තවත් 09 වෙනිදාවක් පැමිණ තිබේ. ලංකාවේ ඉතිහාසයේ පළමුවරට සිදුවූ මහජන නැගිටීමේ උච්ඡතම අවස්ථාවක් වූ ජූලි 09 වෙනිදායින් පසුව මාස 2ක් ගතව තිබේ.
ජූලි 09වෙනිදා සිට සැප්තැම්බර් 09වනදා දක්වා මාස 2 තුළ දේශපාලන ලෝකයේ බොහෝ දේ සිදුව ඇත. මේ මාස දෙක තුළ ඇතැම් පිරිස් පවසමින් සිටියේ තවදුරටත් අරගලයෙන් තේරුමක් නොමැති බවත් රනිල්ට රට හැදීමට අවස්ථාව දිය යුතු බවත්ය. ප්‍රසිද්ධියේ නොකීවත් බොහෝ පිරිසක් මේ මිථ්‍යාව විශ්වාස කර ඇති බව දක්නට ලැබුණි.
රනිල්ගේ රට හැදීමේ ක්‍රියාවලියේ අලුත්ම සිදුවීම වූවේ රාජ්‍ය ඇමතිවරු 37ක් පත්කිරීමයි. එම රාජ්‍ය ඇමතිවරු අතර මැයි 09 ප්‍රහාරයට වගකිවයුතු සනත් නිශාන්ත, 2018 වසරේ පාර්ලිමේන්තුවේ කළහකාරී ලෙස හැසිරුණු අරුන්දික ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණවීර, බීමතින් බන්ධනාගාරයට ඇතුළුවී සිරකරුවන්ට තර්ජනය කළ ලොහාන් රත්වත්තේ, රාජපක්ෂ පවුලේ ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාසලකට බලෙන් ඇතුළුවී ගුරුවරියක් දණ ගැස්සූ චාමර සම්පත් දසනායක, මඩකලපු දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් වැනි අය සිටියි. අනෙක් රාජ්‍ය ඇමතිවරු ගත්තද විවිධ චෝදනා එල්ලවුවන් වන අතරම රාජපක්ෂ කල්ලියට රට විනාශ කිරීමට උඩගෙඩි දුන් පිරිස් වේ. අරගලයේදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළවුන් වේ.
ඒ අතර අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක් වූ රංගන ශිල්පී දමිතා අබේරත්න සිරගත් කර තිබේ. අරගලයේ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටුකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත ඇතුළු සිසු ක්‍රියාකාරීන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මාස 3කට රැඳවුම් නියෝග නිකුත් කර ඇත. එසේම තවත් බොහොමයක් අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඇත. මේ සියල්ල අරගලය විසින් ඉල්ලූ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි දේවල් වේ.
තවත් අතකින් බඩුමිල අහස උසට නගිමින් ඇත. උද්ධමනය ඉහළ යමින් තිබියදීම පසුගියදා භාණ්ඩ හා සේවා මත පනවා ඇති වැට් බදු ඉහළ දමන ලදී.ඒ අනුව තවදුරටත් භාණ්ඩ හා සේවා මිල තව තවත් ඉහළ යනු ඇත. එසේම මෙරට දරුවන් අතර මන්දපෝෂණය සැළකිය යුතු ආකාරයකින් ඉහළ යමින් තිබෙන බව ජාත්‍යන්තර සංවිධාන පවසයි. විශේෂයෙන් ලෝක ආහාර වැඩසටහන පවසමින් සිටින්නේ ලංකාවේ ජනතාව බහුතරයක් ආහාර වේල් මගහරිමින් සිටින බවයි. නමුත් විපක්ෂය විසින් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වූ අවස්ථාවේ එයට පිළිතුරු දුන් ආණ්ඩුවේ ඇමතිවරු එයට වැඩපිළිවෙලක් තබා එය පිළිගැනීමත් ප්‍රතික්ෂේප කරමින් කතා කරනු දැකිය හැකිවිය. ඉන්ධන ප්‍රශ්නය විසඳීම ගත්තද දැනට ආණ්ඩුව කරමින් සිටින්නේ ඉන්ධන ලබාදීම සීමා කරමින් තෙල් කළමනාකරණය කිරීම පමණි. එසේම දැන් ජනතාවට ඉන්ධන තිබුනත් මිලදී ගැනීමට හැකියවක් නැතිව ඇත්තේ ඉන්ධන මිල අධිකව වැඩිවීම නිසයි. භූමිතෙල් මිල රුපියල් 253කින් ඉහළ දමා ඇත. මෙය කුඩා පරිමාණ ධීවර කර්මාන්තයට මරු පහරක් වී තිබේ. එසේම තවමත් ගොවීන් මුහුණ දෙමින් සිටින පොහොර ප්‍රශ්නයට ආණ්ඩුවට වැඩපිළවෙලක් නැත. ගොවීන් ඊළඟ කන්නයේ වගා කරන්නේ කෙසේද යන්න ගැන වදවෙමින් සිටියි. ඖෂධ හිඟය විසින් ජනතාව තුළ මරණ බිය ජනිත කර ඇත. පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධවල විශාල හිඟයක් ඇතිව තිබේ. ජනතාව අරගලයේදී ඉල්ලූ සහන ලබාදීම පසෙක තබා තව තවත් සහන කප්පාදු කරමින් සිටියි.
මේ අතර රනිල් වික්‍රමසිංහ ණය ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට ඇප කැපවී සිටියි. ඒ අනුව ඔහු රාජ්‍ය ව්‍යවසාය විකිණීම ගැන කතා කරමින් සිටියි. මේ අතර ටෙලිකොම් සහ රක්ෂණ සමාගම වැනි ලාභ ලබන ආයතන පවා තිබේ. එසේම පසුගිය අයවැය තුළින් අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වැනි සමාජ ආරක්ෂණ සේවා සඳහා ඉතා අඩු මුදලක් වෙන්කර තිබුණි. පොදු ප්‍රවාහනය සඳහා වෙන් කර ඇත්තේ ඉතිහාසයේ වාර්තා වූ අඩුම මුදලයි. අරගලයේදී ජනතාව ඉල්ලා සිටියේ තව තවත් විකිණීම , ණය ගැනීම නවතන ලෙසයි.
මෙන්න මේ ආකාරයට ජූලි 09 වනදා සිට අද දක්වා ගතවූ මාස දෙකක කාලය තුළ ජනතාවගේ බෙල්ලට වැටි ඇති තොන්ඩුව තව තවත් සිරවී තිබේ. දැන් එක්පැත්තකින් අප බොහෝ දෙනෙකුට මිය යනවද සටන් කරනවාද යන දෙකෙන් එකක් තෝරාගැනීමට සිදුව ඇතිබව පෙනේ. අනිත් පැත්තෙන් අරගලය නැවත නැවතත් සාධාරණියකරණය වී ඇත. සැප්තැම්බර් 09වනදා වන අදවැනි දවසක අප අපෙන්ම ඇසිය යුත්තේ රනිල්ට තවත් ඉඩ දිය යුතුද යන්නයි.