Breaking News

ගෑස් නැත – කිරිපිටිත් නැත

මේවනවිට රට තුළ ගෑස් හිඟයක් සහ කිරිපිටි හිඟයක් ඇතිව තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි.

ආනයනික කිරිපිටි ඇනවුම් කිරීම අත්හිටුවා ඇති බව ආනයනික සමාගම් පවසයි.

ආනයනික කිරිපිටි සඳහා ඉල්ලා සිටින මිල වැඩිවීම මෙතෙක් පාරිභෝගික අධිකාරියෙන් ලබා නොදීම නිසා සමාගම් ලබන අධික පාඩුව නතර කර ගැනීමේ අරමුණෙන් කිරිපිටි ඇණවුම් කිරීම අත්හිටුවීමට තීරණය කළ බව එම සමාගම් පවසා තිබේ.

දැනට සමාගම් සතුව තිබෙන්නේ මෙම මාසයට ප්‍රමාණවත් කිරිපිටි තොග පමණක් බව වාර්තා වේ.

මේ තත්ත්වය හේතුවෙන් ලබන මාසය අවසානයේදී වෙළඳ පොළේ ආනයනික කිරිපිටි හිඟයක් ඇතිවිය හැකි බවද පැවසේ.

සමාගම් සතුව තිබෙන කිරිපිටි තොග වෙළඳ පොළට නිකුත් කිරීම මේ වනවිට 65%න් පමණ අඩුකර ඇති බවත්, පසුගිය මාසයේදී වෙළඳ පොළට නිකුත් කළ කිරිපිටි ප්‍රමාණය 50%කින් පමණ අඩුකර තිබෙන බවද වාර්තා වේ.

මේ අතර පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත අමාත්‍ය ඩී. බී. හේරත් පවසා ඇත්තේ රට තුළ කිරිපිටි හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් රට තුළ දියර කිරි ප්‍රචලිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්ය.

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිදුකළ ප්‍රකාශයක් හරහා කිරිපිටි මිල රු 200න් පමණ ඉහළ යා හැකි බවට ඉඟි පළවී තිබේ.

කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවයි.

කිරිපිටි මිල රුපියල් 200 කින් පමණ ඉහළ දැමුවහොත් දැන් පවතින කිරිපිටි හිඟයක් නැති වන බවත් එසේ මිල ඉහළට දැමීමට අවසර නොදෙන බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

කොරෝනා වසංගතත් සමඟ සමස්ත ලෝකයේම සැපයුම් ජාලය කඩාවැටීමෙන් ප්‍රවාහන සහ නැව් ගාස්තු ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ මිල වැඩිකිරීමට අවසර නොදීම හේතුවෙන් කිරිපිටි ආනයනය නොකිරීම මෙම තත්වයට හේතුව බවයි.

ගෑස්

කහ පැහැති ලාෆ්ස් ගෑස් සිලින්ඩර හිමියන් ගෙන් ඇතැමුන් තමන්ගේ හිස් ගෑස් සිලින්ඩර් නිල් පැහැ ගන්වා ලිට්රෝ ගෑස් මිලදී ගැනීමට උත්සහ කරන බවට ගෑස් අලෙවි නියෝජිතයින් ගෙන් වාර්තාවේ.

කහ පැහැති හිස් ගෑස් සිලින්ඩර් ලක්ෂ 29 ක් මේවනවිට රටපුරා ඇති අතර ලාෆ්ස් සමාගම සිය අලෙවි කටයුතු තාවකාලිකව අත්හිටුවීමත් සමග එම ගෑස් සිලින්ඩර හිමි පාරිභෝගිකයින් බරපතල අර්බුදයකට ලක්ව සිටියි.

කහ පැහැති ලාෆ්ස් ගෑස් හිස් සිලින්ඩර වලට ගෑස් පිරිවීමට ලිට්රෝ ගෑස් සමාගමට නිත්‍යානුකූල අයිතියක් නොමැති වීම ඊට ප්‍රධානම හේතුව වී තිබේ.

නිල් පැහැති හිස් මෙටල් ගෑස් සිලින්ඩරයක් මිළ මේවනවිට රුපියල් 8000 ක් පමණවේ.

leave a reply