රාජ් කුමාරිගේ මරණය – වසර 200ට පසුත් මිනිසුන් ලෙස ජීවත්වීම අහිමි වතු කම්කරු ප්‍රජාව

මෙහෙකාර සේවයේ නිරතව සිටි වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගොස් තිබේ.

ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කාන්තාවකගේ හදිසි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසා ඇත.

පොලීසිය පවසන ආකාරයට අදාළ නිවසේ තිබූ රත්තරන් මුදුවක් නැති වීම සම්බන්ධයෙන් එහි සේවය කළ මෙම කාන්තාවට එරෙහිව නිවැසියන් පසුගිය 11දා වැලිකඩ පොලිසියට පැමිණිලි කර තිබේ. ඉන්පසු කාන්තාව පොලිස් බාරයට ගෙන ඇති අතර, හදිසියේ ම කාන්තාව පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් සහ වේදනාවක් ඇති බවයි. පොලිස් නිලධාරීන් විසින් ඇය කොළඹ, ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මිය ගොස් තිබිණි.

මේ සම්බන්ධයෙන් විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවයි. එසේ ම පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙසේ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත්තේ බදුල්ල, දෙමෝදර පදිංචි ව සිටි ආර්. රාජ් කුමාරි ය. ඇය 42 හැවිරිදි ය.

සිද්ධිය සම්බන්ධයෙන් 11දා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු, එදින ම මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඒ වනවිටත් ඇය ට පහරදී තිබූ බවට සැක කළ හැකි සාධක තිබුණේ යැයි සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතියි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පහරදීමක් පිළිබඳ සැකයක් තිබුණද, මෙතෙක් අදාළ නිවැසියන් කිසිවකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමක් සිදු කර නැති බවද වාර්තා වේ. එසේ ම මරණ පරීක්ෂණය සඳහා සිරුර ඉදිරිපත් කිරීමේ ද යම් ප්‍රමාදයක් සිදු වූ බව වාර්තා වේ.

2021 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවය කළ වතු කම්කරු ප්‍රජාව නියෝජනය කළ තරුණියක් වූ ජූඩ් කුමාර් ඉෂාලිනී මියයාමේ සිද්ධිය රට තුළ විශාල ආන්දෝලනයක් ඇති කරන ලදී. ඒ මොහොතේ එම දැරිය ගිනිතියා මරා දැම්මේද නැතිනම් වෙනත් ක්‍රමයකින් ගිනිගැනීමක් සිදුවූ වේද යන්න ගැන සැක මතුවිය. ඒ මොහොතේද පොලීසිය පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි. නමුත් මෙතෙක් එහිදී සිදුවූ දේ සම්බන්ධයෙන් කිසිවක් හෙළිව නැත. පොලිස් පරීක්ෂණවලදී ඇය තමන්ට ගිනි තබාගෙන ඇති බව සඳහන් කරමින් පොලිස් පරීක්ෂණ අවසන් වීමේ වැඩි ඉඩක් පවතියි. ඒ මොහොතේ ඉෂාලිනි වෙනුවෙන් තිබූ මාධ්‍ය අවධානය මේ මොහොතේ නැත.

ඊයේ වාර්තා වු රාජ් කුමාරිගේ සිදුවීම ට ඉෂාලිනීගේ සිදුවීමට තරම්වත් මාධ්‍ය අවධානයක් හිමිව නැත.

මෙහි ඇති ප්‍රශ්නය වතු කම්කරු ප්‍රජාව නියෝජනය කරන දරුවන් සහ කාන්තාවන්ට වතුවල වැඩකිරීම හැර තෝරාගත හැකි අනිත් එකම රැකියාව වන්නේ මෙහෙකාර සේවය වීමයි. මෙහෙකාර සේවය යනු කිසිදු කම්කරු නීතියක් ක්‍රියාත්මක නොවන ක්ෂේත්‍රයකි. වසරකට මේ ආකාරයට මෙහෙකාර සේවයේ යෙදී සිටින කාන්තාවන් සහ දරුවන් මියයාමේ සිදුවීම් බහුලව වාර්තා වෙමින් පවතියි. වතු කම්කරු ක්ෂේත්‍රයේ මෙන්ම මෙහෙකාර සේවයේදී ද මෙම කාන්තාවන්ට සිදුවන ගැහැට සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුව නැත.

වතු කම්කරුවන් ලංකාවට පැමිණ මේ වසර 200ක් ගතව තිබේ. නමුත් එතරම් කාලයකට පසුත් ඔවුන්ට මිනිසුන් ලෙස ජීවත්විය හැකි ගෙයක්, ඉඩමක්, ලිපිනයක් නොව රැකියාවක් ලබාදීමට අපි අසමත්ව සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...