බොහෝ කාලයකට පසු සරල සුගම භාෂාවකින් රචිත කෘතියක් කියව්වෙමි. එය සරත් මුණසිංහ ආරච්චි ලේඛකයා විසින් රචිත රුක් මත සරනා පුංචි රුවන් නවකතාවයි.
නවකතාවේ නම දුටු පමණින් ඔබට එය වර්ගීකරණය කල යුතු ස්ථානය ගැන අවබෝධයක් එන්නට ඇතැයි සිතමි. නම පමණක් නොව එහි අලංකාර පිට කවරය දුටු සැණින්ම මෙය අයත් වන්නේ ළමා නවකතා යන ගොන්නට බව ඔබට වැටහෙනු ඇත.
ළමා නවකතා සහ යොවුන් නවකතා ලෙසින් වර්ගීකරණයක් තිබේ. පුද්ගලිකව මා එවැනි වර්ගීකරණයන්හි නිර්ණායක ඉස්මුදුනින් නොපිළිගත්තේ වී නමුදු කෘතියක් මුළ සිට අගට කියවාගෙන යාමේදී එහි අන්තර්ගත වස්තු විෂයයන් වටහා ගත් විගස ඒවා අයත් වන්නේ කුමන ආස්ථානයකටද යන්න වටහා ගැනීමට මා හට නොව ඕනෑම පාඪකයකුට හැකියාව පවති.
රුක් මත සරනා පුංචි රුවන් කියවන්නට පටන් ගන්නා තැන සිට එහි අවසානය දක්වා කතුවරයා පාසල් වයසේ කුඩා දරුවකු වෙත අපේ අවධානය යොමු කරයි. මේ අර්ථක්‍රමය තුළින් විසුරුවා හැරණු න්‍යෂ්ටික පවුල, දුප්පත් කම, ඒ නිසාවෙන්ම අසරණ වු කුඩා දරුවන්, ජීවිතය ජය ගැනුමට ඒ දරුවන් දරනා උත්සහය මෙ කෘතියේ යටිපෙළ දිවෙන කතාවයි. එහි මතුපිට දුප්පත්කම ජයගැනුමට වෙර වීර්යය දරණ කුඩා දරුවකු, ඔහු වටා රොක් වන තවත් ළමා චරිත ද්විත්ත්වයක්, ඔවුන් එක්ව තම යාලුවාගේ දිවිපෙවත සාර්ථක කිරීමට දරනු ලබන ළමා උත්සහයන් වැනි අපි එදිනෙදා දන්නා කියවා තිබෙන දැක තිබෙන සරළ සාමන්‍ය සිදුවීම්වලින් මේ කෘතිය සමන්විතය.
මෙහි අවසානයේදි මේ අර්ථක්‍රමය විසින් වපුරණ සිහින ලෝකය ජයගැනුමට විදේශගත වී තම ශ්‍රමය කදුළු දහදිය බවට පරිවර්ථනය කරනු ලැබු සුවහසක් දෙමව්පියන්ට උරුම වන ඒ කඨෝර අත්දැකීමටද මේ කෘතියේ ප්‍රධාන ළමා චරිතය වන රුවන්ගේ මවටත් සිදුවෙයි. එනම් මැද පෙරදිග යුද්ධය නිසාවෙන් ආබාධිත තත්ත්වයට පත්වීමයි.
එලෙසින් අසරණවන රුවන් නැමැති දරුවාට ඒ සදහා මුහුණ දීමට අවශ්‍ය මානසික ශක්තිය ලබා දීමට හැකියාවක් ඇති යහළුවන් දෙදෙනෙකු මෙම කෘතිය පුරාවටම කතුවරයා විසින් ගොඩනගන්නේ. වර්තමානයේ අන්තර්ජාල අවකාශයේ ලයික් ශෙයා කොමෙන්ට්ස් අතර පමණක් විදාරණය වන ඒ ව්‍යාජ මිත්‍රකම්වලටවලට වඩා භෞතිකව මුණ ගැසී දුක සතුට බෙදා හදාගන්නා මිත්‍රත්ත්වයේ ඇති වටිනාකම පහදා දෙමිනි.
සමස්ථයක් ලෙස ගත්කල මා මේ කෘතියත් එය ගළාගෙන යන ආකෘථියටත් එතරම් මනාපයක් නොමැත. බොහෝ දුරට එය මා, ළමා නවකතාවෙන් ඈත්ව සිටිමේ හේතුව විය හැකිය. එනමුත් වැඩි විවරණ විග්‍රහ නැති ඉතා සරළ සුගම භාෂා ශෛලියකින් ලියැවී ඇති සරත් මුණසිංහ ආරච්චි ලේඛකයාගේ රුක් මත සරනා පුංචි රුවන් නවකතාව පාසල් වයසේ දුවා දරුවන්ට නම් ඉතා ආසාවන් කියවා රසවිදිය හැකි සරළ සුගම ළමා නවකතාවක් බව පැවසිය හැකියි.
නිලංක ඇලෙක්සැන්ඩර්
2026 පෙබරවාරි 3







