අසත්‍ය තොරතුරු පදනම් ව නිකුත් වූ ශ්‍රී ලංකා රාජ්‍ය ගමන්බලපත්‍රයෙන් සෞදී අරාබියාවේ ගෘහසේවිකාවක් ලෙස පිටත් කරන රිසානා නෆීක් , 2013 දී හිස ගසා මරා දැමිය. ගෘහ සේවිකා ශ්‍රමිකයෙකු ලෙස 2005 දී අපනයනය කරනවිට රිසානාගේ සත්‍ය වයස අවුරුදු 17 කි. එනම් ඇය ශ්‍රී ලංකා නීතිය තුල ශ්‍රමිකයකු නොව දරුවෙකු විය. 2013 දී ඇය ගේ ඝාතනය සිදුවන විට, විදේශ රැකියා නියුක්තින්ගේ අමාත්යංශය හෙබවූ ඩිලාන් පෙරේරා අද ද බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරයෙකි. 2005 දී අවුරුදු 17 දැරියක් , ගෘහසේවිකාවක් ලෙස අපනයනය කරන විට සහ ඇයගේ හිසගසා දැමීම සිදුවන විට ද මෙරට පැවතියේ මහින්ද රාජපක්ෂ තුන්නළු දර්ශන (threesome ) ආණ්ඩුවකි . ස්ත්‍රීන් ඉතිහාසය නැවත කියවන හෙයින්, පෙනීයන කරුණ නම්, වර්තමානයේ දී රාජපක්ෂ සමජාතීය තුන්නළු දර්ශනයක් (Homo-threesome ) නැවත ගොඩ නැගී ඇති විටක, අවුරුදු 16 ක දැරියක් , ගෘහ සේවාවේ යොදාගනිමින් , අපයෝජනය ට පත්කර, ගිනි තැබීම වාර්තා වීමය . මම අසන සරල පැනය නම්, ඇයි ළමා දරු දැරියන් ශ්‍රමිකයන් ලෙස සුරාකමින් , අපයෝජනයට ලක් කරන පරිසරයක් පුනර් නිෂ්පාදනය වී ඇත්තේ ?
ජේ. ඉෂාලිනි ගේ පදිංචිය ආගරපතන, ඩයගම -බටහිර වතුයය වන අතර ඇයගේ දෙමාපියන් ශ්‍රමය හැර වෙනත් ජිවන උපයුම් මාර්ගයකට හිමිකම් නොකියයි. රුපියල් 25000ක පොරොන්දු මාසික වැටුපක් වෙනුවෙන්, ඇය බොරැල්ලේ පිහිටි, පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුන්දින්ගේ නිවස වෙත තැරැව් කරුවෙකු හරහා ගෘහසේවා ශ්‍රමය වෙන්වෙන් රැගෙන විත් ඇත (http://www.colombopage.com/archive_21A/Jul19_1626713716CH.php). ඇයගේ මව පවසන ආකාරයට “covid 19 ගෝලීය වසංගත කාලයේ දී , ජිවත් වීම වෙනුවෙන් වූ ණය ගෙවා ගැනීම ට නොහැකි ව , ණය කරුවන් ගේ-දොරකඩට විත් කෑගසන විට, පැවති එකම පිළිසරණ 16 වියැති දියණිය ගෘහ ශ්‍රමිකාවක් ලෙස තැරැව්කරු හරහා පිටත් කර හැරීමය ” (https://lankatruth.com/en/?p=14717).
මට මෙවැනිම අඛ්‍යායන ඉතිහාසය කියවන විට මුණ ගැසී ඇත. ඉශාලිනි වේ පරම්පාරාවේ, ශ්‍රී ලංකා ආරම්භය දෙස බලන්න. වතු ශ්‍රමික/ ශ්‍රමිකාවන් ලෙස පවුල් පිටින් මෙරටට ගෙන එන මෙම පිරිස් , වසංගත හි වින්දිතයන් ව මියයයි. ඉන් පසු, උදේ -සිට හවස් වන තුරුම කරගැට එන ලෙස දළු කඩමින්, වතු හිමිකරුවන් සහ ඔවුන්ගේ යටතේ වන පාලන ආධිකාරිය විසින් එම පරිසරයේ සිටින කුඩල්ලන් ලෙසම ශ්‍රමය සහ ලේ උරාබොන ලදී. දරු, දැරියන්ට අධ්‍යාපනය ද නොමැති ව , එම වතු යය තුලම නැවත තේ කුඩය හිසේ බැඳගෙන ඉහලපහල යාමට සිදුවිය. (කියවන්න (Class, Patriarchy and Ethnicity on Sri Lankan Plantations: Two Centuries of Power and Protest, 2015))
1948 සිටම ජන්දය ලබාදීම සහ ස්ත්‍රී / පුරුෂ පුරවැසියකු වීම අහිමි කිරීම, , ශ්‍රී අකුර රැකීම වෙනුවෙන් ගිනි තැබීම, සිංහල භාෂා පනත (1956), සිංහල- ජනපදකරණ ප්‍රතිපත්ති මත දෙමළ වතු ශ්‍රමිකයන් උපන් භූමියෙන් එළවා දැමීම (1959), අධ්‍යාපන ප්‍රමිතිකරණ පනත (1971) යනාදී රාජ්‍ය මැදිහත් වූ ප්‍රචණ්ඩත්වයන් හරහා, වතු කම්කරු දෙමළ ප්‍රජාවගේ ශ්‍රමය සුරාකෑම , ආත්මය විනාශ කිරිම අවසන් කිරීමට පිතෘ මුලික -සිංහල -බෞද්ධ ආණ්ඩු කුමන ක්‍රියාමාර්ග ගෙන තිබේද ? තමන්ගේ ශ්‍රමය වෙනුවෙන් අවම දෛනික වැටුප ලෙස ඔවුන් ඉල්ලා සිටි රුපියල් 1000 ලබා දීමට හෝ සිංහල- බෞද්ධ සමජාතීය තුන්නළු ආණ්ඩුව කාරයක්ෂමව කටයුතු කලේද ?
එවැනි දුපතක සිටින අප, රිසානා, හිශාලිනි ගේ මරාදැමීම් වෙනුවෙන් යුක්තියක් බලාපොරොත්තුවන්නේ කෙසේද ? නිතිවේදිනි ජිවනි කාර්යවසම්,තම facebook ගිණුමේ අසා තිබු පැනයක් හරහා මෙම ලිපියේ දෙවන කොටස ආරම්භ කරමි “ලංකාව තුළ “කළු ජූලියක්” නැවත ඇති නොවේයැයි කීමට ඇති සහතිකය කුමක් ද #දූපතේ_ජීවිතේ” (https://www.facebook.com/jeevanee.kariyawasam).
ඔව්, මොකද්ද අපට තිබෙන සහතිකය ? මා සේවයේ නිරත විශ්ව විද්‍යාලයේ එක් මහාචාර්යවරයෙක් පැවසුවේ ,”ජනවාර්ගික ගැටුම ” යන නාමකරරණ පවා යොදාගැනීම වැරදි බවත්, පැවතියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් බවත්ය . සිදු වූ ජන ඝාතනය ප්‍රසිද්ධියේ සාකච්චා කිරීමත් වාරණය කිරීමට යෝජනා කරන පසුබිමික, ජනඝාතන ජූලියක් නැවත නොවන බවට කිසිදු සහතිකයක් නොමැත. 1983 දී සිදුවන ජනඝාතනය වෙනුවෙන් විවිධ සටහන් මේ මොහොතේ දී මා විසින් කියවා ඇත. එම සටහන් අතර මට මුණ ගැසුණු බහුතර ලියවීම් පවසන කරුණ නම්, දෙමළ ප්‍රජාව ගුණගරුක සානුකම්පිත සහ මානුෂිය බව, එම ජනයා විනාශ කිරීම වෙනුවෙන් 1983 ජුලියේ දී කුඩා කාණ්ඩයම් සංවිධානාත්මක ව හැසුරුණු බව, එම අවස්ථාවේ සිංහල ජනයා ,තම දෙමළ මිතුරු -මිතුරියන් ගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කල බවත්ය. එලෙස , එම ජන ඝාතනය නම් කරන පාර්ශවයෙන් මම අසන පැනය නම්, සංවිධානත්මක කණ්ඩයාම් ආරක්ෂා කල ආණ්ඩුව 1988-1989 දී නැවත බලයට ගෙනඒමට කටයුතු කලේ ඇයි ? ඉන්පසුව ද නිරන්තරයෙන්ම එවැනිම ආකාර ජන ඝාතන අනුමත කරන ආණ්ඩු , ප්‍රජාතනත්‍රවාදී ප්‍රවාහය ඔස්සේ ජන කැමැත්ත ලෙස පත්කරගනු ලැබුවේ ඇයි ? එයින් පෙනීයන කරුණ නම් , රාජ්‍ය සහ සිංහල- බෞද්ධ පුරවැසියා අතර වන “පාලන එකඟතාවය ” යනු “සිංහල- බෞද්ධ නොවන ප්‍රජාව මර්ධනය කිරීමට සහයෝගය දීම ” නොවේද ?
එසේම දෙමළ හෝ වෙනත් ඕනෑම සුළු ජනවර්ගයක ගේ දේශපාලන පිළිගැනීම , ඔවුන් යහපත් චර්යාවෙන් යුතු වීම යන කොන්දේසිය මත රඳා නොපවතී. ඔවුන් ගේ හදවත් සිංහල-ප්‍රජාව වෙත විවර වුවද නොවූ වද , ඔවුන්ට අප ප්‍රේම කලද -නොකලද , මේ භුමිය තුල මනුෂයකු ලෙස ඉපදීම යන කොන්දේසිය මත පමණක් ම ඔවුන්ගේ ද අයිතිය තහවුරු කරන පාලන එකඟතාවක් ගොඩ නගා ගත යුතුය.
ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ශ්‍රමික පන්තියේ බහුතරයක් විදි වෙත පිවිස තම අයිතවාසිකම් වෙනුවෙන් පෙළගැසී ඇත. ගුරු වෘත්තීක ස්ත්‍රී සහ පිරිමි ශ්‍රමික මෙන්ම උසස් අධ්‍යාපන ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් ද මේහිදී ප්‍රකට ව දැකගත හැකිය. එම පෙළගැසීම් අතර, අධ්‍යාපනය මිලිටරිකරණය ට විරුද්ධ වීම ප්‍රමුඛ වේ. එහෙත් එම සටන වෙත දායක වන බහුතරය මිලිටරිකරණ පාලනයක් වෙත එකඟතත්වය ප්‍රකාශ කර නොමැති ද ? දෙමළා ට හෝ සුළු ජන අනෙකා මර්ධනය වෙනුවෙන් මිලිටරිකරණය උත්කර්ෂණය ට නඟන ලද ඔවුන් අධ්‍යාපනය මිලිටරිකරණ කිරීමට විරුද්ධ වීම විසදාගත යුතු උභාතොකොටියකි. එසේම, ශ්‍රී ලංකා පාසල් අධ්‍යාපනය තුල, සිවිල් යුධ ඉතිහාසය, 1983 ජන සංහාරය ගැන ප්‍රකාශ නොවන්නේ මන්ද ?
ලිපිය අවසන් කිරීමට මම මෙසේ ලියා තබමි. හිශාලිනි හෝ රිසානා මරාදැමීම් යනු හුදකළා වූ සිදුවීම් නොවේ. එයට අනුකම්පා කිරිම නොව යුක්තිය ඉටුවීම සිදු විය යුතුය. මෙම සිදුවීම් හි වින්දිතයන් සියල්ල අයත් වන්නේ සහ ඔවුන් ගේ පරම්පාරා ද අයත් වන්නේ, ශ්‍රමික පංතිය වෙතය. ඔවුන්ගේ ශ්‍රමය සුරාකෑමත් , අවම ජිවත් වීමේ කොන්දේසි යටතේ පරම්පරිකවම එම ශ්‍රම පංතියේ වින්දිතයන් ව ජිවත් වීමත් වෙනස් කල යුතු දේශපාලනයක් ගොඩනැගිය යුතුමය. එහි කිසිදු හේතුවවක් මත රාජ්‍ය මර්ධනය ට එකඟවන ගිවිසුම් සමඟ එකට සිට නොගත යුතුය. නොඑසේනම් සිදු වන්නේ, ජනඝාතන , ශ්‍රම සුරාකෑම් , ලිංගික අපයෝජන නිරන්තරයෙන් සිදුවන අනාගත රටක සමජාතීය පවුල් පාලනයක යටත් වැසියන් වීමටය.