Breaking News

දරුවන්ට එරෙහිව කෙවිට අතට ගන්නා පොලීසි සහ ගුරුවරු

පද්මිණී කුලරත්න

විදුහල්පතිනියක සහ ගුරුවරුන් කිහිප දෙනෙකු විසින්, මුදල් පසුම්බියක් සොරකම් කරන ලදැයි චෝදනා ලැබූ අවුරුදු දහයක් පමණ වයසැති දරුවන් කිහිප දෙනෙකුට පහර දී විවිධ අඩන්තේට්ටම් කර පසුව ඔවුන් පොලිසියට බාර දී ඇති බවත්, පොලිසියේදී ද මෙම දරුවන් විවිධ හිංසනයන්ට ගොදුරුව ඇති බවත් දැක්වෙන ප්‍රවෘත්තිය නිසා මෙය ලියන්නට සිදු විය. මුලින්ම කිව යුත්තේ මෙය එක හෙලාම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි. මෙහි සදාචාර විරෝධී බවත් අමානුෂික බවත් ගැන නම් අමුතුවෙන් ලියන්නට දෙයක් ද නැත.

අපරාධ නීතිය අනුව යම් අයෙක් අපරාධයක් කළේද යන්න තීරණය කිරීමේදී ඔහු තුළ “සාපරාධී චේතනාව” (criminal intention ) පැවතියේද යන්න පරීක්ෂා කරනු ලැබේ. අපරාධයක වගකීමක් පැවරිය හැකි අවම වයස (minimum age of criminal liability) යන්න අපරාධ නීතිය තුළ බෙහෙවින් වැදගත් සංකල්පකි. එම වයස, ඒ ඒ රටවල සමාජ සංස්කෘතික සාධක මත පදනම්ව එරටවල නීති ක්‍රමය මගින් ස්ථාපනය කරනු ලබයි. අපගේ නීතියෙහි එම අවම වයස අවුරුදු දොළහකි.එනම් ඊට වඩා අඩු වයසක දරුවකු තුළ අපරාධ වරදක් කිරීමේ චේතනාවක් ඇති විය නොහැකි බව නීතිය පූර්ව නිගමනය කරන බවයි.

ඒ අනුව මේ දරුවන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී ය. ඊට සම්බන්ධ සියල්ලන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුය. ලංකාව 1989 සිට ළමා අයිතිවාසිකම් සම්මුතියේ (Convention on Rights of Child) පාර්ශවකාර රටකි. එහි සඳහන් කරුණු අනුව ළමයකු, එනම් අවුරුදු දහ අටට අඩු අයකු අත්අඩංගුවට ගත හැක්කේ අදාළ රටේ නීතියට අනුව, අත් අඩංගුවට ගැනීම හැරුණු කොට වෙනත් විකල්පයක් නොමැත්තේ නම් පමණකි. එසේම ළමයකු පොලිස් ස්ථානයක රඳවා තබා ගැනීම හැකිතාක් කෙටිම කාලයකට පමණක් සීමා විය යුතුය. ළමයකු අත් අඩංගුවට ගැනීමේදී මාංචු දැමීම හෝ ශාරීරික පීඩා සිදු නොකළ යුතුය. ළමයාට තේරුම් ගත හැකි අයුරින් ඔහු අත් අඩංගුවට ගැනීමට හේතුව පැහැදිලි කිරීමටත්, ළමයාගේ දෙමව්පියන් හට වහාම ඒ පිළිබඳ දැනුම් දීමටත් පොලිසිය බැඳී සිටී. ළමයා අධිකරණ ක්‍රියාවලියකට යොමු නොකර සමථය වැනි විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිතාක් උත්සුක විය යුතුය. කොටින්ම ළමයකු අත් අඩංගුවට ගන්නේ නම් එතැන් සිට ළමයාගේ නඩු කටයුතු අවසන් වන තුරු සියලු ක්‍රියා සිදුවිය යුත්තේ ළමයාගේ උපරිම යහපත සැලසෙන පරිදි හා ඔහුගේ අනාගතය අදාළ සිදුවීම නිසා විනාශ නොවන පරිදිය.

කෙසේ වුවත් ළමා ආරක්ෂණ සම්මුතිය අත්සන් කළද එය දේශීය නීතියේ කොටසක් බවට පත් කෙරෙන ආකාරයේ නීති සම්මත කර නැති නිසා එම සම්මුතිය අප අධිකරණ හමුවේ බලාත්මක කළ නොහැක. එහෙත් ළමයින් යම් අපරාධයක් සඳහා චෝදනා ලැබූ විට අදාළ කරගත හැකි නීතියක් 1930 දශකය තරම් ඈත කාලයක සිට අපගේ නීති පද්ධතිය තුළ ක්‍රියාත්මක වන බව බොහෝ දෙනෙක් නොදනී. ළමයින් හා යෞවන තැනැත්තන් පිළිබඳ ආඥා පනත (Children and Young Persons Ordinance) එම ඉපැරණි නීතියයි. අපරාධ නීතිය හමුවට චුදිතයකු ලෙස පැමිණෙන ළමයෙකුගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා මෙම පනතෙහි අඩංගු බොහෝ ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවීම සාමාන්‍ය තත්වය වී තිබේ. පොලිස් ස්ථානවලදී ළමයින් වැඩිහිටි අපරාධකරුවන් ගෙන් වෙන් කොට තැබිය යුතු බව, අත් අඩංගුවට පත් ළමයෙකුට පරිවාස නිළධාරියකුගේ සහාය ලැබිය යුතු බව, ළමයින් සම්බන්ධ අධිකරණ කටයුතු රහසිගතව ළමයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයෙන් සිදු කළ යුතු බව, ළමයාගේ කිසිදු තොරතුරක් මාධ්‍යවල පළ නොකළ යුතු බව ආදී වැදගත් ප්‍රතිපාදන එම පනතේ තිබේ. එහෙත් අධිකරණ පද්ධතියේ බොහෝ වගකිව යුතු නිළධාරීන් හැසිරෙන්නේ මෙවැනි නීති ගැන අසාවත් නොමැති පරිද්දෙනි.

නීතිය පසෙක තිබියදී, වැදගත්ම දේ, ළමයින් ශික්ෂණය කිරීම පිළිබඳව, පසුගිය සියවසේ අදහස් දරන පාසල් ප්‍රධානීන් සහ ගුරුවරුන් තවමත් සිටින බව පෙනී යාමයි. යාර හයේ සාරි බන්ධනයෙන් මිදීමට ආගමික සංස්ථා සමග අරගල කරන්නට සිදු වන අතරම, ස්වකීය ප්‍රජාවේ සීමිත පිරිසක් තුළ හෝ අදටත් තුරන් වී නොමැති මෙබඳු පසුගාමීත්වයන් පරාජය කරන්නටද ගුරුවරුන්ට විශාල වගකීමක් තිබේ. “වේවැල් කෝටු නාරං සියඹලා අතු”වලට වඩා පන්ති කාමරය තුළදී ආදරය සහ අවධානය වැඩ කරන බව බොහෝ ගුරුවරු දනිති. මඩොල්දූවේ උපාලිලා වැදි සන්නිය නැටූ පසු ගම්මු කීවා සේ “මුන්ගේ ඔලුගෙඩි තියන තැනට උරහිස් උස ගිය පසු ගමේ කෙල්ලකට පාරේ බැහැලා යන්න බැරි වේවි” යන හැඟීමෙන් ළමයකු වැරැද්දක් කළ කල්හි ඔවුන් කෝටුමස් කරන්නට සිතන්නේ නම් ඔහු හෝ ඇය ගුරුවරයකු වන්නේ කවර අරුතින්ද? ගුරුවරයා යනු, වරදක් කරන්නට ළමයකු පෙළඹුණු හේතු සොයා බලා ඊට පිළියම් කරන අතර, වැරදිකාර දරුවා දයාවෙන් පිළිගෙන ඔහු නිවැරදි කරන්නාය. සංකීර්ණ අධ්‍යාපනික ගැටළු සේම ජීවන ගැටළු ද මැද අසීරුවෙන් ස්වකීය වෘත්තියේ වගකීම් ඉටු කරන ලංකාවේ ගුරුවරු බහුතරයකට අදාළ නොවෙතත්, ඔවුන් අතරින් සීමිත පිරිසකට, රැයිපියෙල් තෙන්නකෝන් ලියූ මේ කවිය ආදර්ශ පාඨයක් කර ගැනීම පාඩුවක් නොවනු ඇත.

“නිසිදේ ඉගෙන ගන්නට මට කියා නොදී
බැට දේ එහෙත් කළ කළ දේ යයි වැරදී
කෙවිටේ බලෙන් එනවා නම් නුවණ ඇදී
මෙරටේ ගොනුන් පඬිදුන් වනු ඇත ළඟදී..”

leave a reply