අනෙක් සෑම ක්ෂේත්‍රයකම පාහේ අයවැය කප්පාදු කරන අවස්ථාවක, ආරක්ෂක අයවැයට ප්‍රමුඛත්වය ලබා දීම, දේශපාලන ස්ථාවරත්වය සහ බලය මත සිය ග්‍රහණය පවත්වා ගනිමින් හා ප්‍රදර්ශනය කරමින්, ආරක්ෂක හමුදාවන් මත ආණ්ඩුව රඳා පවතින බවට වන ඉඟියකි. එසේම එය, නරකම තත්වයන් ඉදිරියේදී පැමිණෙන්නට ඉඩ ඇතැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ පවතින භීතියේ ද පිළිබිඹුවකි. මුහුණදෙන දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ඉක්මනින් ගොඩ එනු ඇතැයි අපේක්ෂා කරන ජනතාවට මෙය සුබදායක නොවේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීම පිළිගනු ලැබුවේ, පවතින දේශපාලන අස්ථාවරත්වය හරහා ගමන් කිරීමටත්, අන්තර්ජාතික ක්‍රමවේද පිළිබඳව ඇති දැනුම තුළින් ඔහුට අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීමටත් හැකි වනු ඇතැයි යන, නීත්‍යානුකූලභාවය පිළිබඳ විමසුමෙන් ඔබ්බට යන බලාපොරොත්තුවකිනි. මෙම බලාපොරොත්තුව තවමත් ඉටු නොවී පවතින්නකි. ජනාධිපති වික්‍රමසිංහ මහතා බලයට පත්වීමට පෙර රටට අවසාන වශයෙන් සැලකිව යුතු ආර්ථික ආධාරයක් ලැබුණේ ඉන්දියාවෙනි.
මේ වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් රටට ලබාදීමට කැමැත්ත පළකර ඇති ණය කෙරෙහි බලාපොරොත්තු පවතින අතර, එය, ශ්‍රී ලංකාව මේ වසරේ අප්‍රේල් මාසයේදී සිය විදේශ ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු, මෙරට සමඟ ගනුදෙනු නැවත ආරම්භ කිරීම සඳහා සුදානමින් සිටින අනෙකුත් ණය ආයතනවලට කොළ එළියක් වනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති ආර්ථික ඉලක්ක මෙවර අයවැයෙන් පිළිබිඹු වන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සෘජුව ප්‍රකාශ කළේය. බහුතර ජනතාවගේ ජීවන තත්ත්වයට බලපානු ඇතැයි යන සැකය මේ වන විටත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ යෝජනා වෙත එල්ලවී ඇති අතර, සාමාන්‍ය ජනතාව වෙතින් දැඩි ලෙස ආරක්‍ෂා කළ රහසක් සේ පවත්වාගෙන යන මෙම යෝජනා ඉදිරියේදී හෙළි කිරීමට ද ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ පැකේජය විසින් ඉල්ලා සිටින කැපකිරීම් සම්බන්ධයෙන් ඇතිවිය හැකි කෝපය, අනාගත අනුප්‍රාප්තිකයන් විසින් ජනාධිපතිවරයාට එරෙහිව යොමු කළ හැකිය. තමන්ට අවස්ථාවක් ලැබුණොත් ජනතාව හොඳින් ආරක්ෂා කරන බවට ආණ්‌ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ සිටින අනෙකුත් බලලෝභී නායකයෝ මේ වන විටත් පණිවුඩ නිකුත් කරමින් සිටිති.
මෙම සන්දර්භය තුළ, මැතිවරණ හෝ මහජන විරෝධතා ඔස්සේ සිය ආර්ථික ප්‍රතිසංස්කරණවලට ජනතාව තම විරෝධය ප්‍රකාශ කිරීම ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට අවශ්‍ය නොවන බව පෙනේ. පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා ජාතික සීමා නිර්ණ කමිටුවක් හදිසියේ පත් කිරීම සහ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතනවල මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් අඩු කිරීම, ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන වියදම් කපා හැරීමේ පියවරක් ලෙස ආණ්ඩුව විසින් පැහැදිලි කර ඇත. එය සූක්ෂ්ම උපක්‍රමයක් ලෙස සැලකිය හැක්කේ, එම පියවර, ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීමට බොහෝ දුරට හේතුවිය හැකි බැවිනි. මෙමගින් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාවට තම මතය ප්‍රකාශ කිරීම වැළකෙනු ඇත. සෞඛ්‍ය හා අධ්‍යාපනය යන ක්ෂේත්‍ර වෙනුවෙන් වෙන්කර ඇති සමස්ත වැය ප්‍රමාණයටත් වඩා විශාල ආරක්ෂක වැය ශීර්ෂය විසින් ආණ්ඩුවට එරෙහි ඕනෑම නැගිටීමක් මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදාවන්ට කෙරෙන පෙළඹවීම සහතික කරනු ඇත.
නීත්‍යනුකුල අර්බුදය
මේ වසරේ ආර්ථිකය කඩා වැටීමට පටන් ගෙන විරෝධතා ව්‍යාපාරය මාර්ගවලට අවතීර්ණ වූදා සිට ආණ්ඩුවට සිය ස්ථාවර නීත්‍යානුකූලභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දීමට සිදු විය. පසුගිය මැයි මාසයේ සිට ජූලි දක්වා කාලය තුළ ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම රජයට කැළලක් සහ අනාරක්ෂිත බවක් ඇති කර ඇති බව පෙනේ. පසුගිය සති අන්තයේ ශිෂ්‍ය නායකයන් දෙදෙනකු නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතා පුවරුවක් රැගෙන මහා මාර්ගයක තනිවම පෙළපාලි ගිය කාන්තා විරෝධතාකාරිනියන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම මෙම ආණ්ඩුවේ අනාරක්ෂිතභාවය පෙන්නුම් කරන එවැනි අවස්ථාවකි. මෙම කාන්තාවන් දෙදෙනා සමඟ ගනුදෙනු කිරීමේදී රජය කිසිදු අවස්ථාවක් ලබාදුන්නේ නැත. කාන්තාවන් දෙදෙනා බලහත්කාරයෙන් වාහනයකට නංවා ගැනීමට පෙර දුසිම් ගණනක් පොලිස් නිලධාරීහු ඔවුන්ව වටකර ගත්හ. මෙම ගැටුම්කාරී සිදුවීම අතරතුර, පිරිමි පොලිස් නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරිනියන්ට ඉතා රළු ලෙස සළකන අයුරුත්, එක් අයකුගේ බෙල්ල මිරිකමින්, බලාසිටින්නන්ට සිතාගත නොහැකි හේතු මත ඔවුන්ව තල්ලු කරන අයුරුත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටවල දක්නට ලැබිණි.
තම ක්‍රියාවන් අන්‍යයන් කෙසේ වටහා ගනීදැයි අවබෝධ නොවන තරමට, රජයට තම ආරක්‍ෂක අවශ්‍යතා ගැන දැඩි ලෙස කල්පනාකාරී වී තිබීම රටට මෙන්ම සත්‍ය වශයෙන් ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවක් නොමැතිව ශිෂ්‍ය නායකයන් දෙදෙනකු මාස තුනකට වැඩි කාලයක් සිරභාරයේ තබා ගැනීම, මානව හිමිකම් ක්‍රියාකාරීන්හට පමණක් නොව, හරි හැටි සිතන ඕනෑම පුද්ගලයකුගේ කෝපය ඇවිස්සෙන්නක් වන අතර, එය රජයට සිදුකරන්නේ විශාල පාඩුවකි. ආර්ථිකයට වඩාත් වැදගත්වන, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ඉමහත් ප්‍රතිලාභ ගෙන දෙන, යුරෝපා සංගමයේ ‘ජීඑස්පී ප්ලස්’ බදු සහනය ලබන වසරේ සමාලෝචනය කිරීමට නියමිත අතර, එම සහනය තවදුරටත් දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් කෙරෙන කැපකිරීම් මත රඳා පවතී. අතීතයේ සිදු වූ සහ වර්තමානය දක්වාම සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වෙනත් පාර්ශව අතරට ගමන් කිරීම රටට අහිතකර ලෙස බලපානු ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අඛණ්ඩව උල්ලංඝනය වන බවට චෝදනා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සමඟ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ආර්ථික තත්ත්වය පිළිබඳව බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය(House of Commons) පසුගිය සතියේ සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට සම්බාධක පනවමින් අන්තර්ජාතික අපරාධ අධිකරණයට යොමු කිරීම ඇතුළුව, සිය ජීඑස්පී ප්ලස් බැඳීම් ඉටු කරන ලෙසත්, රටේ මිලිටරි වියදම් අඩු කරන ලෙසත් ශ්‍රී ලංකාවට බලකරමින් ක්‍රියා කරන ලෙස ඔවුහු එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියහ. එක් සාමාජිකයෙක් නිර්දේශ කළේ නව පරම්පරාවේ මානව හිමිකම් සම්බාධක වැඩසටහන්වල පළමුවැන්න වන Global Magnitsky පනත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යොදාගත යුතු බවයි. මෙම පනත ඔස්සේ, එක් එක් රටවල් ඉලක්ක කරගත් සාම්ප්‍රදායික සම්බාධකවලින් බැහැරව, අදාළ රටවල භූගෝලීය පිහිටීම නොසළකා ලොව පුරා සිටින චූදිත අපරාධකරුවන්ට එරෙහිව නම්‍යශීලීව පියවර ගත හැකිය.
මිලිටරි සීමාවන්
කනගාටුවට කරුණක් නම්, රජයේ ආරක්ෂාව කේන්ද්‍ර කරගත් ප්‍රවේශය දිගු කාලීනව, එමගින් අපේක්ෂිත අරමුණුවලට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වීමට හැකියාව පැවැතීමයි. එමගින් සුළු කාලයකට රෝග ලක්ෂණ යටපත් කළ හැකිය. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) විසින් සම්පාදනය කරන ලද, ‘ශ්‍රී ලංකාව: බහුමාන අර්බුදය – මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (ජූනි – දෙසැම්බර් 2022)’ යන එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාව මගින් මෙසේ පෙන්වාදී ඇත: ඇස්තමේන්තුගත මිලියන 13.5 ක් හෙවත් ජනගහනයෙන් සියයට 61.1 ක් ආහාර මත පදනම් වූ ක්‍රමෝපායන් භාවිත කරන අතර, කුටුම්භවලින් සියයට 47.7 ක් ජීවනෝපාය සමඟ සටන් කිරීමේ උපාය මාර්ග භාවිත කරයි. 2022 නොවැම්බර් 8 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව පවසන්නේ, “මිලියන 5.3ක් පමණ ජනතාවක්, එනම් ජනගහණයෙන් සියයට 24ක් පමණ ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇති අතර, ජනගහණයෙන් එම ප්‍රතිශතයම කාන්තාවන්ට සමඟ දරුවන්ට ආහාර ගැනීමට හැකි වන පරිදි වැඩිහිටියන්ගේ ආහාර පරිභෝජනය අඩු කර ඇත. 2021 වසර අවසානයට සාපේක්ෂව පිළිගත නොහැකි ආහාර වේලක් සහිත කුටුම්භවල අනුපාතය දස ගුණයකින් වැඩි වී තිබේ.” මෙයින් පෙනෙන්නේ මිනිසුන් කුසගින්නෙන් පෙළෙන බවයි.
විශේෂයෙන්ම මැතිවරණ කල් යමින් පවතින සහ ජනතාවට තමන් විශ්වාස කරන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නොහැකි පසුබිමක ජනතාව අත්විඳින දුෂ්කරතාවලට එරෙහිව මහමගට පැමිණ විරෝධය දැක්වීම ප්‍රවණතාවක් විය හැක. අරගලය පැවැති, භාණ්ඩ මිල ඉහළ ගිය, ඉන්ධන සහ පොහොර නොලැබුණු, දින භාගයක කාලයක් විදුලිය විසන්ධි වූ කාලයේ සිදු වූවාක් මෙන්, දැඩි අවශ්‍යතාවක් ඇති වූ විට ජනතාව මර්දනය කිරීමට ආරක්ෂක හමුදාවන් අපේක්ෂා නොකළ යුතුය. ජනතාවගේ නීත්‍යානුකූල විරෝධතා යටපත් කරනවාට වඩා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය සතු සීමිත සම්පත් වෙන් කිරීම මේ මොහොතේ ඇති ප්‍රධාන අවශ්‍යතාවයි. අනෙක් අතට, ජනතාව පාලනයක් යටතේ තබා ගැනීමට සහ අනාගතයේ ඇති විය හැකි නොසන්සුන්තාවන්ට මුහුණ දීම සඳහා රජය ආරක්ෂක අංශ මත විශ්වාසය තබන බව පෙනෙන්නට තිබේ.
ත්‍රිවිධ හමුදාව කෙරෙහි රජය මෙතරම් අවධානයක් යොමු කරන්නේ මන්දැයි සහ රජයට 2030 වසර වන විට ආරක්‍ෂාව වැදගත් වන්නේ මන්දැයි යන ප්‍රශ්න මතු විය හැකි බව ජනාධිපති වික්‍රමසිංහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකදී පැහැදිලි කළේය. ඔහු එහිදී පවසන් ලද්දේ, “අපි ඉපැදුණු කාලයේ ඉන්දියනු සාගර කලාපයේ ආරවුලක් තිබුණේ නැත. එක් අවස්ථාවක, කිසිවෙකුටත් එය අවශ්ය නොවීය. අද එය එසේ නොවේ. අපට ජීවත් වීමට නම්, කුසලතා, ආරක්ෂක කුසලතා, උපාය මාර්ගික අධ්‍යයනය, ඒ සියල්ල ප්‍රයෝජනයට ගත යුතුය” යනුවෙනි. නාවික නිදහස නොමැති නම්, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්තයක් මෙරටට පැවතිය නොහැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මෙම ප්‍රකාශය ඒත්තු ගැන්විය නොහැකිය. මක්නිසාද යත්, ආරක්ෂක අයවැයෙන් වැඩි ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ බ්‍රිතාන්‍ය හෝ ප්‍රංශ හමුදාවන්ට වඩා සංඛ්‍යාවෙන් විශාල හමුදාවකට සහාය වීම සඳහා වීම නිසාය. නිදහසින් පසු වසර 74 ක කාලය තුළ රට වත්මන් තත්ත්වයට රැගෙන ගොස් ඇත්තේ මෙවැනි මහජනතාව නොමග යවන ප්‍රකාශ සහ සාධාරණීකරණය කිරීම් හරහාය. ඒ වෙනුවට, නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම සහ නව අදහස් සහිත දේශපාලන නියෝජිතයන් සමඟ ඉදිරි මාවත සාකච්ඡා කිරීම, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තිරසාර දේශපාලන ස්ථාවරත්වය සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයයි.