Breaking News

කොමිසම දැනටමත් ඡන්ද වැඩවලට මිලියන 131කට වඩා වියදම් කරලා

මාර්තු 29 සිට 31 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ තැපැල් ඡන්ද විමසීම නොපැවැත්වෙන බවත් ඉදිරියේදී නැවත මැතිවරණයක් පැවැත්විය හැකි දිනයක් තීරණය කරන බවත් මැතිවරණ කොමිසම ඊයේ නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබුණි. මේ අනුව ආණ්ඩුව මුදල් නැති බව කියමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල් දමමින් සිටින තත්ත්වයක් දක්නට ලැබේ.

නමුත් මැතිවරණ කොමිසම දැනටමත් සිය වැඩකටයුතු විශාල මුදලක් වියදම් කර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ පුරවැසියෙකුට ඇති අයිතිය මත බීබීසී වෙබ් අඩවිය පළාත් පාලන මැතිවරණයට අදාළ වියදම් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසා තිබේ.

තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා නිකුත් කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර තිබේ.

2023 පෙබරවාරි මස අවසන් වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධිකය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති සමස්ත වියදම රුපියල් මිලියන 9326කි. එනම් බිලියන 9.3කි.

2023 පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට දින නියම කළත් එය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවිය.

ඒ අනුව ලබන අප්‍රේල් මස 25 වැනිදා ඡන්දය පැවැත්වීමට දෙවැනි වරටත් දින නියම කළත් එදිනටද ඡන්ද විමසීම පැවැත්වීම මේවන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිට අනුව මෙම මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන ඇති උත්සාහයන් ගණන අවම වශයෙන් 30කි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව සඳහන් කළ ද ආණ්ඩුව විසින් 2023 නිදහස් උත්සවය සඳහා රුපියල් මිලියන 200කට අධික වියදමින් සැමරුම් උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනතාව අතරින් සැළකිය යුතු විරෝධයක් මීට පෙර මතුවිය.

 

leave a reply