සේපාල් අමරසිංහ නම් සිද්ධියට දැන් අර්ථකතන ගොඩ නැගෙමින් තිබේ. ඒවා ඔහුට අනුව නොව අර්ථකතනය කරන්නාට අනුව සත්‍ය යැයි ගොඩ නැගෙන අදහස් ය. මේ අදහස් “සේපාල් ඉවෙන්ට් එකේ“ පශ්චාත් කරුණු (post facts) ලෙස තේරුම් ගතහොත් ඒ සියල්ල සත්‍ය හෝ අසත්‍ය හෝ කියා තේරුම ගන්නේ කෙසේ ද, ඒවා තේරුම් ගත හැකි ද?
දළදා වහන්සේට ලබ්බ කීම එයට අපහාස කිරීමක් හෝ එසේ කිරීමට නිදහසක් ඇත හෝ නැත කියා අර්ථකතනය කරති. මේ අර්ථකතනයන් සමාජීය වශයෙන් ද නෛතික වශයෙන් ද, දේශපලනික වශයෙන් ද සිදු කරමින් සිටී. මේ සියල්ල අවසානයේ ඇත්තේ “නිදහස“ යන්න සෘජුවවත් වක්‍රවවත් අර්ථකතනය කිරීම ය.
යම් අය සේපාලගේ ඉතිහාසයට අනුව ද මෑත කාලයට අනුවද ඔහුගේ සිදුවීම නිර්චනය කරන අතර සතුරු සහ මිතුරු බලවේග ලෙසත්, ලිබරල්වාදී ලෙසත්, ආගමික අනාගාමික ලෙසත් අර්ථකතකය කරති. දේශපාලනික, ආර්ථික, හා විදේශ න්‍යාය පත්‍ර ලෙසත් සිතති. එකි මෙකී නොකී සියලු අර්තකතන සමස්ථය කෙසේ හෝ කොටස් දෙකකට බෙදීම සිදු වීම වැලැක්විය නො හැකි ය.
ඒ බෙදීම සිදු වන්නේ නීතිය තුලය. ඒ අනුව සේපාල් අමරසිංහ වරදකරු ද නැවැරදිකරු ද යන්න ය. නීතිය විසින් දිය හැකි මේ විසඳුම් දෙකට අයත් නොවන විසඳුමක් තිබේද යන්න ඊ ලඟට එන ප්‍රශ්නයයි.
තුන් වැනි විසඳුමක් තිබේ නම් එය ඇත්තේ ද නීතිය තුල ය. නීතිය නීතියෙන් ඔබ්බට ගොස් යුක්තිය දෙසට ගමන් කළ යුතු ය. එම යුක්තියට මිනිසෙකුගේ අයිතිය හා නිදහස යන්නත්, මිනිසුන්ගේ නිදහස හා අයිතිය යන්නත් කුමක්ද යන්නට මානයක් තිබිය යුතු ය. සේපාල වැරදි නම් අනෙක් පාර්ශවය නිවැරදි ද. එසේ නැති නම් එහි අනෙක් පැත්ත ද
කුරුසයේ ඇණ ගසනවාට වඩා පුද්ගලයාගේ සිට ආයතන දක්වා සියල්ලට අවශ්‍යව ඇත්තේ යුක්ති සහගත සංහිඳියාවකි. ආගමික වශයෙන් එවැන්නක් ය නො පෙනේ. දේශපාලනයෙන් එය නො පෙනේ. සමාජයෙන් එය නො පෙනේ. ඔක්කෝම ඉල්ලන්නේ මස් රාත්තලය.
සේපාල ඉල්ලුවේත් මස් රාත්තල ය.
නීතිය විසින් මේ මස් රාත්තල ලබා දිය හැක්කේ කාට ද. නිදහස් යන්න බහුතරය නොවේ. යුක්තිය යන්න බහුතරය නොවේ. ඒ බව සමාජයට කියා දීමට අවශ්‍ය දැක්ම අද සමාජයට අවශ්‍යව තිබේ. අවාසනාවකට රටේ සමස්ථ දේහයම කඩා වැටී ඇති මොහොතක නීතියට යුක්තියේ ඥාණය පහළ වේ යැයි සිතිය හැකි ද. අයිතිය සහ නිදහස යන්නට ඇති අර්ථයෙන් යුක්තිය පසිඳලිය හැකි වේ ද. එම තුන් වැනි ඇසට ඇති විසඳුම වන්නේ සංහිඳියාවකට ගමන් කිරීමය. එයට පුද්ගලයාත් සමාජයත් අයත් ය.
ඉතින් අපි කොහොමද මේ පශ්චාත් සත්‍ය ගොඩ නැංවීමෙන් (post truth construction) ගැලවෙන්නේ. විශේෂයෙන් දේශපාලනයට, ආගමට. නීතියට, දර්ශනයට, විද්‍යාවට, ජන මාධ්‍යයට මේ තත්ත්වයෙන් ගැලවිය හැකි ද. සේපාල වරදකරුවකු වන්නේ නම් ඔහුට එරෙහි වන්නන් නිවැරදි ද. ද්විත්ව ප්‍රතිවිරුද්ධත්වයෙන්(Binary opposition) තුන් වැන්නකට ගමන් කළ හැකි වීම අද දවසේ රටේ පවතින ගැටලුවලටද යුක්තියක් ඉටු වනු ඇත. ඒත් අප තවමත් ඇත්තේ පසු පසිනි. ඉදිරියෙන් සිටී යැයි සිතන්නෝ ද ඇත්තේ ඉදිරියෙන් ද යන්න කල්පනා කිරීමට කාලයයි. මේ සටහන සේපාල ඉවෙන්ට් එක නිසා ලිවීමට හේතු වුණත් මෙය සේපාලටම පමණක් නොවේ.