IMF එක තවත් ණය දෙන්න එකඟයි – IMF කොන්දේසිවලට විරෝධය දැක්වූ ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Date:

ජන අරගල ව්‍යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිව් දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ තවත් අයෙකුයි.

ඊට අමතරව අධිකරණයට ඉදිරිපත් කළ තවත් 5 දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීර්ණ ණය පහසුකමේ වැඩසටහන සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය අද දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණා.

ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවයෙන් පසු ඩොලර් මිලියන 337ක මූල්‍ය වාරියක් ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඵල දැරීම ආරම්භ වී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එහිදී දැනුම් දී තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට, බදු බර සහ බඩු මිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කිරීමට, ඉන්දියානු මැදිහත්වීමට එරෙහිව සහ ATA සහ OSA යන මර්දන පනත්වලට එරෙහිවයි.

ජාත්‍යන්තර අරමුදලේ කොන්දේසි සම්පූර්ණයෙන් ජනතාව මත බර පටවා තිබීම සහ ඒ හේතු නිසා ජනතාව කොතරම් පීඩාවට පත්ව සිටීද යන්න සම්බන්ධයෙන් එම විරෝධතාවයේදී අදහස් පළ කෙරුණි.

නමුත් ඒ සඳහා ආණ්ඩුවේ ප්‍රතිචාරය වූවේ පොලීසිය යොදවා ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සහ විරෝධතාකරුවන්ට පහර දෙමින් අත්අඩංගුවට ගැනීමයි.

දුමින්ද නාගමු සහ ලහිරු වීරසේකර අත්අඩංගුවට ගන්නා ලද්දේ උද්ඝෝෂණය අවසන්ව විසිර යමින් සිටියදීය. පොලිසිය දුම්රිය ස්ථානය තුළදී සහ බස් රථ තුළදී උද්ඝෝෂණය අවසන්කර නිවෙස් බලා යමින් සිටි අයද අත්අඩංගුවට ගනු දක්නට ලැබිණි.

ආණ්ඩුවේ අරමුණ වී ඇත්තේ ජනතාවගේ විරෝධය දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දරුණු ලෙස මර්දනය කිරීමයි.

තම කොන්දේසි හරහා ජනතාව පීඩාවට පත්වීම මෙන්ම මේ ආකාරයට රනිල් – රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදුකරන ජනතා අයිතීන් මර්දනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිදු අවදානයක් ලබා නොදෙන බව පැහැදිලිය.

 

 

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...