Breaking News

පොලීසිය උද්ඝෝෂණවලට පහරදීම ගැන අල්ලස් කොමිසම විමර්ශනයක් අරඹයි

සාමකාමී උද්ඝෝෂණවලට පහරදීම සඳහා පොලිස් සේවයේ නිලධාරීන් සහ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එක්ව ආරම්භ කරන ලද මර්දනයට එරෙහි ක්‍රියාකාරී කමිටුව විසින් සැප්තැම්බර් 22 වැනිදා සිදුකළ පැමිණිල්ලක් අනුව බීසී/1760/2022 අංකය යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මෙම විමර්ශනයට අදාල පැමිණිල්ල පහත දැක්වේ.

‘සභාපති,
ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව,
කොළඹ 07.
22/09/2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදීම සඳහා පොලිස් සේවයේ නිලධාරීන් සහ සම්පත් අයුතු ලෙස යොදාගනිමින් දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව
යම් කිසි රාජ්‍ය සේවකයෙකු තමන්ට, වෙනත් පුද්ගලයෙකුට වාසියක් හෝ පාඩුවක් සිදු කිරීමට තම නිල අවභාවිතා කිරීම දූෂණය ලෙස හඳුනා ගෙන ඇත. ඊට අමතරව යම්කිසි ආයතනයක් සතු සම්පත් අවභාවිතයද දූෂණයේ ස්වරූපයකි.
පසුගිය කාලයක් තිස්සේ ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පත් සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සාගර ලියනගේ, මරදාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සිය තනතුරු අවභාවිත කරමින්, ආණ්ඩුවේ දේශපාලන වුවමනා වෙනුවෙන් පොලිස් සේවය සතු සම්පත් අවභාවිතා කරමින් සිටී. ඊට අමතරව එම නිලධාරීන් සිය තනතුරු තවත් පුද්ගලයන්ව බියට පත් කිරීම සඳහා යොදාගනිමින් සිටී.
මෙය තනි සිදුවීමකින් හෝ සිදුවීම් කිහිපයකින් එහා ගිය, දිගින් දිගටම සැලසුම් සහගතව සිදුකරන බරපතල දූෂණ තත්වයකි.
දූෂණයේ විවිධ ස්වරූප ඇත. ‘නීතියෙන් තමන්ට හිමි තීරණ ගැනීමේ බලය හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති බලය පාවිච්චි කරමින් එක් පිරිසකට හෝ පුද්ගලයෙකුට විශේෂ වාසි හිමි වන ආකාරයෙන් වැරදි සහ අසාධාරණ තීරණ ගැනීම හා නීති ක්‍රියාත්මක කිරීම, නීති වැරදි අයුරින් ක්‍රියාත්මක වීමත් යම් යම් තීරණවල නිවැරදි හා සාධාරණ බව මැනීමේ ක්‍රියා පිළිවෙතක් නොතිබීමත්‘ බලය අයුතු ලෙස යෙදවීමයි.
යම් රාජ්‍ය සේවකයෙකු දූෂණය නම් වූ වරදේ යෙදී සිටින බව තහවුරු කිරීමට එම පුද්ගලයා අයුතු සහගත මූල්‍යමය ලාභයක් උපයාගැනීම අත්‍යවශය නොවේ. වෙනත් පුද්ගලයන්ට අවාසි සහගත ලෙස බලය අයුතු ලෙස යෙදවීම දූෂණය නම් වූ වරදට අයත් වේ.
ඒ අනුව විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු ජුලි මස අග සිට දිගින් දිගටම පැවති විරෝධතාවලදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදාගනිමින්, එම උද්ඝෝෂකයන් බියට පත් කිරීම, පහරදීම සඳහා පොලීසියේ වාහන යෙදවීම, නිලධාරීන් යෙදවීම දූෂණය නම් වරදට අයත් වන බවත්, ඒ පිළිබඳ විමර්ශනය කොට දඬුවම් ලබා දීමට පියවර ගන්නා ලෙසත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නෙමු.
සැප්තැම්බර් 24 වැනිදා ලිප්ටන් වටරවුමේ සිට කොටුව දක්වා ගමන් කොට සාමකාමී රැළියක් පවත්වා අවසන් කරන්නට නියමිත වූ සමාජවාදී තරුණ සංගමයේ පාගමනට පොලීසිය නිලධාරීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා පහරදීමට කටයුතු කළේය.
කැරලි මර්ධන ඒකකය සහ සාමාන්‍ය පොලිස් නිලධාරීන් එයට යොදවා තිබුණු අතර, කොළඹ පොලිස් ස්ථාන ගණනානවක එදිනෙදා කටයුතු සිදු කිරීම සඳහා ප්‍රමාණවත් තරම් පොලිස් නිලධාරීන් නොසිටි බව දැනගන්නට ලැබුණි.
එදින හවස්වරුවේ කොළඹ කොටුව, පිටකොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක ස්ථානාධිපතිවරුන්, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් සිය රාජකාරි සිදු නොකර මෙම උද්ඝෝෂණය නැරඹීම සහ පහරදීම නිරීක්ෂණය මෙන්ම මෙහෙයවීම වෙනුවෙන් පැමිණ සිටියේය.
එදින කොටුව, පිටකොටුව, මරදාන, කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාශය, ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක ඇති ජීප් රථ 10කට වැඩි ප්‍රමාණයක් විරෝධය මර්දනය සඳහා යොදා තිබුණි. ඊට අමතරව ඉහළ පොලිස් නිලධාරීන් සඳහා ලබා දී ඇති සුසුකි වර්ගයේ මෝටර් රථ 10කට ආසන්න ප්‍රමාණයක්, ට්‍රක් රථ සහ බස් රථ 20කට වැඩි ප්‍රමාණයක්, ජල ප්‍රහාරක රථ තුනක්,
වාහන ප්‍රමාණය ඉහත තොරතුරු සීමා නොවූ අතර වේයන්ගොඩ වැනි දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි වාහන පවා එයට යොදවා තිබුණි. එදින යෙදවූ වාහන විශාල ප්‍රමාණයක අංක සහ වීඩියෝ විමර්ශනයකදී ඉදිරිපත් කළ හැක.
මෙම අනීතික පහරදීමේදී පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට තුවාල වූ බවත්, ජල ප්‍රහාරක රථයට හානි සිදු වූ බවත්, එම හානිය තවම තක්සේරු කර නොමැති බවත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පොලීසිය ප්‍රකාශ කළේය. මෙම හානියටද වගකිව යුත්තේ සාමකාමී විරෝධයකට පහරදීම සඳහා පොලීසිය යෙදවූ නිලධාරීන්ය.
මෙය එකම අවස්ථාව නොවන අතර, විශාල මට්ටමේ නොවන, පාගමන් නොවන විරෝධතා සහ දේශපාලන රැස්වීම්වලට පවා පොලීසිය මෙලෙස විශාල පිරිසක් රැගෙන පැමිණීම සිදු වී තිබේ.
සැප්තැම්බර් 16 වැනිදා සිවිල් හා දේශපාලන සංවිධාන ගණනාවක් එක්ව කොළඹ හයිඩ් පිටියේ විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධය අවස්ථාවට පොලිස් බස්රථ සහ ට්‍රක් රථ 20කට ආසන්න ප්‍රමාණයක් හරහා දෙදහසකට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණි. එහිදීද කොටුව ඇතුලු පොලිස් ස්ථාන ගණනාවක ඉහළ පොලිස් නිලධාරීන් සහ කොට්ඨාශ බාර ඉහළ නිලධාරීන් හයිඩ් පිටිය අසල පිහිටි ආපිකෝ සුපර් සෙන්ටර් රථ අංගනයේ රැඳී සිටියේය. කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සාගර ලියනගේ රාජකාරී වෙලාව තුළ පැය කිහිපයක් විවේකීව තමන්ගේ ජංගම දුරකථනය නරඹමින්, මෝටර් රථයේ අසුනේ ඇළ වී සිටි බව තම අනන්‍යතාව සඳහන් කිරීමට අකමැති ආපිකෝ සුපර්සෙන්ටර් සේවකයෙකු පැවසීය.
සැප්තැම්බර් 22 වැනිදා ගෝල්ෆේස්හි පැවැත්වූ පෙත්සම් අත්සන් කිරීමේ අවස්ථාවකට පැමිණ, එම පෙත්සම තිබුණු ලොරි රථය පැහැරගෙන යෑමට කොටුව පොලීසිය තැත් කළ අතර නීතිඥවරුන් එසේ කිරීමට නීතිමය පදනම විමසද්දී පොලීසියට පිළිතුරු නොමැති විය. එම ලොරි රථය ඒ අනුව ලබා දී තිබුණි. එම අවස්ථාවටද පොලිස් ස්ථාන ගණනාවක ස්ථානාධිපතිවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ද, වාහන සහ අනෙකුත් පොලිස් නිලධාරීන්ද යොදවා තිබුණි.
මීට අමතරව ගෝල්ෆේස් පිටියේ සරුංගල් යැවීමක් සිදු කළ නීතිඥ නිරූපා සේරසිංහ ඇතුළු කණ්ඩායමකට සරුංගල් යැවීමට නොහැකි බව ප්‍රකාශ කරමින් එම අවස්ථාවට බාධා කිරීමට කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා විශාල පිරිසක් සමග එක් අවස්ථාවක පැමිණියේය. ඔහුට එම බාධා කිරීම සාධාරණීකරණය කිරීමට කිසිදු නීතිමය පදනමක් නොවීය.
අගෝස්තු 18 වැනිදා සාමකාමී විරෝධතාවකට පහරදීම සඳහාද ඉහත සඳහන් කළ ආකාරයටම නිලධාරීන් දහස් ගණනක් යෙදවීය. එම පාගමනේ ඉදිරියෙන් සිටි කලාකරුවන්ටද පහරදීම සිදු විය.
අගෝස්තු 31 වැනිදා පැවති උද්ඝෝෂණයක් අතරතුර ක්‍රියාකාරිකයෙකු වන රාජ්කුමාර් රජීව්කාන්ත් අත්අඩංගුවට ගත් අතර එයින් පසු රාත්‍රියේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ඔහුගේ ත්‍රිකුණාමලයේ පිහිටි නිවසට ගොස් නිවසේ සිටි මව ප්‍රශ්න කිරීමකට ලක් කර ඇත. කොළඹදී සිදුකළ අත්අඩංගුවට ගැනීමෙන් පසු, නිවසට යෑම සඳහා කිසිදු හේතුවක් නොමැති අතර, රජීව්කාන්ත්ගේ පවුලේ අය බියට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් අයුතු භාවිතයේ යෙදවීමක් සිදුව ඇත.
මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයට සිවිල් සහ රාජකාරී ඇඳුම්වලින් සැරසුණු නිලධාරීන් පිරිසක් පිරිවරාගෙන සුදු වෑන් රියකින් පැමිණි ඉහළ පොලිස් නිලධාරියෙකු ‘ළහිරු වීරසේකරට කතා කිරීමට අවශ්‍ය‘ බව කියමින් එම ස්ථානයේ පැවිති මාධ්‍ය සාකච්ඡාවක් කඩාකප්පල් කළේය.
ළහිරු වීරසේකර සුළු වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා ජීප් රථ හතරකට වැඩි සංඛ්‍යාවක් සහ මෝටර් සයිකල් යොදවා හඹා යෑමක් සිදුව තිබුණි. පොලිස් ස්ථානාධිපතිවරයෙකු සහ තවත් ඉහළ පොලිස් නිලධාරියෙකු මෙම අත්අඩංගුවට ගැනීම සඳහා සහභාගී වී තිබුණි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් ස්ථාන පහක ජීප් රථවලින් උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඇතුළු සමස්ත පොලිස් නිලධාරීන් 50ක පමණ සංඛ්‍යාවක් යොදවා තිබුණි.
මෙලෙසම ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියේ කණ්ඩායම් දෙකක් කඩවත ඇතුලු ප්‍රදේශවලට ගොස්, නිවාස වැටලීම් සිදු කර විශාල නාස්තියක් සිදු කර තිබුණි. එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ ලංකා බැංකු සේවක සංගමයේ එම සාමාජිකයන් පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ට අසාධාරණ ලෙස ලබාදුන් ණය ගනුදෙනුවක් පිළිබඳ වෘත්තිය සමිති ක්‍රියාකාරීත්වයක යෙදී තිබුණු නිසා එය පළිගැනීමේ සිදුවීමක් ලෙසද සැලකිය හැක.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශ ඇතුළු ආයතන ගණනාවක් මේ වෙද්දී විරෝධතාකරුවන් සිය ගණනාවක් ප්‍රශ්න කිරීම සඳහා දිනපතා කැඳවීම් කරමින් සිටී. ඉතා කුඩා වැරදි පිළිබඳවත්, වැරදි නොවන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනයන් පිළිබඳවත් මෙලෙස ප්‍රශ්න කරමින් සිටින අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංශ ගණනාවකට තම අංශයට අදාල රාජකාරී සිදු කිරීමට නොහැකි වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැනීම්වලදී ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ කීර්තිනාමයට හානි කිරීමේ අවස්ථා දැකගත හැකි විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය පවා එවැනි පුද්ගලයන්ට හානි වන ආකාරයේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සඳහා සිය නිල බලය අවභාවිත කරමින් සිටී.
මෙලෙස පොලිස් නිලධාරීන් යොදවන අවස්ථාවල සොරකම්, පහරදීම්, මිනීමැරීම් සහ අනෙකුත් බල අපරාධ ආදිය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා කොළඹ පොලිස් ස්ථාන කිහිපයකම නිලධාරීන් සහ වාහන නොමැති වූ අවස්ථා පිළිබඳ අපට දැනගන්නට ලැබී ඇත. ඇතැම් අවස්ථාවල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ පැමිණිලි ලියන්නට නිලධාරීන් නොමැති ව දැනගන්නට ලැබුණු අතර, විමර්ශන සඳහා නිලධාරීන්ට ගමන් කිරීමට ජීප් රථ සහ ත්‍රීවීලර් රථ නොමැති වූ බවද වාර්තා වී තිබේ.
සිය අනන්‍යතාව ප්‍රකාශ කිරීමට අකමැති පොලිස් නිලධාරියෙකු අප සමඟ ප්‍රකාශ කළ ආකාරයට මෙලෙස දේශපාලන වුවමනා වෙනුවෙන් තමන්ව නිතිපතා යෙදවීම නිසා තමන්ද දැඩි මානසික ආතතියකට පත්ව සිටින බවත්, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාකරුවන් පීඩාවට පත් කිරීමේ දේශපාලන වුවමනාවක් සඳහා තමන් ඇතුළු පොලිස් නිලධාරීන් අවභාවිත කරන බවක් තමන්ට හැඟෙන බවත්ය. නීතිය රැකීම සඳහා තමන්ට ඇති රාජකාරී සිදු කිරීමට තමන් කැමති නමුත්, දේශපාලන වුවමනා සඳහා සතියකට කිහිපවතාවක් තමන්ව යෙදවීම නිසා එය සිදු කිරීමට නොහැකි බවත් ඔහු කීය.
පසුගිය කාලය තුළ ගෝල්ෆේස් අසලට මිනී ගොඩගැසීමේ සිදුවීම් වාර්තා විය. මිනීමැරීම් සහ බරපතල ගණයේ අපරාධ සිදුවීම් ගණනාවක් වාර්තා විය. මංකොල්ලකෑම් මෙන්ම ආර්ථික පීඩනය නිසා සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම්ද දැනගැනීමට තිබේ. ඊට අමතරව කාලයක් තිස්සේ යුක්තිය ඉටු නොවූ මහා පරිමාණ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ජනතා අවශ්‍යතාවක් ලෙස පවතී.
මෙහි සදහන් කරුණුවලට අදාල විඩියෝ සාක්ෂි සහ පොටෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස මේ වෙද්දී සිදුවන මහා පරිමාණ දූෂණ තත්වය පිළිබඳ පියවර ගැනීමක් අපි අපේක්ෂා කරන්නෙමු.
මීට,
මර්දනයට එරෙහි ක්‍රියාකාරී කමිටුව
තරුණ නීතිඥ සංගමය
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය’

leave a reply