Breaking News

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව

ඉන්දියාවේ වකුගඩු ජාවාරමේ ගොදුරු බවට පත් වුවන්

ලෝකයේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය තාක්‍ෂණය සොයාගනු ලැබූයේ 1956 වසරේදීය. නීතිමය පදනමක්‌ද සහිතව වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය ශ්‍රී ලංකාවේ මුලින්ම කරන ලද්දේ 1985 වසරේ කොළඹ මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෙස්‌වි ශෙරිෆ් මහතාත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ශෙරිෆ් ඩීන් මහතාත් විසිනි. ඉන් පසු ලංකාවේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කරනු ලැබීය. එය මරණය පෙනි පෙනී සිටි වකුගඩු රෝගීන්ට මහත් පහසුවක් විය.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ රෙස්‌වි ශෙරිෆ් මහතාත් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ශෙරිෆ් ඩීන් මහතාත් සත් භාවයෙන් ආරම්භ කල මේ වකුගඩු බද්ධ කිරීමේ රෝගී ප්‍රතිකාර ක්‍රමය පසු කාලයක අතලොස්සක් වූ වෛද්‍ය වෘත්තියට නිගා දෙන දොස්තර අධමයන් පිරිසක් විසින් ඔවුන් ගේ උදර පෝෂණය සඳහා යොදා ගත්හ. ඔවුන් විසින් බූවල්ලෙකු වන් අඞු විහිදවනු ලැබූ වකුගඩු මාෆියාවක් ලංකාවේ ඇති කරන ලදි.

ශ්‍රී ලංකාවේ වකුගඩු මාෆියාව ඉතා ප්‍රබලය. වාර්ශිකව රුපියල් බිලියන ගනනක් හුවමාරු වෙන මෙම ජාවාරම දෙවනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. අතලොස්සක් වූ වෛද්‍යවරු පිරිසක් පාලනය කරන මෙම මාෆියාවේ මාසික ගෙවීම් ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සිටිති. සෞඛ්‍ය අමාත්‍යවරයාව පවා අල්ලේ නැටවිය හැකි වකුගඩු මාෆියාව වසර ගනනක් පුරා තවමත් යහතින් තමන් ගේ ජාවාරම කරගෙන යති.

වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන පවසන පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයෙකු ගේ සහායද මෙම වකුගඩු මාෆියාවට ලැබෙයි. එම නිසා මෙම නීති විරෝධී මිනිස් අවයව ජාවාරම නිරුපද්‍රිතව සිදු වෙයි. වකුගඩු මාෆියාවේ රැකවරණය සහිතව ලියකියවිලි වල සඳහන් නොකර බොහෝ වකුගඩු සැත්කම් රහසින් පුද්ගලික රෝහල් වල සිදු වන බව වාර්තා වේ. මෙම මාෆියාව නිසා මේ වන විට ශ්‍රී ලංකාව නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ශරීර ඉන්ද්‍රියයන් ගනුදෙනුවක්‌ බවට (මුදලට විකිණීම) පත්කිරීම තහනම්ය. ඒ 1991 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දුන් ආචාර ධර්මයන්ටද යටත්වය. වකුගඩු විකිණීම මිලදී ගැනීම 1987 අංක 49 දරන පනතේ 17 වැනි වගන්තියට අනුව වසර 2 කට නොවැඩි කාලයක්‌ සිරද`ඩුවම් ලැබීමටත් රුපියල් 15000 ට වැඩි මුදලකට යටත්වීමටත් වන වරදකි. එහෙත් නීති ආචාර ධර්ම නොතකා වකුගඩු මාෆියාව නීති විරෝධී වකුගඩු ජාවාරමේ නිරත වෙති.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළදී නීතිවිරෝධී වකුගඩු බද්ධ කිරීම් රැසක් සිදුකර ඇති බවය. ලංකාවේ වෛද්‍යවරු කීප දෙනෙක් විසින් රහසිගතව පවත්වාගෙන යන නීති විරෝධී වකුගඩු ජාවාරම පිලිබඳව ඉන්දියාවේ “ද හින්දු’ පුවත්පතද වාර්තා කර තිබිණි. දිවයින පුවත්පත පෙන්වා දෙන පරිදි මේ මහා මිනිස්‌ අවයව ජාවාරමට මෙරට වෛද්‍යවරුන් හයදෙනකු සහ තවත් කාන්තාවක සම්බන්ධ අතර මේ රටේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් හතරකදී මෙම නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකර තිබේ. මාධ්‍යවේදීනී ඒමන්ති මාරඹේ පෙන්වා දෙන පරිදි නීති විරෝධී වකුගඩු සැත්කම් කටයුතු සම්බන්ධීකරණය කළ වෛද්‍යවරු කීප දෙනෙක් සිටිති.

2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප‍්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලදි. තවද වකුගඩු පිළිබඳ විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි මෙම නීති විරෝධී ජාවාරමේදී සම්බන්ධීකරණ ක්‍රියාවලියක් සිදු කොට තිබෙන බව හෙළි විය. මේ නිසා එවකට සිටි සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ පිලිබඳව විමර්ශනය කිරීමට කමිටුවක් පත් කිරීමට සිදු විය. වකුගඩු ජාවාරමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ නිලධාරීන් ද, රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන එක්‌තරා ප්‍රබල වෘත්තීය සමිතියක මධ්‍යම කාරක සභා සාමාජික වෛද්‍යවරයකු ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම නිසා එම ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමේ කාර්‍යය සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට නොපැවැරිය යුතු බව රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ මෙහිදී පවසා ශ්‍රී ලංකාවට කළු පැල්ලමක්‌ ඇති කිරීමට හේතු වන මෙම වකුගඩු ජාවාරම පිළිස්බඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන, රජයේ වෛද්‍යවරයකු ද නොවන ඉහළ රජයේ නිලධාරිවරයකු හරහා ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කළහ. එහෙත් අමාත්‍යවරයා තම තීරණය වෙනස් කලේ නැත.

2013 වසරේ වකුගඩු ජාවාරම පිළිබඳව කමිටුවක් පත්කරන ලදි. එහි මූලිකත්වය දැරුවේ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාය. එහෙත් එම කමිටුව සොයා ගත් දෙයක් නොවීය. එය පත් කරන ලද්දේ නාමිකවය. වකුගඩු මාෆියාව විසින් එම කමිටුව පාළනය කරන ලදි. වකුගඩු ජාවාරමට සම්බන්ධ ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරු පිළිබඳ සොයාබැලීම සඳහා පත් කරන ලද පංච පුද්ගල කමිටුව විසින් විමර්ශණය කොට ලබා ගන්නා ලද වාර්තාව එම කාලයේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වූ දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට දුන්නද කමිටු වාර්තා වකුගඩු මාෆියාවේ බලපෑම මත යට ගසා දැමුණි. තවද එම පරීක්‍ෂණය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියෙකු සහ වෙනත් බලවතුන් ගේ බලපෑම් මත නවතා දමන ලදි. පරීක්‍ෂණය යටපත් කිරීමට උපකාර කල වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උසස් නිලධාරියාට වකුගඩු මාෆියාව විසින් අළුත්ම රේන්ජ් රෝවර් රථයක් තෑගි කල බව පසුව හෙළි විය. නීති විරෝධී වකුගඩු ජාවාරමට සෘජුවම හෝ වක්‍රව සම්බන්ධ වූ නිලධාරීන් තවමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින අතර ඔවුන් වකුගඩු මාෆියාවෙන් යැපෙති.

වකුගඩු මාෆියාවට පොලිසියටද බලපෑම් කල හැකිය. වකුගඩු මාෆියාව කොතරම් බලවත්ද යත් වරක් වකුගඩු ජාවාරමේ සැක කරුවන් ලෙස ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මිරිහාන කඳවුරේ රැඳවුම් භාරයේ සිටි ඉන්දීය සැකකරුවෝ හත්දෙනෙකුට පළා යාමටද වකුගඩු මාෆියාව උපකාර කොට තිබුණි. එම සැකකරුවන්ට පලා යාමට උපකාරී වූ වකුගඩු මාෆියාවට අයත් වෛද්‍යවරුන් රැඳවුම් මධ්‍යස්ථානයට ජංගම දුරකතනයක් ද යවා තිබූ බව පසුව හෙළි විය. එසේම සැකකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් සපයා ඇති ඔවුන් සැකකරුවන් ඉන්දියාවට පිටමං කිරීම සඳහා මන්නාරමේ ධීවර බෝට්ටු ව්‍යාපාරිකයකුට මුදල් ගෙවීමට තැරැව්කරුවකු ද යොදවා තිබුණි.

මිනිසුන් බොහෝ දෙනෙකු වකුගඩු අලෙවි කරන්නේ දුප්පත්කම හා නූගත්කම නිසාය. දුප්පත් තරුණයන් වකුගඩු දායකයන් කර ගනිමින් සිදු කරන ජාවාරමේදී දායකයාට ලක්‍ෂ 5 ක මුදලක් ලැබෙන අතර වකුගඩු මාෆියාවේ වෛද්‍යවරයෙකුට එක රෝගියෙකු ගෙන් ලක්‍ෂ 10 – 12 අතර මුදලක් ලැබේ. එක් වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් වකුගඩු සැත්කම් 10 – 15 ක්‌ මසකට සිදුකරන අතර එම සැත්කම්වලින් අදාළ වෛද්‍යවරයාට රුපියල් ලක්‍ෂ 50 – 75 පමණ ලැබේ. දායකයන් ගේ වකුගඩු පරික්‍ෂා කොට සම්බන්ධීකරණය කරන වකුගඩු පිළිබඳ විශේසඥ වෛද්‍යවරයාට එක් රෝගියෙකු ගෙන් පමණක් රුපියල් ලක්‍ෂ 5 ක් ලැබේ. වකුගඩු විකිණීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ තැරැව්කරුවන් මගිනි. මේ වන විට දිවයින පුරා වකුගඩු තැරැව්කරුවන් 500 කට අධික පිරිසක් සිටිති. අවශ්‍ය ඕනෑම වර්ගයේ වකුගඩුවක් දින 10 ඇතුලත ලබා දීමට තැරැව්කරුවන් සමර්ථ වෙති. එහෙත් වකුගඩුව සඳහා රුපියල් ලක්‍ෂ 25ත් 30 අතර මුදලක් ගෙවිය යුතුය.

දිනමිණ පුවත් පත වාර්තා කරන පරිදි වකුගඩු අලෙවි කර ඇති සියලු දෙනාම පාහේ දැන් රෝගීහු වෙති. ඔවුනට දැන් සාමාන්‍ය පරිදි රැකියාවල නිරතවීමේ හැකියාවක් නැත. මෙහි ඇති අනෙක් බරපතළ තත්ත්වය වන්නේ වකුගඩු අලෙවි කළ සියලු‍ දෙනාම පාහේ දෛනිකව කුලී වැඩවල නිරත වන පිරිස් වීමය. ඔවුන්ගේ පැවැත්ම සඳහා බෙහෙත්, විටමින් ආදිය මිලට ගත යුතුය. ඒවා අධික මිලකින් යුතුය. පවත්නා තත්ත්වය යටතේ කිසිඳු රෝගියකුට තමන්ගේ වෙද-හෙදකම් කරගත නොහැකිය. එයින් රෝගියා පමණක් නොව; රෝගියාගේ පවුලත් අමාරුවේ වැටී ඇති බව පැහැදිලිව දකින්නට ලැබේ.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීන් 87,000කට අධික පිරිසකුත් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීන් 41,000 කට අධික පිරිසකුත් බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ වකුගඩු රෝගීන් 80,000 කට අධික පිරිසකුත් සිටින බව වාර්තා වේ. දළ වශයෙන් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ලක්‍ෂ 3 කට අධික පිරිසක්‌ සිටිති. වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ ලේකම් සහ ජාතික සංවිධායක වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසන ආකාරයට වකුගඩු මාෆියාව නිසා වකුගඩු රෝගීන් බොහෝ දුෂ්කරතා වලට මුහුණ දෙති. මේ වන විට පින් තකා වකුගඩු පරිත්‍යාග කරන පුද්ගලයන් ඉතා අවමය. වකුගඩු මාෆියාව නිසා මේ වන විට වකුගඩුවක වෙළඳ වටිනාකම රුපියල් ලක්‍ෂ 30 පමණ වෙයි. වකුගඩු විකිණීමේ ජාවාරම නිසා වකුගඩුවක්‌ ලබා ගැනීමට නුසුදුසු පුද්ගලයන්ගෙන් පවා වකුගඩු ලබා ගැනීමට තැරැව්කරුවන් යොමුවන අවස්‌ථා තිබෙන අතර මුදල් ලැබෙන නිසා මාෆියාවේ වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් නිහඞ වෙති. අවසානයේදී මුදල් ගෙවා වකුගඩුව බද්ධ කර ගත් රෝගියා තමන් ගේ ජීවිතය අවධානමට ලක් කර ගනියි.

යාපනය ශික්‍ෂණ රෝහලේ රහසිගතව පවත්වාගෙන ගිය වකුගඩු ජාවාරම මෑතකදී රාවය පුවත්පත විසින් හෙළි කරන ලදි. මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන සැමුවෙල් චඳ්‍රහසන් පවසන පරිදි මේ වන විට ද්‍රවිඩ තරුණයන් 500 ආසන්න පිරිසක් ඕස්ටේ්‍රලියාවට පැමිණ තම වකුගඩු රහසේ ධනවත් දායකයන්ට මුදලට විකුණා තිබේ. මෙම තරුණයන් බහුතරය පරික්‍ෂා කොට නිරෝගී වකුගඩු දායකයන් බවට සහතික කොට තිබෙන්නේ යාපනය රෝහලේ වකුගඩු පිළිබඳ හිටපු විශේෂඥ වෛද්‍යවරයා වූ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසිනි. වෛද්‍ය රංග මිගාර වීරක්කොඩි විසින් මෙම දායකයන් වකුගඩු සායනයේ ලියාපදිංචි නොකර ඔවුන්ව පරික්‍ෂා කල බව පසුව යාපනය රෝහලේ වකුගඩු සායනයේ සේවය කල හෙදියක විසින් සනාත කොට තිබුණාය. මෙ වන විට රංග මිගාර වීරක්කොඩි පොලොන්නරුව රෝහලේ සේවය කරන අතර වකුගඩු ජාවරම් සඳහා චෝදනා ලැබූ වෛද්‍යවරයෙකු පොලොන්නරුව රෝහලට එවීම පිලිබඳව පොලොන්නරුව ප්‍රදේශයේ ජනතාව නොසතුට පළ කරති.

මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ පෙන්වා දෙන පරිදි වකුගඩු දායකයන් ගේ තත්වය ශෝකදායකය. මුදල ලැබුණුදා සිට කා බී සතුටෙන් ඔවුන් කාලය ගත කරන අතර අවසානයේ මාසයෙන් දෙකෙන් මුදල් අවසන් වේ. අවසනයේ යම් අනතුරක් සිදුවුවහොත් ප්‍රතිකාර ගන්නට මුදල් නැත. එක් වකුගඩුවක් නිසා ජීවිතය අවදානමේය. වෛද්‍යවරයකුට දන්වා බෙහෙත් ගත නොහැක. එසේ ගතහොත් වැඩි විස්තර කියන්නට ගොස් හිරේ යන්නට වනු ඇත. ඒ නිසා සියල්ල ඉවසමින් අවසානයේ මියයාම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට ඉතුරැවන්නේ නැත.

වකුගඩු මාෆියාව ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ක්‍රියාත්මක වෙයි. වකුගඩු ජාවාරම වතුකරයේ පැතිර යන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂණන් මහතා 2016 වසරේදී පෙන්වා දුන්නද බලධාරීන් කිසිදු පියවරක් ගත්තේ නැත. වකුගඩු මාෆියාව විසින් තැරැව්කරුවන් යොදවා මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල ප‍්‍රදේශයේ සිදු කල වකුගඩු ගලවා ගැනීම දඹුල්ල ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වූ කාංචන කුමාර ආරියදාස මහතා හෙළි කරයි. තවද වකුගඩු ගලවා අලෙවි කිරීමට තරුණ තරුණියන් සොයාදෙන ක‍්‍රියාවලියේ නිරතවී සිටින පුද්ගලයෝ විසි දෙනකු මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්ක දෙකේ සිටින බව ඒ මහතා විසින් පෙන්වා දෙයි. කාලයක් පුරා යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ වකුගඩු ජාවාරම මේ වන විට මීගමුව ප්‍රදේශය දෙසටද පැතිරී ඇත. අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ගරු අනුශාසක පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙන ආකාරයට වකුගඩු දන්දෙන පිරිස අතර වැඩියනේම සිටින්නේ භික්‌ෂූන් ය. වකුගඩු මාෆියාව බෞද්ධ භික්‍ෂූන්වද රවටා ගෙන ඔවුන් ගේ වකුගඩු ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි. වාර්තා වන පරිදි දිවයින පුරා වකුගඩු තැරැව්කරුවන් 500 ආසන්න පිරිසක් වකුගඩු දායකයන් සොයමින් විවිධ ප්‍රදේශ වල සැරිසරති.

වකුගඩු ජාවාරම මුල්‍ය වංචාවකටත් එහා ගිය මිනිස් අවයව ජාවාරමකි. වකුගඩු මාෆියාව නිසා ලංකාවට ක්‍රමවත්ව ගලාගෙන ඒමට නියමිතව තිබූ අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි විය. එසේම ලෝකය ඉදිරියේ ලංකාව අවමානයට පත් විය. එහෙත් වකුගඩු මාෆියාවේ දූෂිත වෛද්‍යවරුන් සහ ඔවුන් ගේ හෙන්චයියන්ට එය වැදගත් වූයේ නැත. ඔවුන්ට වැදගත් වූයේ තමන් ගේ සාක්කුවට වැටෙන මුදලය.

නීති විරෝධී මිනිස් අවයව ජාවාරම වකුගඩුු මාෆියාව විසින් වසර ගනනාවක් පුරා සිදු කරන අතර මෙතෙක් කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත. දිවයින මාධ්‍යවේදී උපාලි ද සේරම් මහතා පවසන අන්දමට වකුගඩු විකිණීමේ ජාවාරමට හිස එසවීමට ඉඩ නොදීමද ඊට තිත තැබීමට පියවර ගැනීමද රජයේ යුතුකමකි. එසේ නොවුණහොත් ඉදිරියේදී අපට ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වනුයේ වකුගඩු විකිණීමේ ජාවාරම සිදුවන රටක්‌ ලෙසය. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

leave a reply