Breaking News

ගෝලීය කාබන් බදු ක්‍රමයක් වෙනුවෙන් අප්‍රිකානු නායකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් …

සුපුන් ළහිරු ප්‍රකාශ්

කෙන්යාවේ නයිරෝබි අගනුවරදී පසුගිය හයවැනිදා නිමාවට පත්වූ ප්‍රථම අප්‍රිකානු දේශගුණ සමුළුව (Africa Climate Summit) අවසන් දිනයේදී අප්‍රිකානු දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් අප්‍රිකාවේ දේශගුණික අභියෝග විසඳීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කර තිබේ. තෙදින දේශගුණ සමුළුව අවසානයේ එළි දැක්වුණු එම ‘නයිරෝබි ප්‍රකාශනය’ මගින් ලොව ප්‍රධාන හරිතාගාර වායු විමොචකයින් විසින් දුප්පත් ජාතීන්ට උපකාර කිරීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් කැප කිරීමේ අවශ්‍යතාවය අවධානරණය කෙරේ. තවද එළැබෙන නොවැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශවකරුවන්ගේ 28 වැනි සැසිවාරයේදී (COP28) තම සාකච්ඡා ස්ථාවරයේ පදනම ලෙස මෙම ‘නයිරෝබි ප්‍රකාශනය’ භාවිතා කරන බව අප්‍රිකානු රාජ්‍ය නායකයෝ ප්‍රකාශකර තිබේ.

ආන්තික කාලගුණයට අනුවර්තනය වීමට, ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමට සහ පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීමට මූල්‍යකරණය බලමුලු ගන්වන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම අප්‍රිකානු දේශගුණ සමුළුවේදී වැඩි වශයෙන් සාකච්ඡා කෙරිණි. අප්‍රිකාව දේශගුණික විපර්යාසවල බලපෑම් මගින් වඩාත්ම අවදානමට ලක්විය හැකි මහාද්වීප අතර වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, අප්‍රිකානු මහාද්වීපය දායක වන්නේ ගෝලීය හරිතාගාර වායු විමෝචනයෙන් සියයට 2-3 ක් පමණ සුළු ප්‍රතිශතයකටය. නමුත් වෙනස් වන දේශගුණයෙන් වැඩිම හානියක් සිදු වන්නේද එම කලාපයටමය. අප්‍රිකානු මහාද්වීපයේ නැගෙනහිර කලාපයේ නොඑසේ නම් අප්‍රිකාවේ අඟෙහි පිහිටි රටවල් නියඟයෙන් බැට කද්දී මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල ගංවතුර වැනි ආන්තික කාලගුණික විපත් මෑත වසරවල නිතර නිතර වාර්තාවී ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ ඊට මුහුණ දීමට අවශ්‍ය ඩොලර් බිලියන 300 (පවුම් බිලියන 240) කට ආසන්න වාර්ෂික මූල්‍යකරණයෙන් ඔවුන්ට ලැබෙන්නේ 12% ක් පමණක් බවය.

එබැවින් ‘නයිරෝබි ප්‍රකාශනය’ ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගෝලීය මූල්‍ය ගනුදෙනු බද්දකින් ද වැඩි කළ හැකි පොසිල ඉන්ධන වෙළඳාම, සමුද්‍රීය ප්‍රවාහනය සහ ගුවන් සේවා සඳහා කාබන් බද්දක් ඇතුළු ගෝලීය කාබන් බදුකරණ යාන්ත්‍රණයක් සඳහා වන යෝජනාව පිටුපස පෙළගැසෙන ලෙසය. එවැනි පියවරයන් දේශගුණය ආශ්‍රිත ආයෝජන සඳහා මහා පරිමාණ මූල්‍යකරණය සහතික කරනු ඇති අතර භූ දේශපාලනික සහ දේශීය දේශපාලන බලපෑම්වලින් බදු ඉහළ යාමේ ප්‍රශ්නය වෙන්කර තබනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) අනුව දැනට රටවල් විස්සකට වැඩි ප්‍රමාණයක් කාබන් මත බදු පනවා ඇතත් ගෝලීය කාබන් බදු යාන්ත්‍රණය පිළිබඳ අදහසට බොහෝ දෙනෙකු ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වී ඇත. කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ මූල්‍ය ගනුදෙනු බද්දක් සඳහා යුරෝපා සංගමයේ අතීත යෝජනා මෙම සමුළුවේදී සිහිපත් කළේය. සංරක්ෂනවේදීන් 2011 වසරේදී ප්‍රකාශ කළේ බදු මගින් එක්රැස් කරන මුදල් පාරිසරික ප්‍රමුඛතා සඳහා වැයකළ යුතු බවයි. නමුත් යුරෝපීය කොමිසමේ යෝජනාව කිසි විටෙකත් නීතියක් බවට පත්වීමට අවශ්‍ය යුරෝපීය කවුන්සිලයේ ඒකමතික අනුමැතිය දිනාගෙන නැත.

දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා තම මහාද්වීපය මුල්තැන් ගැනීමට හේතු කිහිපයක් රූටෝ ලැයිස්තුගත කළේය. “අප්‍රිකාව යනු සූර්ය, සුළං, භූතාප සහ ජල විදුලිය ඇතුළු ලෝකයේ පුනර්ජනනීය බලශක්ති වත්කම්වලින් 60%ක් සහිත මහාද්වීපයයි. 2100 වන විට අප්‍රිකාව ලෝකයේ ශ්‍රම බලකායෙන් 40% ක් නියෝජනය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. ලෝකයේ නිෂ්පාදන ගබඩාව බවට සුහුරු කාෂිකර්මය (Smart Agriculture) හරහා පරිවර්තනය කළ හැකි ලෝකයේ වගා නොකළ, වගා කළ හැකි ඉඩම්වලින් තුනෙන් දෙකක් අප සතුව ඇත. ලෝකයේ විශාලතම කාබන් අවශෝෂණ යටිතල ව්‍යුහය අප සතුව ඇත.”රූටෝ පැවසීය.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්‌, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයන්, අප්‍රිකානු සංගම් කොමිසමේ සභාපති මූසා ෆාකි මහමාත්, දේශගුණය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී, අප්‍රිකානු සංවර්ධන බැංකුවේ සභාපති අකින්වුමි ඒ. ඇඩේසිනා සහ තවත් අප්‍රිකානු නායකයන් ගණනාවක් ජනාධිපති රූටෝ සමඟ මෙම සමුළුවට එක් වූහ.

ඇතැම් පරිසර ක්‍රියාකාරීන් පවසන්නේ හරිත ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සැපයීම මගින් දූෂකයින්ට විමෝචනය පියවා ගැනීමට ඉඩ සලසන ණය, විශාල දූෂකයින්ට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය කිරීමට දඩමීමා කරගත හැකි බවයි. තවත් විශ්ලේෂකයින් පිරිසක් පවසා තිබුණේ අප්‍රිකානුවන්ට ආන්තික කාලගුණයට අනුවර්තනය වීමට උපකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව සමුළුව ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි. එසේම විදේශ රටවලට කාබන් ණය විකිණීමේ අප්‍රිකාවේ සැලැස්මට එරෙහිව උද්ඝෝෂකයෝ සමුළුවට පිටත සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සමුළුව විවේචනය කළහ.

කෙසේ නමුත් කෙන්යා රජය සහ අප්‍රිකානු සංගමය විසින් සත්කාරකත්වය දරන ලද මෙම ඓතිහාසික තෙදින සමුළුව නව්‍ය හරිත සංවර්ධනය සහ දේශගුණික මූල්‍ය විසඳුම් ලබා දීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජ්‍යයන් සහ රජයේ ප්‍රධානීන්, ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සමාජය මෙන්ම අප්‍රිකානු තරුණයින් සිය ගණනක් බලමුලු ගන්වා ඇත. එසේම එළැබෙන නොවැම්බරයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත COP28 සැසිවාරය අභියස දේශගුණ විපර්යාසයට මුහුණදීමට එයින් දැඩිව බැටකන රාජ්‍ය මෙසේ සාමුහිකව ඉදිරියට පැමිණීම හරිතාගාර වායු විමෝචනයට ඉහළම දායකත්වය ලබාදෙන ලෝක බලවතුන්ට රතු එළියක්ද වනු ඇති බව අපගේ විශ්වාසයයි.

 

leave a reply