Breaking News

උතුරින් දකුණට – “පීඩිත ජාතියෙ පීඩිතයන්ගෙන් පීඩක ජාතියෙ පීඩිතයන් වෙත”

තරිඳු උඩුවරගෙදර

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන

වියරු ගිනිදැල් නොවෙමු
වනය අවුලා තබන
මුරුගසන් වැස්ස වෙමු
දැවෙන කැලයට වහින

චන්ඩ පවනක් නොවෙමු
දෙරණ අතුගා දමන
මන්ද මාරුතය වෙමු
දෙකොන සිපගෙන හමන

නපුරු හීනය නොවෙමු
ළමුන් නිදි සුව බිඳින
සොඳුරු අඬහැරය වෙමු
දනන් නින්දෙන් මුදන

යකඩ පිත්තල නොවෙමු
රජුන් උඩ පැන තලන
බුරුත-කොස්-නැදුන් වෙමු
උනට එසවිය නොහෙන

පිදුරු-පොල් අතු නොවෙමු
පැරණි ගෙට සෙවිලි වන
සබඳ අපි ගඩොලු වෙමු
අලුත් ගෙපැලක් බඳින
දර්ශන මේදිස්ගේ – ‘කඳුලු මිටියාවත’ කෘතියෙන්

1992 දී පිට වූ මෙම කවිය දර්ශන මේදිස් නම් වාමාංශික කවියා ලියන ලද්දේ එදා රනිල් වික්‍රමසිංහ කම්කරු අමාත්‍යධුරය දරමින් සිටි, (බටලන්දේ දරුණු මර්දනය ක්‍රියාත්මක කළ) යූඇන්පී ආණ්ඩු සමයේදී උතුරේත්, දකුණේත් පීඩිතයන් මර්දනයට සහ පීඩනයට මුහුණදී පාලකයන්ට එරෙහි ජනතා නැගිටීමක කොන්ද සම්පූර්ණයෙන් කඩා බිඳ දමා, ජන නැගිටීමට හේතු වූ සියලු ජනතා ප්‍රශ්න අමතක කොට බලවතුන් උන්ගේ දේශපාලනය කරන්නට ලෑස්ති වෙද්දීය. කවිය ලියූ මොහොත වෙද්දී, දකුණේ ජනතා නැගිටීම් මැඩලා පාලකයන් උතුරට හැරී හමාරය.

දර්ශන මේදිස්ගේ ‘කඳුළු මිටියාවත‘ කාව්‍ය කෘතියෙන් මූලිකව යෝජනා කෙරුණේ හැම ජාතියටම අයිති පීඩිත පන්තිය එකිනෙකා පරයා යන්න උත්සාහ නොකරමින් එක්ව නැගිටිය යුතු බවය. පරාජයේ අළු ගසා දමා නැගිටින්න ඕනෑ බවය. ‘කඳුළු මිටියාවත‘ කීවේ පාලකයන් හමුදාවත්, පොලීසියත්, මර්දනයත්, සිරගෙවලුත් යොදාගෙන මහජනතාව බියෙන් මුසපත් කළාට පසු එදා තිබූ ලංකාවට විය හැක.
එදා පීඩකයා වූ එජාපයේ රැළියකදී දර්ශන මේදිස්ගේ කවියෙන් පද දෙකක් හරීන් ප්‍රනාන්දු වැන්නෙකු අද වරද්දා ගැයීම උත්ප්‍රාසජනකය. ඔහු මුස්ලිම් ජනතාව පීඩාවට පත් කිරීම සඳහා පසුගිය කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරුණ හැම උපක්‍රමයක්ම, තමන්ගේ ජනප්‍රියත්වය හදාගැනීමට සහ දේශපාලන වාසිය වෙනුවෙන් පාවිච්චි කර අත්හරින්නට පමණක් යොදාගත් කෙනෙකි.

අද පාස්කු ප්‍රහාරය සහ එහි විමර්ශන පසුපස කිසි කුමන්ත්‍රණයක් ඔහුට අනුව නැතිවා විය හැක. අද ‘ත්‍රස්තවාදය‘ ගැන අදහස් මිනිසුන් පීඩාවට පත් කරන්නට පාවිච්චි කරන ආකාරය ඔහුට අදාල නැතිවා විය හැක.
‍මේ නිශ්චිත මොහොතේ ජනතා කැරැළ්ල යටපත් කරන්නට කෙළින්ම ‘පෙරටුගාමීන්‘ පසුපසත්, ඊට අමතරව අරගලයේ තවමත් සිටින පාර්ශ්ව ගණනක් පසුපසත් රනිල්ගේ මර්දනය පන්නමින් සිටී. (ජවිපෙ පසුපස කෙළින්ම පන්නන්නට රනිල් අද බියක් දක්වන්නේ, ජවිපෙ සතු දේශපාලන ශක්තියට ඇති බිය නිසාය.)

‍කොහොම වුණත් හෙට මේ මර්දනය මුස්ලිම් සහ අනෙකුත් ජනවර්ග මත හැරෙනු ඇත. ජාතීන් පීඩාවට පත් කිරීම රනිල්ලාගේ මේ රාජ්‍යයේ පුරුද්දය. දර්ශනගේ කවිය තීරණාත්මක වන්නේ ඒ වෙනකොටය.

leave a reply