අද ඉල් මහ විරු සමරු දිනයයි.ජවිපෙ හා පෙසප දෙතැනක සාමූහික සැමරුම් පවත්වනු ලැබීය.විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද සාමාන්‍යයෙන් මේ දිනය සමරන මුත් මෙවර එය සිදුකළාද යැයි නොදනිමි.
රෝහන විජේවීර ඇතුළු 80 ජවිපෙ සහෝදරවරු සටන් කර මිය ගියේ කුමන අරමුණකටද ? පැහැදිළිවම අධිරාජ්‍යවාදයට එරෙහිව සමාජවාදය ලංකාව තුළ ගොඩනැගීම වෙනුවෙනි.එම සමාජවාදය හුදු පක්ෂ අභ්‍යන්තරයේ කාඩරය නඩත්තු කර ගැනීමට පමණක් පවත්වා ගත් ව්‍යුහ සන්නාමයක් නොවීය.මහජන අවකාශය තුළ පොදු ජනතාව සමග ප්‍රසිද්ධියේම බෙදාගත් පණිවිඩයක් විය.අන්ත හිංසනයන්ගෙන් දුක් විද මිය යද්දී පවා ඔවුන්ගේ විලාපයන් තුළ කැටිවී තිබුණේ ‘සමාජවාදය දිනේවා’ යන ප්‍රාර්ථනයේ හඩයි.
එහෙත් 80 දශකයේ අග ජවිපෙ සන්නද්ධ නැගිටීම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී හා/හෝ ෆැසිස්ට් ප්‍රවනතාවයක් වූ බවට පිළිගත් වාම-ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් ඇත.දෙවැනි මතයට බලපෑ මූලිකම හේතුවක් වූයේ අනෙකුත් වාම හා ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම් මත ප්‍රචණ්ඩ මර්දනයක් එල්ල කිරීමේ ජවිපෙ උපක්‍රමය බව පෙනෙයි.එහෙත් 80 ජවිපෙ යනු සිංහල-බෞද්ධ අධිපතිවාදයේම රැඩිකල් ප්‍රකාශනයක් ය යන පළමු මතයේ පදනම කුමක්ද ?
ජවිපෙ උත්කෘෂ්ඨ අරමුණ සමාජවාදය වුවද එහි සංයුක්ත මූලෝපාය වූයේ ‘ජාතික විමුක්තිය’ පිළිබද ප්‍රවාදයයි.එය අධිරාජ්‍යවාදයට එරෙහි යටත් විජිත ව්‍යාපාරයන්ගේ ජනප්‍රිය විප්ලවවාදී ප්‍රකාශනය විය.මේ අනුව 80 දශකය අරා ජවිපෙ උපායමාර්ගික දැක්ම වූයේ ජාතික නිදහසෙන් (විමුක්තියෙන්) සමාජවාදයට යන්නයි. එහෙත් මේ මූලෝපායේ බරපතල ගැටළුව වූයේ ඒ යුග මොහොත තුළ ‘ජාතික විමුක්තිය’ යනු කුමක්ද යන්නයි.සරලව කිවහොත් මේ කියන ‘ජාතිය’ කුමක්ද යන්නයි. ඉතාම පැහැදිළිව ලංකාවේ පශ්චාත් යටත්විජිත රාජ්‍යය පොදු ජාතිකත්වයක් පරිකල්පනය කිරීමට මුළුමනින්ම අසමත් වූ අතර 80 දශකය තුළ ලාංකේය දේශපාලන දකුණේ ‘ජාතිය’ යනු අන් කිසිවක් නොව සිංහල බෞද්ධ අධිපති වාර්ගික ජාතිකත්වයයි. 56 දී සිංහල බෞද්ධ සම්මුතිය කතිකාමය බලය අත්කරගැනීමේ පටන් 1972 ජනරජය හරහා එය නිල වශයෙන් සහතික කිරීම හරහා රාජ්‍යයෙන් පිටමං කෙරුණු දෙමළ ජනතාව 80 දශකය වන විට සිය ජාතික විමුක්තිය සදහා සන්නද්ධ දේශපාලන ක්‍රියාමාර්ගයකට දිවි හිමියෙන් අවතීර්ණ වී තිබිණි. ඒ අනුව 80 දශකයේ ජවිපෙ ‘ජාතිකත්වය’ (ජාතික නිදහස) යනු දකුණේ අධිපති සිංහල බෞද්ධ වාර්ගිකත්වයෙන් නිශ්චය වූවකි. 80 දශකයේ ජවිපෙ ජාතිවාදී හෝ ස්වෝත්තමවාදී පිළිබිඹුවක් ගන්නේ ඉහත තතු යටතේය.
එහෙත් අමතක නොකළ යුතු කරුණ වන්නේ ජවිපෙහි එකී වාර්ගික-ජාතිකවාදී හැගවුම් පැවතියේ සමාජවාදය පිළිබද විශ්වීය උත්කෘෂ්ඨ අදහසට යටත්ව හා ඊට අනුව නිර්වචනය වීය යන්නයි.ඒ වනවිට ලෝක සමාජවාදී පර්‍යාය අහෝසි වී තිබුණේ නැත.ඒ අනුව ඉල්මහ විරුවන් සටන් කොට මිය ගියේ කුමටද යන පැනයට සාධාරණ පිළිතුරක් දිය හැකිය. ඒ සමාජවාදය වෙනුවෙන් ය යන්නයි.
එහෙත් අද සිටින ජනතා විමුක්ති පෙරමුණ ඉල් මහ විරුවන් සැමරීමේ දේශපාලන තාර්කිකත්වය කුමක්ද ? එය හුදු සිය පක්ෂයේම ඉතිහාස මොහොතක් වතාවතක් ලෙස පුරුද්දට සැමරීමක් නොවේද ? එය හරියට අද දවසේ චීන කොමියුනිස්ට් පක්ෂය මාඕ සේතොන් සමරනවා වැනි නොවේද ?නොඑසේනම් ලංකාවේ සම සමාජ පක්ෂය අද දවසේ ඇන්.ඇම්.පෙරේරා සමරු දේශනයක් කරනවා වැනි නොවේද ? මම එසේ කියන්නේ මන්ද ?
අද ජවිපෙ පොදු ජනතාව සමග සමාජවාදයේ අනාගත පොරොන්දුව ප්‍රසිද්ධියේ බෙදා ගන්නේ නැත.80 දශකයේ සිය පක්ෂයෙන් සිදු වූ වැරදි සම්බන්දයෙන් ප්‍රසිද්ධියේ සමාව භජනය කරන විට එය සමාජවාදයේ ධජය යටතේ කරනා සාමූහික සංගායනාවක් වූයේ නැත.පක්ෂ අභ්‍යන්තරයේ සමාජවාදයේ සන්නාම ශාඛා තිබුණාට ඒවාද කැෆේන් නොමැති කෝපි මෙන් සමාජවාදයේ හරයෙන් හිස් ය.සරලවම කිවහොත් ජවිපෙ දැන් දේශපාලනය කරන්නේ සමාජවාදය ගොඩනැගීමට නොවෙයි.ජවිපෙ ජනතාව සමග අද ගොඩනගන ගිවිසුම සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පිහිටා නොමැතිවා පමණක් නොව ඉන් මුළුමනින්ම විතැන්වීමක් සහතික කර ඇත. ජාතික ජන බලවේගය ලෙසින් ජවිපෙ සමග එක් වී ඇති ස්ථරයන්ගේ ඒකායන ප්‍රාර්ථනය හා මග පෙන්වීම වනු පෙනෙන්නේද ජවිපෙ සමාජවාදී කතිකාවෙන් මුළුමනින්ම විසන්ධි කර තැබීමයි. ඒ අනුව අද ජවිපෙ/ජාජබ යනු දූෂණයෙන් තොරව පවතින ධනවාදය යහමින් කළමණාකරණය කිරීමේ යහපත් ආණ්ඩුකරණ ව්‍යාපෘතියක් පමණී.ඒ ව්‍යාපෘතිය සදහා හරයෙන් හිස්වූ සමාජවාදී සන්නාම ව්‍යුහ කිහිපයක් පිට කවරයන් සේ පවත්වා ගැනීමද අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව අද ජවිපෙට සමාජවාදී ඉදිරි දර්ශනයක් නැත.ජාතිකවාදයේ මූලෝපායද උපක්‍රමිකව නිශ්ක්‍රීය කර ලිබරල්-වාම හැඩයක් දෙසට නැඹුරු වී ඇත. ඒ අනුව 80 දශකයේ මිය ගිය ඉල් මහ විරුවන්ගෙන් උරුම වූ දේශපාලන අඛණ්ඩතාවයක් අද ජවිපෙට නොමැත.80 දශකයේ ජවිපෙ ක්‍රියාධරයන් කිහිප දෙනෙකු තවමත් ඉන්නවා කියා හෝ පක්ෂයේ ඉතිහාස මොහොතක් සම්ප්‍රදායික ලෙස සමරනවා කියා හෝ ඉල් මහේ සමාජවාදයේ උත්තුංග අරමුණ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ සොයුරන් සැමරීමේ යුක්ති සහගත අයිතියක් ජවිපෙට තිබේද ?
විදර්ශන කන්නංගර