Breaking News

මැයි 09 සිදුවීම්වලට 1000ක් රිමාන්ඩ් – දින 22ට පසු ජොන්ස්ටන් නඩුවේ සැකකරුවෙක් පමණයි

සිද්ධීන්වලට අදාළව මේ වනවිට 2252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 1010 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරයි.

නමුත් මෙම සිද්ධීන් ඇතිවීමට මූලික ලෙස බලපෑ ගෝල්ෆේස් අරගලයට එල්ලවූ ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉතා මදගාමීව බව දක්නට ලැබේ.

මැයි 09 ප්‍රහාරයෙන් දින 22ට පසු ඊයේ ගෝල්ෆේස් අරගලභූමිවලට පහරදීම සම්බන්ධයෙන් වූ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) කටයුතු කළා.

ඒ අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදි ඊයේ(01) යළි කැඳවු අවස්ථාවේදි.

එසේම මැයි 09වනදා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස අතර සිටි වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට ගත්තේ පසුගිය 31වනදායි .

එමෙන්ම ප්‍රශ්නගත මැයි 09 වනදා අරලියගහ මන්දීරයේදි ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ කතාවක් සම්බන්ධයෙන් විශේෂඥ මතය ලබාගැනීමට එම කතාව මනෝ වෛද්‍යවරුන් දෙදෙනෙකු වෙත යොමුකරන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළා.

එමෙන්ම මෙම නඩුවේ සෙසු සැකකරුවන් ලෙස මහින්ද කහඳගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ නම් කිරීමටද අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

එසේම මීට පෙර දින මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ නම කියවුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රශ්නගත දිනයේ භාවිතා කළ රාජකාරි සහ පෞද්ගලික ජංගම දුරකථන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගෙන වෝහාරික පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බවද අයේෂා ජිනසේන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නීතිඥ උපුල් ජයසුරිය කියා සිටියේ මෙම සිදුවීම නොවැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කළ යුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙතෙක් සැකකරුවෙකු ලෙස නම් නොකිරීම විමතියට කරුණක් බවයි.

leave a reply