බට නන්දෙගේ සහ බටලන්දගෙ මර්දන ඉතිහාසයෙන් බිඳක්

Date:

බට නන්දෙත් එපා – බටලන්දත් එපා යනුවෙන් නව සටන් පාඨයක් සමාජ මාධ්‍ය තුළ සැරසරමින් පවතියි. අප දන්නා පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහා පටබැඳී ඇති අලුත්ම නම වන්නේ බට නනදේ යන්නයි. ඊයේ 6වෙනි වතාවටත් අගමැති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ හැඳින්වීමට බටලන්දේ යොදාගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ බට නන්දේ ලෙස නාමකරණය වූවේ ජනාධිපතිවරණයට සහ ආණ්ඩුවට එරෙහිවන ජනතාවගේ විරෝධතා මැඩලීම සඳහා යකට බට යොදා බැරියර් හැදීම හේතුවෙනි. සමහරක් බට උල් කටු සහිත ඒවා ලෙසද සකස් කර තිබුණි.

රනිල් වික්‍රමසිංහ බටලන්දේ වූවේ 88-89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන අරගලය පැවති සමයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජනය කළ ප්‍රදේශය වූ බියගම පිහිටි බටලන්දේ වධකාගාරය නිසයි. මේ වධකාගාරය තුළ තරුණියන් විශාල ප්‍රමාණයක් ඝාතනය කරන ලද බව හෙළිවිය.

දැන් නැවතත් එකිනෙකට විරුද්ධ පක්ෂ නියෝජනය කළ මේ දෙදෙනා එක්ව ආණ්ඩු කිරීමට පටන් ගෙන තිබේ.

විශේෂත්වය වන්නේ මේ දෙදෙනාම ජනතාව මර්දනය සඳහා මීට පෙරද එකට එකතුව වැඩ කොට තිබීමයි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් සිටි අවධියේ මෙරට සිදුවූ අතුරුදහන් කිරීම්, ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු සුදු වෑන් සංස්කෘතිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකි. එවැනි මෑත සිදුවීම් පමණක් නොව 88-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවන නැගිටීම සිදුවූ අවස්ථාවේද තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මරා දැමීමට ඔහු සම්බන්ධ වී ඇති බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන චෝදනා නගයි. ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීන් (JDS) හි ඒකාබද්ධ වාර්තාවකින් පවසා ඇති පරිදි 1989 දී බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමේ සිද්ධියක සැකකරුවෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නම රාජ්‍ය පරීක්ෂණයකින් පසු සකස්කළ රහස් ලැයිස්තුවක ඇතුළත් වේ. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන අරගලය අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කර තිබුණි. ඔහුගේ අණ යටතේ ආරක්ෂක අංශ විසින් අවම වශයෙන් පුද්ගලයන් 700ක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක් කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

88-89 වකවානුවේ බට නන්දේගේ කෙරුම් එසේ වෙද්දී එම කාල වකවානුවේ රජයේ ඇමති ධූරයක්ද දැරූ බටලන්දේ සම්බන්ධයෙන් ද පසුගිය කාලය පුරා විවිධ සංවිධාන, ජනමාධ්‍යවේදීන් හෙළිකර තිබුණි. බියගම, බටලන්ද රජයේ පොහොර සංස්ථා භූමියේ පවත්වාගෙන ගිය සුප්‍රකට බටලන්ද වධකාගාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම් සභාව ප්‍රකටව ඇත්තේ බටලන්ද කොමිසම නමිනි.කෙසේ වෙතත් පුද්ගල අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් මෙන්ම වධ බන්ධනයන්ට පමුණුවාලීම් සම්බන්ධව කොමිසම විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අමතරව ඉහළ පොලිස් නිළධාරින් ගණනාවක්ම වගකිව යුතු බවට නම් කරන ලදි. බටලන්ද කොමිසම විසින් කරන ලද සොයා ගැනීම් අනුව, තංගල්ලේදී අත් අඩංගුවට ගන්නා ලද නීතීඥ විජේදාස ලියනආරච්චි පෑලියගොඩ පොලීසියේ ඩග්ලස් පීරිස්ගේ අණ යටතේ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දන ඒකකයට භාරදෙන ලද්දේ ජයවර්ධන ආණ්ඩුවේ ඇමති ධූරයක් හෙබ වූ රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයැයි එවකට පොලිස්පති අර්නස්ට් පෙරේරා කොමිසම හමුවේ කියා තිබූ බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීන් (JDS) වාර්තා කරයි. එවැනි වධකාගාරයක් පවත්වාගෙන යාම පිළිබඳව ජයවර්ධන ජනාධිපතිවරයාත්, එම ආණ්ඩුවේ අමාත්‍ය ධූර දැරූ රන්ජන් විජේරත්න සහ රනිල් වික්‍රමසිංහත්, කැළණිය පදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ‍පොලිස් අධිකාරීවරයාත් දැනුවත්ව සිටි බවටද කොමිසම නිගමනය කර තිබේ. බටලන්ද වධකාගාරය පිළිබඳව අධිකරණය හමුවේ පැවති නඩුවෙන් චෝදනා ලැබ සිටි සෙස්සන් මෙන්ම, රනිල් වික්‍රමසිංහ ද අවසානයේ සියළු ‍චෝදනාවලින් නිදොස් කර හරිනු ලැබිණ.

බට නන්දේගේ සහ බටලන්දේ එදා එකට එකතුව ජනතාව මත ම්ලේච්චත්වය මුදා හරියේ ඒ ආකාරයටයි. ඔවුන් නැවතත් එකට එකතුව සැරසෙන්නේ ජනතාව තව තවත් අගාධයකට තල්ලු කිරීමයි. එම නිසා බට නැන්දේට මෙන්ම බටලන්දේ ට එරෙහිවද ජනතාව තම අරගලය ශක්තිමත් කළ යුතුව ඇත.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...