Breaking News

වෘෂණ කෝෂ තැලෙන තුරු තරුණයෙකුට පහර දුන් පොලීසියේ දෙදෙනෙකු රිමාන්ඩ්

බට්ටා වර්ගයේ ලොරි රථයක් පසුපස ලුහුබැඳ ගොස් රථය නවත්වා එය පදවමින් සිටි 23 හැවිරිදි තරුණයෙකුට දැඩිලෙස පහරදී එහු මරා දැමීමට තැන් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැබිත්ගොල්ලැව කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිසි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අද (16) දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කරන ලෙස මැදවච්චිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වැඩබලන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාට තවදුර‍ටත් නියෝග කර තිබුණේ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා එදිනට හදුනා ගැනිමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මැදවච්චිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙකු වන මැදවච්චිය පදිංචි එස් රෝහණ සමන්ත සේනානායක සහ පොලිස් කොස්තාපල්වරයෙකු වන මැදවච්චිය ඇටවිරගොල්ලෑව ඇතාකඩ පදිංචි කපිල ජගත් සෙනවිරත්න යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකාර පොලිස් නිළධාරින් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කැබතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියාසිටියේ සැකකරුවන් විසින් සිදුකළ බව කියන පහරදීමක් හේතුවෙන් ලොරි රථ රියදුරකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඔහු ශල්‍යකර්මයට භාජනයකර ඇති බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මංගල සමන් වික්‍රමනායකගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විධිමත් අපක්ෂපාතී පුලුල් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවද පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ෂන තවමත් අවසන් නොමැති බව පැවසු පොලිසිය සැකකරුවන් හඳුනා ගැනිමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරිමට අවශ්‍ය බවත් එම නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

සැකකාර පොලිස් නිළධාරින් සිදුකල පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඇති මැදවච්චිය තුලාවෙල්ලිය පදිංචි 23 හැවිරිදි තරුණයා මැදවච්චිය පොලිසියේම සැරයන්වරයකුගේ පුතෙකු බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

මැදවච්චිය ,මන්නාරම පාරේ වැදවච්චිය ප්‍රාථමික විද්‍යලය ඉදිරිපිටදී පසුගිය 07 වන දා මෙම පහර දීම සිදුව තිබුණා.

පහරකෑමට ලක්වූ මෙම තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කර ඔහුගේ එක වෘෂණ කෝෂයක් ඉවත්කිරීමට වෙද්‍යවරුන් කටයුතු කර තිබෙනවා.

සැකකාර පොලිස් නිළධාරින් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලයකුට පහර දී සුළු හා බරපතළ තුවාල සිදුකිරීම සහ මිනිමැරිමට තැත් කිරිමේ චෝදනාව යටතේයි.

 

leave a reply