Breaking News

ජයග්‍රහණ අත්කරගත් ඉදිරියට යන අරගලයට ජය වේවා

ගෝල්ෆේස් එකට ඇවිල්ලා සටන්පාඨයක් කියලා, සින්දුවක් කියලා, මුහුදු හුළං සුව විඳලා, මාස තුනක් තිස්සේ මිනිස්සු ඇවිල්ල ගියේ නිකම්ම නිකං අරගෙන ආපු ඔළු ගෙඩිය ඇතුලෙ තියෙන මොළ ගෙඩිය හිස්ව අරගෙන නෙවෙයි. අරගලය කියන්නේ මොකක්ද? අරගල කරන්නේ මොකටද? අරගලය කා සඳහාද? මේ අරගලයට දායකත්වය සැපයිය යුත්තේ කොහොමද? කියන දැනුමත් ආදරයක් අරගෙන.

තමන්ගේ නායකත්වයන් නැති තැන අරගල සිද්ධ වෙන්නෙ නෑ කියල හිතපු දේශපාලන නායකයෝ මේ අරගලය හෑල්ලු කරා. මේක නිකං ගෝල්ෆේස් එකේ හුලං වැදිලා වටේ ගිහින් සැණකෙළි පවත්වන යන තැනක් කියලා අවතක්සේරු කළා. දේශපාලන මගපෙන්වීමක් නැතිව, සංවිධානාත්මක හැඩයක් නැතිව මේක ඇතුලෙන් ලබන්න පුළුවන් ජයග්‍රහණ මොනවද කියලා තවත් සමහරු කවට වදන් වලින් මේ අරගලයට පරිභව කළා.

දවස දවස ගෙවී යද්දී අරගලය අතහැර ගිය, අරගලය ගැන තිබුණු විශ්වාසය අතහැර ගත්, බොහෝ දෙනෙක් ඉද්දි මේ අරගලය අල්ලගෙන හිටපු, ඒකට ප්‍රානජීවය දුන් සුළු පිරිසක් අරගලයෙන් තොර ජයග්‍රහණය නැහැයි කියලා සමාජයට ඒත්තු ගන්වන්න පාඨයේ සිට ගීතය, වීදි නාට්‍ය, චිත්‍රය සහ පැය විසිහතරම තමන්ගේ කාලය කැප කරමින් ගෝල්ෆේස් අරගල පිටිය තනිනොකර ලබා දුන් ආදර්ශය ජයග්‍රහණයේ නියමු කාර්යයි.

විවිධ පෝලිම්වල මිනිස්සු මිය යද්දී, ගෑස් සිලින්ඩරයක්, ඉන්ධන ලීටරයක්, කිරිපිටි පැකට් එකක්, හාල් කිලෝ එකක් ගන්න මිනිස්සු දහ දුක් විඳිද්දී ,අසනීප වෙච්ච කෙනෙකුට බෙහෙත් ටික නැති වෙද්දී, පෝලිමට, ඔය ක්‍රමයට හුරු වෙන්න එපා ඕක වෙනස් කරමු වරෙල්ලා අරගලයට, වරෙල්ලා සටන් කරන්න කියලා කිව්වේ බොහොම ටික දෙනයි. එහෙම මිනිස්සුන්ට කියපු ඒ ටික දෙනා ඒ අරගලය අතහැරියෙ නෑ . එක ඇතුලෙම හිටියා. පරිභව කරද්දි මේකෙන් ඇති වැඩක් නැහැ කියලා බිඳ වැටුනේ නෑ. අධිෂ්ඨානය ශක්තිමත් කර ගත්තා.

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ එලවන්න පුළුවන් එකෙක් නෙමෙයි 69 ලක්ෂයක ජනවරමක් තියෙන එකෙක්. ගෝල්ෆේස් එකට රෑට රෑට එකතුවෙන කීපදෙනෙක්ට පුලුවන්ද 69 ලක්ෂයක ජනවරම පන්නා දමන්න කියලා තවත් සමහරු කිව්වා. ඒත් මේ අරගලය පටන් ගත්තු අයත් අරගලයත හැර යද්දි, අරගලය ගැන විශ්වාසය තැබූ වැටෙන්න නොදී ඒ අරගලය තමන්ගේ උරහිසට ගත්තු කිහිපදෙනෙක් ඒ අරගලය ඉදිරියට ඇදගෙන ගියා, විශ්වාස කළා , අද නැතත් හෙට අරගලය තේරුම්ගන්න මිනිසුන් අරගලය ශක්තිමත් කරන්න, ඉදිරියට කර තියාගෙන යන්න එනවා කියලා.

#GoHomeGota2022 අද 2022 ජුලි මාසයේ දාහතර වෙනිදා ගෝල්ෆේස් අරගලය ආරම්භ වුණු මූලික සටන් පාඨය අහෝසි වුණු දවස. රට හදන්න ආපු ගෝඨාට අද ඉන්න රටක් හොයාගන්න බැරි උනා අවසානයේ ජනතාවගේ බලය හමුවේ රට හැර යන්න වුණා.

සියලු අවලාද ශුන්‍ය කරමින් ජයග්‍රහණය ඇත්තේ ජනතා නැගිටීම තුළ පමණයි කියලා ඔප්පු කලා. රට වටේම මේ අරගලයට ශක්තිය සැපයූ සියලු අරගල කරුවන්ට අදට වඩා සතුටු වෙන්න පුළුවන් දවසක් තවත් තියෙයිද? පොදු අරමුණක් වෙනුවෙන්, එක සටන් පාඨයක් වෙනුවෙන්,පෙළ ගැසුණු ඔවුන් අද ජයග්‍රහණය භුක්ති විඳිමින් ඉන්නවා. එහෙත් මෙය අවසානය නොවේ යැයි ඒ හැමෝම දන්නා කරුණකි. අරගලය වෙනස් වී ඇත. දැන් ජනතාවට තමන්ගේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්නට සිද්ධ වී තිබෙන්නේ ගෝඨා වෙනුවට පත්තු පින් අගමැතිය එල වීමටයි.

රනිල් වික්‍රමසිංහ නැමැති දේශපාලන නරුමයාව ගෝඨා මෙන්ම තනතුරුවලින්, බලයෙන්, පුටුවෙන්, බිමට පෙරළා රටෙන්ද පන්නා දැමිය යුතුයි. 69 ලක්ෂයක් ඡන්ද ගත්තු ජනාධිපති ගෙදර ඇරපු මේ අරගල කරුවන්ට රනිල් වික්‍රමසිංහ කියන්නේ දිරාපත් වෙච්ච පඹයෙකි.

එහෙත් රාජ්‍ය බලය තුළ මේ දිරාපත් පඹයා තමන්ට කළ හැකි සියලුම නින්දිත තීන්දු තීරණ ගැනීමට ඉඩ තිබේ. අප සටන ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් මේ සටන අප කාගේත් හානිය සටහන් කරන සටනක් කර ගත යුතු නොවේ.

පෙරසේම එක්ව, එක අරමුණකින් මේ සටන ද ජය ගත හැකිය. අරගල බිම බෙදන්නට, අරගලකරුවන් වල්මත් කරන්නට, රටේ ජනතාව අරගලය සමඟ උරන කරන්නට,ගෙන යන සියලු යටිකූට්ටු උපක්‍රම සිහි බුද්ධියෙන් යුතුව පරාජයට පත්කළ යුතුයි. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සතුරාගේ ස්වභාවය හරියට හඳුනා ගැනීමයි.

එහෙයින් ආදරණීය සහෝදරවරුනි සටන් සගයිණි අප ඊයෙටත් වඩා හෙට උපක්‍රමශීලීව සටන ඉදිරියට ගත යුතුයි .

අරගලයට ජය වේවා ලැබූ ජයග්‍රහණය දිනේවා
හෙට අරගල බිම ශක්තිමත් වේවා

leave a reply