Breaking News

ඉන්ධන මිල අභිබවා සූරියකාන්ත තෙල් මිල ඉහළ යයි.

සමන්සිරි හේරත්

අත්‍යවශ්‍ය බඩු කීපයක් ගන්න අද සුපර්මාකට් එකට ගියා…… භාණ්ඩ හා සේවා මිල ඉහළ යන බව 2022 වර්ෂයට අදාළ අයවැයෙන් ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තිබුණා. ජනතාවට දැවැන්ත බරක් පටවමින් ගෑස්, විදුලි, වතුර බිල් 30% කින් ඉහළ දමන්න අයවැයෙන් කටයුතු කළා.

ඔය අතරතුර තමයි රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරන්නේ. රුසියාව හිතුවක්කාරී ලෙස ආරම්භ කරපු මෙම යුද්ධය හේතු කොටගෙන යුරෝපය දැවැන්ත අසීරුතාවයකට පත් වෙනවා. යුද්ධය ඇතුළෙ කලාපීය දේශපාලන බලපොරය මෙන්ම කලාපීය ආර්ථික පොර බැඳීම් ද අන්තර්ගත වී තියෙනවා. රුසියාව යුරෝපා රටවල් වලට ඉන්ධන, ගෑස් මෙන්ම විදුලිය පයන ප්‍රධාන සැපයුම් කරුවෙක් වෙනවා. යුරෝපා සංගම් රටවල් යුක්රේනයට ආධාර උපකාර කිරීම වැළැක්වීම සඳහා රුසියාව තමන්ගේ සැපයුම් පළිහක් ලෙස භාවිතා කරනවා. යුරෝපා ආර්ථිකයට මේ යුද්ධය දැවැන්ත ප්‍රහාරයක් වක්‍රාකාරයෙන් එල්ල කර තිබෙන අතර එය දැන් දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය බඩු කිහිපයක් ගන්න සුපර්මාකට් එකට ගියා….. මාර්කට් එකේදි වුනේ මොකක්ද

යුක්රේනය තමයි ලෝකයේ ප්‍රමුඛතම සූරියකාන්ත වගා කරන්නා. ලෝක සූරියකාන්ත තෙල් අවශ්‍යතාවයෙන් 60 % නිෂ්පාදනය කරන්නේ යුක්රේනය. ලෝක අවශ්‍යතාවයෙන් සියයට හැටක් තෙල් නිෂ්පාදනය කරන යුක්රේනය ඉන් 75% ක්ම අපනයනය කරනු ලබනවා.

ඉතාලියේ එදිනෙදා තෙල් පරිභෝජනයේදී භාවිතයට ගැනෙන්නේ සූරියකාන්ත තෙල්, මෙම සූරියකාන්ත තෙල් අවශ්‍යතාවයෙන් 60 %ක් ඉතාලිය ආනයනය කරනු ලැබුවේ යුක්රේනයෙන්. යුද්ධය ආරම්භ වී සතියක් පමණ ගත වන විට පුරෝකතනය කරනු ලැබූවේ මාර්තු තුන් වන සතිය පමණ වන විට සූරියකාන්ත තෙල් සංචිත අවසන් වන බවයි. මේ හේතුවෙන් දැවැන්ත නිෂ්පාදන කඩාවැටීමක් සිදුවීමට නියමිත බව ද ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා තිබුණා.

එදිනෙදා ගෘහස්ථ පරිභෝජනය මෙන්ම, රසකැවිලි කර්මාන්තය, සංචාරක,හෝටල් කර්මාන්තය ඇතුළු බොහෝ නිෂ්පාදන වලට සූරියකාන්ත තෙල් හිග වීම නිසා ඇතිවන පාඩුව හේතුවෙන් බරපතළ කඩා වැටීමක් ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා. සූරියකාන්ත තෙල් වලට ආදේශකයක් ලෙස ෆාම් ඔයිල් ආදේශ කිරීම ද අපහසු කාර්යයක් වී තිබේ . ඊට මූලික වශයෙන් බලපාන්නේ ෆාම් ඔයිල් භාවිතයට එරෙහිව ඉතාලියේ පවතින ප්‍රබල ජනතා විරෝධයයි.

දැන් යුද්ධයේ බලපෑම ඉතාලි ජන ජිවිතයට සුපර්මාකට් එක ඇතුලෙන් බලපාන්නට පටන් ගෙන තිබේ. සූරියකාන්ත තෙල් මිල 120 % කින් ඉහළ ගොස් තිබේ. සූරියකාන්ත තෙල් ලීටරයක මිල යුරෝ 3.50 ක් පමණ වන අතර මිලදී ගැනීම් සීමා සහිත කර තිබේ. බොහෝ විට ඉදිරි සති කිහිපය ඇතුළත යුද වාතාවරණය සමනය නොවුනොත් ඉතාලිය තුළ සූරියකාන්ත තෙල් ලීටරයක මිල ඔලිව් තෙල් ලීටරයක මිල ට වඩා අධික වනු ඇත.

වර්තමාන ජීවිත ගෝලීයකරණයට ලක්කර තිබෙන වටපිටාවක් යටතේ ලොව කොතැනක හෝ ඇතිවන ගැටුමක් තමන්ට අදාල නැතැයි පවසා පසෙකට වී සැපෙන් සිටිය නොහැක. රුසියානු යුක්රේන ගැටුම මේ තත්ත්වය ඉතා මැනවින් සනාථ කර පැහැදිලි කර දී තිබේ.

ලංකාව වැනි මං කොල්ලකාරී ආර්ථික රටාවන් නඩත්තු කරන රටවල් වලට මෙවැනි ගැටුම් මහා ගිනි ජාලා නිර්මාණය කරනු ලබයි. ජීවිත ගෝලීයකරණයට ලක් වී ඇති තත්ත්වයක් යටතේ තමන්ට අදාල නොවන කිසිදු ගැටුමක් මේ ලෝකය තුළ නොමැති බව දේශපාලනික සතුන් ලෙස අපි තේරුම් ගත යුතුයි.

leave a reply