Breaking News

විල් ස්මිත් සහ එස්.ජයිශංකර්

අප දන්නා ආකාරයට විල් ස්මිත් සහ එස්.ජයිශංකර් යන දෙදෙනා අතර කිසිදු සම්බන්ධයක් නැත. සම්බන්ධයක් තිබේනම් තිබෙන්නේ විල් ස්මිත්ගේ රට වන ඇමරිකාව සහ එස්.ජයිශංකර්ගේ රට වන ඉන්දියාව අතර තිබෙන කිට්ටු දේශපාලනික සම්බන්ධය පමණක් විය යුතුය.

මේ දෙදෙනා අතර සම්බන්ධය පැත්තකින් තැබුවොත් අද දිනයේ සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය බොහොමයක අවධානය යොමුව ඇත්තේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වූ විල් ස්මිත් විසින් තම බිරිදට අපහාසාත්මක විහිළුවක් කළ ක්‍රිස් රොක්හට කනේ පාරක් ගැසීම පිළිබඳවයි.

මේ පහරදීම සාධාරණද? නැද්ද? මෙම සිදුවීම නාට්‍ය පිටපතක් ද නැද්ද යන්න ගැන පවා පිටු ගණන් ලිපි ලියවී තිබෙනු දැකිය හැක.

මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් තෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබුණි. විල් ස්මිත්ගේ සිදුවීමට සාපේක්ෂව ජයිශංකර්ගේ ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් එතරම් ලොකු අවධානයක් යොමුවී තිබුණේ නැත.

ජයිශංකර් මෙරටට පැමිණි අද දිනයේදීම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බවයි.

මේ බව පාර්ශවයන් දෙකක් විසින් අද (28) තහවුරු කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත 70% කින් පහත වැටි ඇති අතර අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය මෙහිදී පවසා තිබේ.

එසේම තවත් පුවතකින් කියවුනේ ඉන්දීය විදේශ ඇමතිවරයා ඉන්දීය තෙල් සමාගමට අයත් ඉන්ධන හලක නිරීක්ෂක චාරිකාවකද නිරත වූ බවයි.

ඉන්දීය තෙල් සමාගමේ මෙරට කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ වන විට පවත්නා ඉන්ධන සැපයුම් තත්ත්වය පිළිබදව ඔහුව දැනුවත් කළ බව සිංහලෙන්ම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසා තිබුණි.

එම ට්වීටර් පණිවිඩය හරහා ඔහු සදහන් කර ඇත්තේ ඉන්ධන වෙනුවෙන් ඉන්දියාව මීට පෙර ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය සහයෝගීතාවය ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතයට උපකාරී වනු ඇති බවයි.

එසේම පසුගියදා ඉන්දීය තෙල් සමාගම විසින් මාසයක කාලයක් තුළ දෙවැනි අවස්ථාවටත් පෙට්‍රල් මිල ඉහළ දැමූ බව මෙහිදී මතක් කරගත යුතුය.

මන්ද තෙල් මිල වැඩිකරන වැඩිකරන ගානේ අපේ සාක්කු තව තවත් හිස් වෙනු ඇත. එසේම ඉතා ආදරයෙන් ලබාදෙන මේ ණය ගෙවීමට සිදුවන්නේ මහජනතාව වන අපට වේ.

එසේම මේ ණයවල හිලව්වට අපේ රටේ ජාතික සම්පත් ඉන්දියාවට විකිණීමට අපට සිදුවනු ඇත. මේ අනුව බලන කල විල් ස්මිත් විසින් ක්‍රිස් රොක්ගේ කනට ගසන සිදුවීමට වඩා එස්. ජයිශංකර් මෙරටට පැමිණ පෙට්‍රල් ෂෙඩ් ගානේ යාම ගැන නැවත නැවතත් සිතා බැලීම මොලයට ලාභයක් වනු ඇත.

leave a reply