Breaking News

පළාත් සභා ගැන ස්ථිර වචනයක් කියන්න

කැෆේ සංවිධානය ඉල්ලයි.

පළාත් සභා මැතිවරණය පිළිබඳව රජය ස්ථිර ප්‍රකාශයක් කළ යුතු බව කැෆේ සංවිධානය කියයි. එහි විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ රජය පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් මුනිවත රැකීම ගැටලුකාරී බවයි. ඇතැම් පළාත්වල පළාත් සභා අහෝසි වී වසර 3කට අධික කාලයක් ගතවී ඇතිබව පෙන්වා දෙන මනාස් මකීන් මහතා කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මෙලෙස මැතිවරණ කල් දැමීම අනුමත කළ නොහැකි බවයි.

මේ වනවිට දිවයිනේ සියලු පළාත් වල පාලනය සිදුකෙරෙන්නේ පවතින රජයේ නියෝජිතයින් ලෙස පත් කළ ආණ්ඩුකාරවරුන් යටතේය. මෙම තත්වය ප්‍රජාතන්ත්‍රවාදයට නොගැලපෙන බව කැෆේ සංවිධානයේ අදහසයි. පළාත් සභා පිහිටුවීමේ මුඛ්‍ය අරමුණ වන බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙල මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. පළාත් සභා යටතේ ක්‍රියාත්මක වන සියලු ආයතන හා සේවා වල බලය මේ වනවිට ආණ්ඩුකාරවරුන් යටතට පත්ව ඇති අතර එම ආයතන හා සේවා පිළිබඳ සියලු නිල තීරණ ගන්නේ ඔවුන් විසිනි. මෙය ඉතා බරපතල තත්වයක් බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයාගේ අදහසයි.

පළාත් සභා මැතිවරණ පැවැත්වීම කල් දැමීම වෙනුවට ඒ් පිළිබද ස්ථිර තීරණයක් ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද මනාස් මකීන් මහතා කියා සිටියි. පළාත් සභා අනවශ්‍ය බවට රටේ මතයක් ඇතිවන්නේ නම් පළාත් සභා ක්‍රමය වෙනස් කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බව මනාස් මකීන් මහතාගේ අදහසයි.

මෙරට පළාත් සභා අතුරින් නැගෙනහිර, උතුරු මැද සහ සබරගමුව යන පළාත් වල පළාත් සභා වල නිල කාලය 2017 වසරේ ඉකුත් වූ අතර, මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත් වල නිල කාලය 2018 වසරේදී අවසන් විය. 2019 වසරේ කල් ඉකුත් වූ පළාත් සභා වන්නේ බස්නාහිර, දකුණු සහ ඌව යන පළාත් ය.

 

leave a reply