ඉන්ධන මිල සූත්‍රය අනුව යමින් අනෙකුත් ඉන්ධන මිල ගණන් පහත නොදමා පෙට්‍රල් මිල පමණක් පහත දැමීමට තීරණය කිරීම ගැන මේ වනවිට කතා බහක් මතුව තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින්ද පහත දමා ඇත.
කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් පහත නොදමා පෙට්‍රල් මිල පමණක් පහත දැමීම පිළිබදව පාර්ශ්ව රැසක් ප්‍රශ්න කරයි.
පෙට්‍රල් මෙන්ම ඩීසල් ද නිපදවනු ලබන්නේ එකම බොරතෙල් වලිනි. එසේ තිබියදී ලෝක වෙළද පොලේ බොරතෙල් මිල පහත වැටීම සැලකිල්ලට ගනිමින් ඩීසල් මිල පහත නොදැමීම ගැටළුවක් බව මහජන උපයෝගීත කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
විෂය භාර අමාත්‍යවරයා නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩ විශ්ලේෂණය කිරීමේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් සදහා ඔක්ටේන් 95 ප්‍රෙටල් සදහා ගෙවන මිලට වඩා වැඩි මිලක් ගෙවන බව පෙනී යන්නේ යැයි ජනක රත්නායක කියයි.
තත්ත්වය එසේනම් ඔක්ටේන් 95 පෙට්‍රල් නොගෙන්වා ඔක්ටේන් 92 පෙට්‍රල් ගෙන්වන්නේ කවර හේතුවක් නිසාදයි ඔහු ප්‍රශ්න කරයි.
ජනක රත්නායක පවසන්නේ මිල සූත්‍රය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි. එහි එන ගණනය කිරීම් නිවැරදි නොවන බවද ඔහු පවසයි.
ඛණිජ තෙල් ක්ෂේත්රයේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත ද ඉන්ධන මිල ගණන් පහත හෙළීම ප්‍රශ්න කරයි.
ඔහු පවසන ආකාරය ඉන්ධන මිල සූත්‍රය නිවැරදිව ක්‍රියාත්මක කළා නම් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 107 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100 කින් පහත හෙළිය හැකි ය.
එසේම ඩීසල් මිල පහල දමන්නේ නම් එය විශාල පිරිසකට සහනයක් වනු ඇති බව ජනතාවගේ අදහසයි. විශේෂයෙන් ඩීසල් මිල අඩුකළහොත් බස් අධික ලෙස වැඩිවී ඇති බස් ගාස්තු යම් මට්ටමින් අඩුකිරීමේ හැකියාව පවතියි.
එසේම මේ මොහොතේ භූමිතෙල් මිල වැඩිවීම හරහා දුප්පත්ම ජනතාවට පහර වැදී තිබේ. විශේෂයෙන් කුඩා පරිමාණ ධීවර ජනතාව තම බෝට්ටු සඳහා බාවිත කරන ඉන්ධනය වන භුමිතෙල් මිල වැඩිවීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිකාව කරගෙන යාමට බැරිවී තිබේ. අනෙක් පසින් මේ හේතුව නිසා මාළු මිල ගණන් ද ඉහළ ගොස් ඇත. ඊට අමතරව ගෑස් ගණන් යාම හේතුවෙන් බොහෝ ජනතාවක් භූමිතෙල් උඳුන් සඳහා යොමුවී ඇති අතර එහි මිල වැඩිවීම ඔවුන්ටද ප්‍රශ්නයක් වී තිබේ.