Breaking News

පාස්කු ප්‍රහාරය – වසර 3ට පසුත් යුක්තිය ඉටුවී නෑ

2019 වසරේ අප්‍රේල් 21දා ලංකා ඉතිහාසයේ අඳුරු දිනයක් ලෙස සටහන් වී තිබේ.

එදිනට යෙදුනු පාස්කු ඉරුදින කුඩා දරුවන් ද ඇතුළු පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්කරමින් 500ට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුකරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ප්‍රහාරයට වසර තුනක් ගතවන මේ අවස්ථාවේ දී ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉෂ්ඨ වී ඇද්ද, ප්‍රහාරය පිළිබඳ කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත. එසේම මෙම ප්‍රහාරය පිටුපස සිටියේ කවුරුන්ද යන්න ගැනද සැක සංකා පහළ වී තිබේ. පවතින රජය පාස්කු ප්‍රහාරය පිළිබඳ දැනුවත්ව සිටියේ ය යන්න දැන් දැන් සමාජයෙන් මතුවන සැකයකි.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය.

එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා විය.

ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්විය. තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් අටදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර, ඔවුන් ජාතික තව්හීද් ජමාත් නම් සංවිධානයට සම්බන්ධව සිටියවුන් විය.

නිදොස් කොට නිදහස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පසුගිය පෙබරවාරි 18 වැනිදා නිදොස්කොට නිදහස් කෙරුනි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැරීම ඇතුළු අධි චෝදනා 855ක් යටතේ නීතිපතිවරයා පවරා තිබුණු මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදහස් කෙරුනේ විත්තියේ සාක්ෂි කැඳවීමකින් ද තොරව ය.

2019 ජුනි 6 දා පැවැත්වුණු, පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා පිළිගෙන තිබුණේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් තමන්ට ද කල්තියා තොරතුරු ලැබී තිබුණු බව යි.

නමුත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම්දීමට ක්‍රියා නොකළේ එවක ජනාධිපතිවරයා සියලු බුද්ධි තොරතුරු සෘජුවම ලබා ගන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ගෙන්යැ යි තමන් දැනුවත් වී සිටි නිසා බව ඔහු පැවසීය.

මේ අනුව යහපාලන රජයේ ජනාධිපති අගමැති සිට සියලු දෙනාද මේ ප්‍රහාරයට වගකිව යුතුව් ඇත. එසේම එම දිනවල පක්ෂ විපක්ෂ සෑම දේශපාලනඥයෙක්ම පලකළ අදහස්වලින් පෙනී ගියේ මෙම ප්‍රහාරය ගැන ඔවුන් දැනසිටි බවයි. නමුත් අහිංසක ජනතාව ඉන් බේරාගැනීම සඳහා කිසිදු පියවරක් ගෙන නොතිබුණි.

leave a reply