‍යයේ එකලස් කර නො තිබුණු පදාණු 03ක සංයෝගයකින් ගොඩ නඟා ගත්තකි. (කැළලි + කාර + ඕ) මෙතෙක් සිංහල යථාර්ථවාදී සාහිත්‍යයේ අපට මුණ ගැසී ඇත්තේ ‘කැරලිකාරයෝ’ මිස ‘කැළලිකාරයෝ’ නො වේ(සංඥාවක් ලෙස). මෙසේ කැරලිකරුවන් හමු වූ සාහිත්‍ය සමාජයක කැළලිකරුවන් පමණක් ඉතිරි වී ඇති ඓතිහාසිකත්වයක් නිර්මාණය වී ඇති බව අමරකීර්ති සිය නවකතාවේ සංඥා නාමයෙන් ම යෝජනා කරයි.
‘මහකන්ද පාමුල’ ‘කුරුලු හදවත’, ‘අහම්බකාරක’, ‘රතු ඉරි ඇඳි අත’ බඳු අමරකීර්තිගේ පූර්ව නවකතාවන්ගේ නම් සමග සසඳන විට මෙම ‘කැළලිකාර’ නම කැරලිකාරී යෙදුමක් බව නම් පැවසිය යුතුය. යථාර්ථය අභිභවා යන එම සංඥාව මීට පෙර ඉතිහාසඥයා විසින් අර්ථකථනය නො කරන ලද යමකි. අමරකීර්තිගේ ‘අටවක පුත්තු’ බඳු නවකතාවක නාමයෙහි ද එම ගුණය දක්නට ලැබෙන බව පැවසිය හැකිය.
අප අවධානය යොමු කළ යුතු අනෙක් සිත් ගන්නා සුලු කරුණ වන්නේ මෙම ‘කැළලිකාරයෝ’ යන නම මුණ ගැසෙන පළමු තත්පරයේ දී සාමාන්‍ය සිංහල පාඨකයා එය ‘කැරලිකාරයෝ’ ලෙස හඳුනාගැනීමට ඇති අවදානමයි. ෆ්‍රිට්ස් පර්ල්ස් (1883-1970) විසින් ඉදිරිපත් කරන ලද ගෙස්ටෝල්ට් න්‍යාය (gestalt theory) පිළිබඳ අපගේ අවධානය යොමු විය යුත්තේ මේ හේතුවෙනි. කෙටියෙන් පවසන්නේ නම් එම න්‍යායෙන් විස්තර වන්නේ පසුබිමට ඇති සම්බන්ධයෙන් මුදවා කිසිදු රූපයක් සංජානනය කළ නොහැකි බවයි.
මෙය යම් ආකාරයකට ව්‍යුහවාදය හා සම්බන්ධ කර ගත හැක්කකි. සාමාන්‍ය සිංහල පාඨකයාට ‘කැළලිකාරයෝ’ යන්න ‘කැරලිකාරයෝ’ ලෙස දිස්වන්නේ ඔවුන් ජීවත් වන පසුබිම තුළ හෙවත් ව්‍යුහය තුළ ‘කැරලි’ තරම් ‘කැළලි’ දෘෂ්‍යමාන කර නො මැති බැවිනි. මින් අදහස් වන්නෙ එහි ‘කැළලි’ නොමැති බව නො වේ. තම සිරුරෙහි පවා එම කැළලි දක්නට ලැබෙන නමුදු සාමාන්‍ය සිංහල පාඨකයා භීතියට පත් කර ඇත්තේ එම කැළලි සම්බන්ධයෙන් නොව පෙර කී කැරලි සම්බන්ධයෙනි.
ඉතිහාසය රචනා කරනු ලබන අධිපති දෘෂ්ටිවාද ඛණ්ඩනය කරනු ලබන නව පශ්චාත් යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වන්නේ එබැවිනි. යථාර්ථය අවබෝධ කරගැනීමට මෙන් ම එය අභිභවනය කිරීමට ද යථාර්ථවාදයට අවසන් කළ නො හැකි වූ කාර්යභාරයක් කිරීම සඳහා පශ්චාත් යථාර්ථවාදයක ඇති වැදගත්කම මෙම න්‍යායික ප්‍රවේශ ඔස්සේ අපට වටහා ගත හැකිය.
ඒ අර්ථයෙන් ලියනගේ අමරකීර්ති, ‘කැළලිකාරයෝ’ නමැති සිය නවතම නවකතාවේ දී ඒ සඳහා කිසියම් සාධනීය උත්සාහයක් දරා ඇති බව ප්‍රථමයෙන් ම පැවසිය යුතුය. විශේෂයෙන් ම මෙහි දී නවකතාකරුවා සිංහල පාඨකයා ඉදිරියට ගෙන එන ඓතිහාසික මොහොත වන 2000න් පසු අවධියේ සමාජ දේශපාලන සමාජ ආර්ථික පසුබිම මේ වන විටත් සංස්කෘතික අමාත්‍යංශය විසින් මහාවංශගත කරමින් සිටින බව අප අමතක නො කළ යුතුය. ‘කැළලිකාරයෝ’ ලියැවෙන්නේ එම අධිපති ඉතිහාස කතාවට එරෙහිව ය.
නවකතාවේ කතා ප්‍රවෘත්තියට අදාළ ප්‍රධාන චරිතය වන්නේ ‘දීපිකා’ වන නමුත් මෙහි තේමාත්මකයට අදාළ ප්‍රධාන චරිත වන්නේ ‘සමින්ද’, ‘දයාවංශ’, ‘ගිම්හාන්’ සහ ‘ආදිත්‍ය’ බව පැවසිය හැකිය. මන්ද යත්, පාඨකයා වෙත ‘කැළලි’ පිළිබඳ සාක්ෂි රැගෙන එන්නේ මේ චරිත මගින් වන බැවිනි. එහෙත් දීපිකාට මේ සෑම කැළලක් සමග ම සම්බන්ධයක් ඇත. ඇයගේ භෞතිකව දෘශ්‍යමාන වන කිසිදු කැළලක් නොමැති නමුදු ඇයගේ අභ්‍යන්තරයෙහි වන කැළලි කඩතොලු හඳුනා ගත හැක්කේ මෙම අනෙක් චරිතයන්ගේ කැළලි සමීපව කියවා ගැනීම මගිනි.
නවකතාකරුවා පාඨකයා ඉදිරියට ගෙන එන මේ සියලු කැළලි, දකුණේ සිංහල සමාජය 70-80 දශකවල අත්විඳි තරුණ කැරලිවලින් ඇති වූ කැළලිවලට වෙනස් හැඩයේ කැළලි වර්ගයක් නොව වෙනස් හේතු සාධක මත ඇතිවුණ කැළලි වර්ගයකි. එය සරල කියවන්නෙකුට යුද්ධය බඳු සාධකයකට සීමා කළ හැකි වුවත් පුළුල් අර්ථයෙන් ඒ දෙස නිරීක්ෂණය කිරීමේ දී පෙනීයන්නේ ඒවා මෙරට ගොඩනැගුණු සිංහල-දෙමළ ජාතිකවාදයේ ගොරතර ප්‍රකාශන බව යි.
සමින්දගේ ශරීරයේ ඇති කැළලිවලින් නිශ්චිත ලෙස ම සිව් වන ඊළාම් යුද්ධයේ ප්‍රතිඵල ප්‍රදර්ශනය වුව ද දයාවංශ, ගිම්හානි හා ආදිත්‍යගේ සිරුරුවල අති වුණු කැළලි වටහා ගත හැක්කේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විසින් වපුරන ලද ලිංගික හිංසනයේ භෞතික ප්‍රකාශන ලෙස ය.
මේ අතර වගකීම් සහගත පාඨකයකු විසින් මග නො හැරිය යුතු චරිතයක් වන්නේ සමින්දට දාව දීපිකාගේ කුසින් බිහිවන විහඟගේ චරිතය යි. ඔහු කුඩා වියෙහි සිට ම චිත්‍ර කලාව වෙත නැඹුරු වන අතර ඔහුගේ විශේෂත්වය වනුයේ මිනිස් සිරුරෙහි ඇති තුවාල කැළලි ඇඳීමට ඔහු දක්වන නැඹුරුව යි. තම පියා සමින්ද හමුදා සෙබළකු ලෙස යුද්ධයෙහි දී ලද කැළලි ඇඳීමට යොමු වීමෙන් ඇති වන මෙම නව සිතුවම් ආර අපට ‘කැළලිවාදයක්’ (scarism)ලෙස හැඳින්විය හැකිය. චන්ද්‍රගුප්ත තේනුවර බඳු කලාකරුවකු හඳුන්වා දුන් බැරල්වාදය(barrelism) මෙහි දී සිහිපත් විය හැකි වුව ද විහඟගේ මේ චරිත ලක්ෂණය විසින් මේ නවකතාවට යථාර්ථවාදය ඉක්ම වූ ස්වරූපයක් ලබා දෙනු ලබන බව පැවසිය යුතුය. විසි එක් වන සියවසේ පළමු දසක දෙක තුළ ලංකාවේ මහා සමාජය තුළ පරමත්වයට නැංවූ දේශප්‍රේමය, රණකාමය හා ආගමික අන්තවාදය හේතුවෙන් ඇති වූ තුවාල කැළලි අමතක කර දැමීම අපගේ සාහිත්‍ය-කලා ව්‍යාපාරයන්ගේ මෙන් ම දේශපාලන ව්‍යාපාරයන්ගේ ද යථාර්ථය විය. අමතක කර දැමුවා පමණක් නොව මේ කැළැල් ඇති කිරීම සඳහා ද ඔවුහු දැන හෝ නො දැන දායක වූහ. එබඳු තත්වයක් යටතේ විහඟ මේ ‘කැළලි’ ඇඳීමට ඉදිරිපත්වීම යථාර්ථවාදී නැත. විහඟගේ චරිතය පශ්චාත් යථාර්ථවාදී චරිත නිරූපණයක් බව අප පවසනුයේ එබැවිනි.
“මාතෘ භූමියේ සරුසාර ගොඩමඩ දක්වන භූමි දර්ශන ඇඳ ඇඳ උන් විහඟ මාතෘභූමිය ආරක්ෂා කරන්නට ගිය තාත්තාගේ ශරීරයේ කැළලි අඳින තැනට මාරු වුණේ අන්න එහෙම ය.”
(පිටුව 52)
රණවිරුවකු ලෙස කිරුළු පළඳවා ඝාතනය වීමට සැලැස් වූ තම පියාගේ මෙන් ම ඔහුගේ දුරකථන තිරයේ පැවති එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන්ගේ ශරීරවල පැවති කැළැල් දුටු විහඟ තම චිත්‍ර කලාවේ ප්‍රධාන තේමාව බවට කැළැල් පත් කර ගත්ත ද ඒ සම්බන්ධයෙන් තියුණු දේශපාලන කියැවීමක් ඔහු සතු නො වන බව දැක්වීම ද මෙහි දී වැදගත් සංවාදයක් සඳහා දොරටු විවර කිරීමකි.
“සමින්දගේ දුරකථනයේත් මිය ගිය, සුන්බුන් වූ, තුවාල වූ කොටි කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඡායාරූප තිබුණා. ඒවා දීපිකාට පෙන්වුවත්, පුතා නොදැකිය යුතු යැයි ඔහු සිතා තිබුණත් නොයෙක් ආකාරයෙන් කැළලි වූ මනුෂ්‍ය ශරීර පිළිබඳ ඡායාරූප සියල්ල ම විහඟ තාත්තාට හොරෙන් බැලුවා. ඒවා ජයක සංකේත ද පරාජයක සංකේත ද යන්න හරි හැටි විසඳා ගත නො හැකි මානසික අර්බුදයකට වැටුණු ඔහු තම චිත්‍ර කලාවේ ප්‍රධාන තේමාව කැළලි බවට පත් කර ගත්තා.”
(පිටුව 52)
නවකතාවේ පසු පරිච්ඡේදයකදී ඉදිරිපත් කෙරෙන පරිදි පශ්චාත් නන්දිකඩාල් මුස්ලිම් විරෝධයකදී විහඟ ලවා ‘මුස්ලිම් සැත්කම්’වලින් සිංහල මව්වරුන්ගේ උදරවල ඇති වූ කැළලි බිය ගෙන දෙන අයුරින් ඇඳ ගැනීමට සිංහල බෞද්ධ මූලධර්මවාදීන්ට හැකි වන්නේ ඉහත සඳහන් පරිදි ‘හරි හැටි විසඳා ගත නොහැකි වීමේ මානසික අර්බුදයට’ ඔහු ගොදුරු වී සිටි බැවිනි. කැළැල් ඇඳීම වැදගත් වුව ද එම කැළලි එපරිදි ම ඇඳ දැක්වීමට (යථාර්ථවාදයට) වඩා වැදගත් වන්නේ එම කැළැල් පිටුපස ඇති දේශපාලන ආර්ථිකය වටහා ගැනීම බව නවකතාකරුවා අපට පෙන්වාදෙනුයේ එපරිදි ය.
ගෙස්ටෝල්ට් න්‍යායට අනුව, මේ මොහොතේ අප සමාජයට සිදු වී ඇත්තේ කැළැල් සාමාන්‍යකරණය වීම ය. පසුබිම හෙවත් ව්‍යුහය(පද්ධතිය)තුළ කැළැල් සැඟව ගොස් ඇත.
සිය නවකතාවේ චරිතයක් ද වන ලියනගේ අමරකීර්ති මේ සිදු කරනුයේ එසේ හඳුනා ගත නො හැකි වන පරිදි සැඟවීමට උත්සාහ දරන මේ කැළැල් ඊට මූලභූත වූ ඓතිහාසිකත්වය ද සමග චිත්‍රණය කර දැක්වීමට යි. විහඟගේ චිත්‍රණයෙන් අමරකීර්තිගේ චිත්‍රණය විෂම වනුයේ කතුවරයා එම කැළැල් පිටුපස එන දේශපාලන ආර්ථිකය පිළිබඳ මේ වනවිටත් සබුද්ධික වන හෙයිනි.
නවකතාවේ චරිතයක් ලෙස අන්වර්ථ නාමයකින් පෙනීසිටීම වෙනුවට තම නමින් ම පෙනී සිටින කතුවරයා නවකතාව අවසන් කරනුයේ පහත පරිදිය.
“පොත තවත් නම් දික් කරන්න බෑ. කෙටි වන තරමට හොඳයි. මගේ පාඨකයෝ විශ්වාසයි. මේ කතාවෙ ඉතුරු ටික ලියැවෙන අනන්තයට ම විහිදෙන, සජීවි පිටුව තමයි පාඨකයාගෙ පරිකල්පනය.”
(පිටුව 332)
මෙරට ඉතිහාසය, එහි පාඨකයාගේ පරිකල්පනයට ඉඩ ලබා දෙන්නේ නැත. එය සියල්ල පරිකල්පනය කර පාඨකයා ඉදිරියෙහි අධිපතිව වැජඹෙන අතර එය එලෙසින් ම ප්‍රතිනිර්මාණය කිරීමෙන් තවදුරටත් යථාර්ථය අභිභවනය කළ නො හැකිය. ඊට පාඨකයාගේ පරිකල්පනයට අතහිත ලබා දෙන නව පශ්චාත් යථාර්ථවාදී සාහිත්‍යයක් අවශ්‍ය වන්නේ එබැවිනි.
රළ අතිරේකය