Breaking News

කවියක තිබිය යුතු අපූර්වත්වය කියවා අවසානයේදී අපට දැනෙන නවමු හැඟීමයි .

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ

කොළඹ සුදර්ශියේ පසුගිය සැප්තැම්බර් 27 වන දා පැවති කොක්ටේල් කවි එකතුව එළදැක්වීමේ උළෙලේදී “කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය” විසින් කොක්ටේල් කවි එකතුවේන් තෝරාගත් කවි කීපයක් ද සමග ඇගේ අදහස් ප්‍රකාශ කිරීම සිදු කරනු ලැබුවා. පහත පළ වන්නේ එදින ඇය කළ දහස් ප්‍රකාශ කිරීමයි.

පොදුවේ සියලූ දෙනාගෙන්ම මා මගේ කුඩා අදහස් දැක්වීම සඳහා අවසර ගන්නා අතර එක් එක්කෙනා විශේෂයෙන් මතක් නොකරන්නේ කාලය ඉතිරි කර ගැනීම සඳහාය. ඒ සඳහා මුලින්ම සමාව අයදිමි.

මෙම අවස්ථාවට මට ආරාධනා කළ උයද තෙන්නකෝන් ඇතුළු සංස්කාර මණ්ඩලයට මා ස්තුති කරන අතර තවමත් මා විශ්වාස කරන්නේ මෙම කතාවට මා එතරම් සුදුස්සෙකු නොවන බවයි. මා ඔවුන්ට එය පැහැදිලි කළ ද ඔවුන් පිළිගන්නට සූදානම් නොවීම නිසා මට මගේ කුදු බව ස`ගවා ගෙන මෙතනට එන්නට සිදු විය. මගේ කුදු බව යනු මා එතරම් දක්ෂ කවියකු නොවන බව මා දන්නා නිසාය. එවිට ඔබගේ කවි විවරණය කිරීමට මා එතරම් සුදුස්සෙකු නොවන බව මුලින්ම කිව යුතුය.

මුලින්ම මෙවැනි කාර්යයකට අත ගැසීම පිළිබඳ උයද, අනුර, තරංගා, මොලා, චන්දිම ඇතුළු පිරිසට ස්තුති කළ යුතුය. මන්ද යත් සමාජ වෙනස් වන්නේ ඇතැම් විට හිමිනි. ඇතැම් විට පිමි ආකාරයෙනි. ඇතැම් විට රැළි ආකාරයෙනි. කෙසේ හෝ අප සියලූ දෙනා සමාජ වෙනස අපේක්ෂා කරන්නවුන්ය. ඒ සඳහා නොනැවතී අරගල කරන්නවුන්ය. මේ කුඩා ව්‍යායාමය ද එවැනි විශාල පරිවර්තනයක කොටසක් වනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරන්නෙමු.
මා හට මෙහිදී සියලූම කවි විවරණය කිරීම අපහසු බැවින් කවි කිහිපයක් පමණක් තෝරා ගන්නෙමි. ඒ කවි අනෙක් කවිවලට වඩා උසස් යැයි එයින් කියවෙන්නේ නැත. ඒ මා කැමතිම කවි පමණි. එය පුද්ගල මූල තෝරා ගැනීමක් පමණි. මා තෝරා නොගත් කවි පහත් යැයි කියවෙන්නේ ද නැත. ඒවා ඇතැම් විට මට අපූර්ව නොවන්නේ එවැනි කවි මා තවත් බොහෝ තැන කියවා ඇති නිසා විය හැක. කවියක තිබිය යුතු අපූර්වත්වය නම් එය කියවා අවසානයේදී අපට දැනෙන නවමු හැඟීමයි .

මා පළමුව තෝරා ගන්නේ ” රසිකා මුහන්දිරම් කිවිඳියගේ “ පහත කවියයි. කවියක තිබිය යුතු අපූර්වත්වය එහි නොඅඩුව තිබේ.

දූපතක සැඟව මහද්වීපයකට පෙම් බඳිමි යැයි එය නම් කර තිබේ. එය මේ දිනවල අපි කවුරුත් කරන දෙයකි. කන්න බොන්න අදින්න නැති මේ රටේ සිට කන්න බොන්න ඇති තැනක් පිළිබඳ සිහින අද වන විට අපි දකිමු. එහෙත් මෙම කවිය ඊට වඩා බොහෝ මානයන් අපට පෙන්වයි. එය සාමාන්‍ය මනුෂ්‍ය සිත පිළිබඳ විවරණයක් වරෙක ගෙන එයි.

ඇලස්කාවේ සීතට ගල්වෙන්න කැමති මුත් හදවත
ආරුගම් බොක්කේ දියව වගුරුවයි සිත

ඇලස්කාවේ සීතලට, ගල් ගැහුණු සීතලට හදවත කැමති මුත් ඇත්තට නම් වෙන්නේ ආරුගම්බොක්කේ සිත දියව යාමයි. අපි ගාවම තියන ද්විත්වම ස්වභාවය මෙමගින් විවරණය කරනවා එක අතකට. අපි හැමවිටම එකක් කරමින් තව එකක් අපේක්ෂා කරනවා. ඒකට ජෝන් ලොක් කියන දාර්ශනිකයා කියන්නේ ඇති තත්ත්වය සහ යුතු තත්ත්වය කියලා. මගේ විෂය දර්ශනය නිසා මේකට මං දන්න දර්ශනය රැගෙන එනවා . මොකද කවියට වඩා මට සමීප දර්ශනය නිසා.

ඇති තත්ත්වය තමයි ඇයගේ අර ආරුගම් බොක්කේ දියව යන සිත. ඒත් අපේක්ෂිත තත්ත්වය තමයි ඇලස්කාවේ ගල් ගැහැණු සීතල. අපි හැමවිටම අරගල කරන්නේ මේ ඇති තත්ත්වයෙන් යුතු තත්ත්වයට යන්න. මානව ජීවිතය පුරා මානව පැවැත්ව පුරා අනවරථ අරගලයක අපි යොදෙනවා ඒ වෙනුවෙන්.

ඊළගට ඇය කියනවා මෙහෙම.

ප‍්‍රංශ ශෘංගාරයේ නන්නත්තාර හදවත
බෞද්ධාලෝක මාවතේ වෙසක් තොරන ළඟ
බැතිබරව ඇත හිත

මේ කතාව නම් අපිට විවරණය කරන්නට වෙන්නේ මානසික කාරණා මත නෙමෙයි සමාජීය කාරණා මත. ඇත්තටම සෙක්ස් ගූගල් සෙවුම්වලින් ලෝකයේ එක වෙච්ච අපි ගැන මේ කියන්නේ. හදවත නන්නත්තාර වෙලා තියෙන්නේ ප‍්‍රංශ ශෘංගාරයෙන්. ඒත් අනේ අපි ඉන්නේ බෞද්ධාලෝක මාවතේ වෙසක් තොරණ යට. අපි පට්ට දෙපිට කාට්ටු ජාතියක්. කරන්නේ එකක්. කියන්නේ එකක්.

බූදල්මි
සියොව ආමි.
සිහිගිරි බැලීමී
බැලූ බැලූ දනා ගීලීයෙන්
නොලීමි.

ඌ එදාත් කලේ ලියලා ලිව්වේ නෑ කියපු එක. රසිකා මේ යථාර්ථය හරිම සූක්ෂම අල්ලනවා. මේ පද දෙක වෙනම පීච්ඞී තීසීස් එකක් සඳහා වුනත් අපේ රටේ සුදුසුයි කියලා තමයි මං හිතන්නේ. හක්කේ දඩමස් බොක්කේ බුදු රැස් තියන රටක් අපි. රසිකා හරිම සංයමයෙන් කියන්නේ ඒක.

වැනීසියෙ රෝමයේ පටු මාවත්වල පෙම්කෙළී හදවත
කතරගම් දේවාලේ ඉඳිරිපිට
ආවේශයෙන් නටා තවාගමි තැවෙන හිත

අපි ආසයි පෙම් කරන්න. බටහිර රටක වගේ නිදහසේ සැහැල්ලූවෙන්. හිතුන තැනක සිපගන්න. ඒත ඒක කරන්න අපිට බැහැ. අපේ සංස්කෘතික රාමුව නම් අපි හරිම සාදාචාර සම්පන්න රටක් කියන එක. ඒ සදාචාරය රෙද්ද පල්ලෙන් වැටිලා කියලා ඇය ලස්සනට කියනවා. ගැහැණු ඇයි වැඩිපුර ආවේශ වෙන්නේ කියන එකට තියන විද්‍යාත්මක මතවාදය තමයි පෞරුෂයෙන් දුර්වලඅය තමයි එසේ පරල වෙන්නේ කියන එක. එයට වඩා අපේ වගේ රටවල තියෙන්නේ නිදහස ඉල්ලා සිටින හදවත්. නටන්න නිදහසක් නැති ගැහැණු පරල වීමේ මුවාවෙන් තම අභ්‍යන්තර නිදහස සංතර්පණය කර ගන්නවා. අවධානයන් නැති මිනිස්සු අවධානය දිනා ගන්නවා. මේ සමාජයේ පවතින පහත් කොට සැලකීම. අපේ වගේ සමාජවල තියන ඩිස්ක‍්‍රිමිනේෂන්. කුලය නිසා ජාතිය නිසා ස්ත‍්‍රී පුරුෂබව නිසා හමේ වර්ණය නිසා දුප්පත් නිසා මේ වගේ දහසක් හේතු. ඇය මේ ටෝච් එකක් එල්ල කරන්නේ අපේ ලංකාවේ සමාජයට. දයාසේන ගුණසිංහ කෙටි කතාවට තමයි කිව්වේ ජීවිතයෙන් පෙත්තක් කියලා. මං කියනවා රසිකා මේ කවියෙන් සමාජයෙන් පෙත්තක් ගන්නවා කියලා.

පතායා වෙරළේ ? දවල්
අතොරක් නැතිව
රමණය කරන මුත් හදවත
සීනිගම දේවාලේ
මිරිස් අඹරමින්
සනසවයි හිතේ දුක

අතොරක් නැතිව රමණය කරන්න කැමති සිත් එසේ කරන්න බැරි සමාජයක මිරිස් අඹරනවා. මේ සමාජීය පීඩනය පුපුරා යැවීමක්. හොඳින් ඉන්න එකාට අපි ඊරිසියයි. මොකද අපිට එහෙම ඉන්න බැරි නිසා.

චිකාගෝවේ
සූදු කෙළිනා මුත් හදවත
වැල්ලෙ දේවාලයේ කිරිකා සපතවයි බඩගිනි හිත
බ‍්‍රසීලයේ ඔට්ටුවට තබා පණගැහෙන හදවත
සිරිමා බෝ මැඩ එකත්පස්ව නොමරා මරයි හිත
කොංගෝ වනාන්තර මැද නිරුවත් කර වනචාරි හදවත
ශුද්ධ වූ පිරිත් පැන් දියරෙන් දෝවා නහවයි අපිරිසිදු හිත
ලාස්වේගාවේ නිශාචරව රඟන මුත් හදවත
අනුරපුර පොළොන්නරු ගල් කැටයමක තද ගති ඇති හිත
මහද්වීපයන් පුරා ගමන් කරනා මුත් හදවත
දූපතක් ලෙසින් සුරකිනු ඇත කාටත් නොපෙන්වා හිත !

රසිකා මේ කියන කතාව ඇහුවම අපේ මිනිස්සු පව්. අනේ මුංව නිදහස් කරන්න. ඔය කූඩුවේ දොර ඇරලා යන්න දෙන්න කියලා ඇය කියනවා. මේ වගේ කවියක් ලියන්න නම් සෑහෙන මුහුකුරා ගිය සමාජ චින්තනයක් කවියෙකුට තියෙන්න ඕන. ඒක රසිකාට තියන බව පේනවා. ඉතිං ඇයට අපි සුබ පැතිය යුතුයි.

දෙවනියට මං තෝරා ගන්නේ මම “සීතාව නොවෙමි” කියන කවිය. ඒක ලියන්නේ “අබ්දුල් අසීස් බදුර්නිෂා”. මට ඒ නමින් හොයාගන්න බැහැ ඒ කවියෙක් ද කිවි`දියක් ද කියලා කොහොම වුනත් මේ වගේ එකක් නම් ලියන්න ඇත්තේ ගැහැණියක් කියලා මට හිතෙනවා.

මම සීතාව නොවෙමි

සීතා කියන එකම අපේ පුරාවෘත්තයක් පමණක් නෙමෙයි ගැහැණු ඉන්න ඕන විදිහ කියලා දෙන ආදර්ශයක් විදිහට සමාජය පිළිගන්නේ. මොනවා උනත් ඉවසන් හිටපං කියන දෘෂ්ටිවාදය. ඇය කියන්නේම මම සීතාවක් නෙමෙයි කියලා.

ආලෝක පුංජයක් දැල්වූ කුටියක
පිරවූ වීදුරුවෙහි
රන්වන් පෙණ අතර ඇවිදිමි
හිත මිය යන්නට මොහොතකට පෙර
පෙණ පොකුරු අතර නුඹ දකිමි
හදිසියේ, අදිසි අතකින්
නුඹ ඇද තුරුලෙහි හොවමි
නුඹව සේදී පෙඟී යන්නම
හාදු වැසි වස්සමි

ගැහැණු කියන්නෙම පිරිමි තමන්ව සිපගත යුතුයි කියලා. තමන් මළමිනියක් සේ යහනත සිටිය යුතුයි කියලා. පිරිමින්ගේ අවශ්‍යතාවයට ඉඩ දීම යුතුකමක් කියලා. බදුර්නිශා කියන්නේ මං ඔහුව උමතුවෙන් සිප ගන්නවා කියලා. ඇයගේ සරාගයට ඇය ඉඩ දෙනවා. එය යුතුකමක් කියලා හිතන සමාජයෙන් එහා ගිහින් තමන් කියලා කෙනෙක් ඉන්න බව ඇය අවබෝධ කර ගැනීම. ගැහැණිය වස්තුව කරපු සමාජයක ඇය ගැහැණිය විෂය කරනවා.

නිවෙමි – සැනහෙමි
හොවා යහනත
කෙස පිරි ළයෙහි වැතිරෙමි
ඇවිලෙමි – නිවෙමි

රාගයෙන් ඇවිලෙන ඇය ප්‍රේරමයෙන් නිවෙනවා. ඇවිලෙන්නටත් නිවෙන්නටත් ඇයට අයිතිය තිබිය යුතුයි. ඇයගෙන් සමාජය බලාපොරොත්තු වෙන්නේම නිවීම. එහෙත් කවියා කියනවා ඇය ඇවිලෙන බව එයින් නිවෙන බව.

මහෝඝයකින් පසුව
ඇසැර බලමි – නුඹ සොයමි
බිදෙන පෙණ බුබුළක
සිහින සිර කරමි
දනිමි
නුඹ යුගල යහනක තද නින්දකය

අවාසනාවක මහත. ඔහු සිටින්නේ යුගල යහනක කීමෙන් තමයි ඇය කියන්නේ ඔහු ඇයට අයිති නැතිබව. ඔහු වෙන ගැහැණියකගේ සැමියෙක්. ඒ නිසයි ඒ මොහොත පෙන බුබුලක් වගේ බිඳෙන්නේ . ඇයට අහිමි සුවඳක් වන්නේ ඒකයි.

සුසුම් සුවඳ මට අහිමි ඒකය
මේ ගෙවෙන්නේ මැදියමේ අවසන
බීර මොන රසදැයි නාසන්න
නොකියමි

මේ අවසන් පදේ හරිම ලස්සනයි. බීර මොන රසදැයි නොඅසන්න කියලා ඇය කියනවා. මට මතක් වෙනවා සුනිල් ආරියරත්නයන්ගේ පොතක පිදුමක්. මේ පොත මහියංගනේ විමලාට. මන් දැයි නොඅසන්න. නොකියමි. ඒකමයි මෙතන තියෙන්නේත්. අහන්න එපා මං කියන්නනේ නැහැ. මොක ද කියන්න බැහැ. අයි කියන්න බැරි. සීතාවන් බලාපොරොත්තු වන සමාජයක මං සීතාවක් නොවන නිසා. හරිම ලස්සන කවියක් ඒක. ඇයට කවි ලෝකයේ ගොඩාක් දුර යන්න තියනවා.

ඊළඟට මං තෝරා ගන්නේ “උක්ත නොමැති අඛ්‍යාත” කියන කවිය. ඒක හරිම අපූර්ව ගුණ දරන කවියක්. සුලබ සමාජ සිද්ධියකින් දුලබ නිර්මාණයක් කරන්න ටිකක් අමාරුයි. ඒක හරිම අගේට ” ඩිල්හාන් ෆොන්සේකා” කවියා කර තිබෙනවා.

ඵිරිමි ගැහැණු එකතු වෙලා ළමයි හදනවා. ගැහැණු තනිකරලා පිරිමි යනවා. ළමයි ගංගාවලට අම්මලා විසි කරනවා. පොලීසිය එන්නේ ගැහැණු පස්සේ. වරද කරපු පිරිමියා නිදහස්. ගණිකා නිවාස වටලනවා. ගණිකාවෝ අල්ලා ගන්නවා. ඒකේ හිටපු කස්ටමර්ස්ලා අතුරුදහස්. සහ නිදහස්. ඔහු මේ කතා කරන්නේ එම සමාජ සත්‍යය. අපිට හිතුණේ නැති පැත්තකින් මේක ග‍්‍රහණය කිරීම තුළ කවියේ අපූර්වත්වය මැවෙනවා.

සිංහල පාඩම ශිෂ්‍යයා ප‍්‍රශ්න කරයි. ක‍්‍රියාවක් කරන්නා උක්තය. ක‍්‍රීයාව අඛ්‍යාතය. ක‍්‍රියාවක් සිදුව තිබේ. එහෙත් උක්තය නැත. ඇත්තටම නම් උක්තයක් ඇති බවත් උක්තය පැන ගොසින් බවත් ඔහු ස`ගවා තබයි.

උක්ත නොමැති ආඛ්‍යාත

ක‍්‍රියාවක් කරන්නා උක්තය
කරන ක‍්‍රියාව ආඛ්‍යාතය
ක‍්‍රියාවට ලක් වෙන්නා කර්මය.
“ඔය බොරු”
මම කිව්වේ මිස්ගෙ මූණට
“උක්තයක් නැති වුණත් ක‍්‍රියාවන් කෙරෙනවා”
රතු වුණා මිස් තරහට
ඉස්සුවේ නැති වුණත් වේවැල
“ළමයෝ වාක්‍යයක් වුණත් කර්ම කාරක
කරන්නෙක් ඉන්නවා ඒ තමයි නියමය”
මං හිටියෙ දෑස් හරවගෙන බිමට
“හොදයි කියනවකො තමුන්ගෙ උදාහරණය”
ඒ මිස්ගේ කටහඩ
මතක් වෙන්නෙම අක්කගෙ කඳුළු රැඳි මුහුණ
“අක්කා තමයි කර්මය”
“බඩට ළමයෙක් දීලා ආඛ්‍යාතය”
“එතකොට කොහෙද මිස් උක්තය?”
මිස් හිතන්නෙම උක්තයක් ඕනිමද
ආඛ්‍යාතයකට?

මෙහි අක්කා තමයි කර්මය ලෙස අපට පෙන්වුවත් එහි ඇති ව්‍යාංගාර්ථය නම් කර්මය නොව කරුමයයි. ඇත්තටම මෙය කර්මයක් නොව සමාජ ඛේදවාචකයකි. මෙම ඛේදවාචකයේ ඇය කඳුළු සලමින් ගෙදර ඉන්නා ගැබ්බර තරුණියයි.

ඊළඟට මම ගන්නේ “හිල්මි සුපුන්ගේ” “මං ගිහින් එන්නම්” කියන කවිය. ඒකේ මහා ලොකු දෙයක් නැහැ. ඒත් පද බෙදීම තුළ රිද්මය තුළ හිත ජනිතවන මහා ආනන්දයක් තියෙනවා. කවිවල නරක කවි හොඳ කවි කියලා ජාතියක් නැහැ. මට දැනෙනවා නම් මට ඒක කවියක්. මට දැනෙන්නේ නැති වෙන කෙනෙකුට දැනෙන කවි තියන්න පුලූවන්. ඒක තම තමන්ගේ දෘෂ්ටිවාදය, අත්දැකීම් වගේ දේවල් මත රඳා පවතිනවා. මේ කවිය මට අනුව හරිම අපූරු කවියක්.

වසා
තියන්
එපා
කවුළු
පියන්
පබා

පබාට ඔහු කියනවා කවුළු පියන් වසා තියන්න එපා කියලා. ඒක නිකම්ම කිව්වා නම් ඒ රහ එන්නේ නැහැ. කවියා පද බෙදන විදිහයි අපූරුම ඒ කවියේ. එහි රිද්මය. වසා තියන් එපා කවුළු පියන් පබා

සුළං
ඇවිත්
ගියා
කියා
තරහා
ගියා
කියා
කතා
අසා
තිබේද
ඔබ
පබා

සුළඟ ඇවිත් ගියා කියලා තරහා ගිය බවක් ඔයා අහලා තියනවාද පබා. සුළඟ එන එක හරිම සරල දෙයක් කියලා ඔහු ඇයට කියනවා. සුළඟට කවුළුව තරහා ගන්නේ නැහැ. කවුළුවක් කියන්නේම හිස් තැනක්. ඒක තියෙන්නේම සුළං එන්න. ඉතිං ඒකට මොකටද තරහා වෙන්නේ?

හිත
සසලව
සැලී
නොයනව නම්
පබා

මේ කවුලූවෙන් එන සුළඟට හිත සසලව යන්නේ නැත්නම් කවුළුව ඇරලා තියන්න කියලා ඔහු පබාට කියනවා. මෙතන භාෂාවේ එකමෙක පුංචි තැනක් හැදුවා නම් මං හිතනවා තවත් මේ කවිය ලස්සනයි කියලා. හිත සසලව සැලී නොයා නම් පබා.

කවුළු
පියන්
පවා
හැර
තබන්න
පබා

මේක ඇත්තටම ප‍්‍රධාන දොරෙන් එන්න බැරි ආදරයක්. ඒකයි ඔහු කවුළු ඇර තියන්න කියන්නේ. මේ ආදරය එන්නේ සුළ`ගක් වගේ. සුවඳක් අරන්. ඒ ආපු පාරෙම යනවා. ඒකට ඔයා කැමති නම්, ඔයාගේ හිත රිදෙන්නේ නැත්නම් මං ඇවිත් යන්නම කියලා පෙම්වතා ආදරෙන් ඇයට කියනවා. ඒක කොයි තරම් සංගත ආදරයක් ද? ඇවිත් යන්න වෙන නිසා ඇගේ හිත රිදෙයි කියලා මේ පෙම්වතා බයයි. ඒත් සුළඟකට යන්නම වෙනවා. ජීවිතවල සුළඟ වගේ දැවටි දැවටී තියන ආදර කතා කොච්චරක් ද? ඒ වගේ අහිංසක ආදරයක් මේකත්.

තවත් පුංචි කවියක් මං ගන්නවා හයිකු සම්ප‍්‍රායට නෑකම් කියන කවියක්. මේක ලියලා තියෙන්නේ “නිලූපා වර්ණකුලසූරිය”.

වියැළුණු හේන

කන්නයෙන් කන්නයට
එකම ගොන්නු බඳින
වියැළුණු හේන

මේක අපේ රටේ දේශපාලනයට අතුල් පහරක් වගේ. ඇත්තටම අපි කන්නයෙන් කන්නයට එකම ගොන්නු බැන්දා. තට්ටු මාරු දේශපාලනය ගැන ඈ පුංචි පද තුනකින් ප‍්‍රබල ආකාරයෙන් කියනවා. එකම ගොන්නු කියන යෙදුම ඉතා උත්ප‍්‍රාසාත්මකයි. ඒ ඇයි කියලා ඔබ දන්නවා. දැන් හේන හොඳටම වියලිලා. ඉරිතලලා. දැන් ආපහු අස්වද්දන්න නම් මේ පරණ ගොන්නු ආපහු වද්දනොගත යුතු බව ඈ කියන්නේ නැහැ. ඒත් අපිට දැනෙන්න හරිනවා. එතනයි ඇගේ කවියේ ප‍්‍රබලකම තියෙන්නේ.

මම අන්තිමට තෝරා ගන්නේ දෙයියන්ට කියපු කවියක්. එය ප‍්‍රබල උත්ප‍්‍රාසයක්. මම සාමාන්‍යයෙන් කවියක උත්ප‍්‍රාසයට හරිම කැමති කෙනෙක්.
පුන් පෝ දා සඳ ඔබ ගෙන ආවොත් මල් වට්ටියකට අර ගන්නම්.

ඔබ හැමදාමත් ඉල්ලන තරුමල් ඔබට නෙලා පිළිගන්වන්නම්

ලූෂන් බුලත්සිංහල තරම් උත්ප‍්‍රාසවත් කවි ගී ලියූ කවියෙක් නැති තරම්. මිනිස්සු හරියට අහසේ තියන ඒවා බලාපොරොත්තු වෙනවා. ඔව් ඇය කියනවා හඳ ගෙනත් දුන්නොත් ඔයා ඉල්ලන තරු මං දෙන්නම් කියලා. ඒක ප‍්‍රබල උත්ප‍්‍රාසයක්.
ඔහු අන්තිමට මෙහෙම කියනවා.

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත් මානස විල මැද පිපුණු සැනින්
නැවුම් පෙමට කිම වැලපෙනු පෙම්වත යළි උපදින්නම් ඒ පියුමින් මන්

පිරිමියෙකුගේ ඇහේ ගෑවුණේ නැති ගැහැණු පතන පිරිමින්ට ඇය දෙන උත්තරය මේක.

“නිරෝෂ ප‍්‍රනාන්දුත්” හරිම උත්ප‍්‍රාසවත් කවියක් ලියනවා මෙහෙම

යකෝ ! දෙයියෝ

ඔහු ලියන්නේම යකෝ දෙයියෝ කියලා. යකෝ කියන වචනය අපිට හරි හුරුපුරුදුයි. යක්ෂ ග්‍රොතිකයින්ගෙන් පැවත එන යෙදුමක් ද කියලා හරියටම කියන්න බැහැ ඒත් අපි හරියට යකෝ කියනවා. දෙයියන්ටත් අපි වැඩිය බය නැති ජාතියක්. අපි දෙයියන්ටත් වෙලාවකට යකෝ කියනවා. මොකද සර්වඥ වූ දෙයියෝ වගේ නෙමෙයි අපේ දෙවිවරු. ගෑණු ඉන්න හොර ගෑණුත් ඉන්න ඇති පදමට සූර් වෙන අරවා මොවා තව තව අමන වැඩ කරන පලි ගන්න ඕන නම් ඒවාටත් උදව් කරන දෙයියෝ තමා අපිට ඉන්නේ. ඉතිං අපිට පුුලූවන් යකෝ දෙයියෝ කියන්න.

එකමෙක දෙයියෙක් හරි ඉන්නවනම්
නෑයන්ගේ අරගලේට වරෝ වරෝ
සක්වළගල පුරා බලා
අපේ නෑසියෝ හොයා වරෝ
මවුන් රවටා රැගෙන ගිය පුත්
දෑත් පිටිකර බැඳන් ගිය පුත්
යකුන් ඇවිදිං ඩැහැං ගිය පුත්

අපිට මෙහෙම කියද්දී හරියට දුක හිතෙනවා. අපේ පුත්තු වරින් වර අරන් ගිහින්. දෑත් පිටිකර බැ`දලා ගෙනිහින්. අම්මාවරු රවටා ගෙනිහින්. සූරියකන්දට ගෙනිහින්. 88-89 ගෙනිහින්. උතුරේ ගෙනිහින්. යකුන් ඇවිත් ගෙනිහින්. අම්මාලා තාම පින්තූර අල්ලන් පුත්තු හොයන්න යනවා. දෙවියෙක් ඉන්නවා නම් ඇයි මේ පුත්තු අමම්ලාට ගෙනත් දෙන්න බැරි. මේ සමාජ ඛේදවාචකය ඔහු කියනවා දෙවියන්ට. හරිම භක්තියෙන් කියපු කාලේ දැන් ඉවරයි. දැන් කියන්න වෙන්නේ යකෝ දෙයියෝ කියලා තමයි.

සොය සොයා මග හඬන නෑයන්
මුව මුවින් නගනා දෙස් දෙවොල්
සංතාප දුක් සුසුම්
අසා ඉනු බැරි තැන
දෙවිවරුනි
කැලෑ වැද තොපි වඩනවාද බවුන්

තිස් තුන් කෝටියක් දෙවියනි මේ අසාපියෝ
උපන් දා සිට දුන්නු පින්වලට අපෙ ණය ගෙවාපියෝ
දරු ගත් හැතිකරේ කුදලා ගනාපියෝ
අපේ දරු නොදේනම් උන්ගෙ බොටු කඩාපියෝ

මේක හරිම කුරිරු කවියක් කියලා කෙනෙකුට හිතන්න පුලූවන්. ඒත් මේක තමයි දරුවන් අහිමි අමම්ලාගේ ඇත්ත සිතිවිල්ල අපේ රටේ. සන්ද්‍යා එක්නැලිගොඩ අන්තිමේ පොල් ගැහුවා. හිස බූ ගෑවා. සාප කළා. මේ කතා කරන්නේ අපේ රටේ ඛේදවාචක ගැන.

තවත් ලස්සන කවි සියුම් කවි මහ ගොඩාක් තිබුණා. ප්‍රේමය තනිකම විරහව වගේ මාතෘකා ටිකක් පොදුයි. ඒවායේ සමහර තැනක වෙනත් කවියෙකුගේ කවියක සෙවනැල්ල තිබුණා. තමන්ට තමන් වෙන්න බැරි අනන්‍යතාව රැක ගන්න බැරි කවි තිබුණා. මම තෝරා ගත්තේ මගේ දෘෂ්ටිවාදයට ගැලපුණු කවි. ඒ නිසා මේ තෝරා ගත් දේවල් තමයි හොඳම කවි කියලා එකක් නැහැ. තව කෙනෙකුට තව කවියක් මට වඩා දැනෙන්න පුලූවන්. ඒ ඒ අයගේ අත්දැකීම් අනුව. චින්තනය අනුව .

ඉතිං මේ කවි කිවි කිවිදියන් සියලූ දෙනාට මං සුබ පතනා අපේ සාහිත්‍යය අස්වද්දනට ඔවුන් දිගටම ලියාවි කියලා හිතනවා. මේ තරම් දුෂ්කර කාලවලදදීත් කවියක් ලියවෙනවා කියනනේ තාමත් අපේ රටවල් ගැන අපිට බලාපොරොත්තු තියා ගන්න පුලූවන් කියලා මම හිතනවා.
සියලූ දෙනාගේ අනාගතයට සුබ පතමින් මම සංස්කාරකවරුන්ට ස්තුති කරමින් මේ දේශනයට මට ආරාධානා කිරීම ගැන ස්තුති කරමින් ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් පතමින් නිහඩ වෙමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ



leave a reply