ශ්‍රී ලංකාව මේ වන විට වෛද්‍ය විශේෂඥයින්ගේ දැවැන්ත හිඟයකට මුහුණ දෙමින් සිටින අතර මේ හරහා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බව වාර්තා වේ.
ඩේලි මිරර් පුවත්පත වාර්තාවකින් පවසන්නේ සැලකිය යුතු වෛද්‍ය විශේෂඥයින් සංඛ්‍යාවක් පිටරටවල් වෙත සංක්‍රමණය වීමත් , සමහර විශේෂඥයින් විදේශ විශ්වවිද්‍යාලවල රැකියා සඳහා යාමත් විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට මෙම අනතුර එල්ල වී ඇති බවයි. මේ අතර, මෑතකදී සංශෝධිත වෛද්‍යවරුන්ගේ වයස අවුරුදු 60 න් විශ්‍රාම යැවීමද මෙම ප්‍රශ්නයට හේතු වී තිබේ.
සාමාන්‍ය ජනතාවට අඛණ්ඩ වෛද්‍ය සේවාවන් සහතික කිරීම සඳහා වසර 2024 වන විට වෛද්‍ය විශේෂඥයින් 4,299ක් රටට අවශ්‍ය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඇස්තමේන්තු කර ඇත. ස්ථාන මාරුවීම් ලැයිස්තුවට අනුව මේ වසර වන විට හෘද රෝග, ක්ෂුද්‍ර ජීව විද්‍යා, චර්ම රෝග, හදිසි වෛද්‍ය, නිර්වින්දන, ව්‍යාධි වෛද්‍ය ඇතුළු පුරප්පාඩු 750ක් කඩිනමින් පිරවීමට ඇත. බලධාරීන් වහා ක්‍රියාත්මක වීමට අපොහොසත් වුවහොත් ලබන වසර වන විට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 1000 ඉක්මවිය හැකි බවට ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දිගු කලක් තිස්සේ අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දැනට සිටින්නේ විශේෂඥයින් 2,007ක් පමණ වන අතර, බොහෝ ප්‍රවීණයන් පවසන්නේ එම සංඛ්‍යාව සාමාන්‍ය ජනතාවගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවයි. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, වෛද්‍ය ගෝඨාභය රණසිංහ, වෛද්‍ය ආනන්ද ළමාහේවගේ වැනි ප්‍රවීණයන් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන් 300ක් පමණ මේ වසර අවසන් වන විට විශ්‍රාම ගැන්වීමට නියමිතයි.
මේ අතර හෘද ශල්‍ය වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් 9 දෙනෙකුම සේවය හැරයාමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් මෙරට හෘද සැත්කම් ඒකක කිහිපයක් වසා දැමීමේ අවදානමක් මතුව තිබේ. හෘද සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ සිටින දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක් කරමින් කොළඹ, ගාල්ල සහ යාපනයේ විශේෂිත ඒකක කිහිපයක් මේවාට ඇතුළත් වේ. වෛද්‍ය විශේෂඥයින් 375 දෙනෙකු වෘත්තීය හෝ පෞද්ගලික හේතූන් මත පිටරටවල් වෙත සංක්‍රමණය වී තිබේ.
තවද, ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම අඛණ්ඩව ප්‍රමාද කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට චෝදනා එල්ල වේ.
මේ තත්ත්වය යටතේ වයස අවුරුදු 63 ඉක්ම වූ විශේෂඥ වෛද්‍යවරුන් 50 දෙනෙකුගෙන් පමණ තාවකාලික කොන්ත්‍රාත් පදනම මත තවදුරටත් සේවය කරන ලෙස බලධාරීන් විසින් වාචිකව ඉල්ලා ඇත.
වෛද්‍යවරුන් පිටරටවල් වෙත සංක්‍රමණය වීම සඳහා බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබෙන්නේ ආණ්ඩුව ආර්ථික අර්බුදය සහ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක ලක්ෂයට වැඩි වෘත්තිකයන්ගෙන් බදු අයකිරීමේ ක්‍රියාවලියයි. ඊට අමතරව සෞඛ්‍ය සේවය පෞද්ගලිකරණය කිරීමේ ක්‍රියාවලිය අනුව යමින් සෞඛ්‍ය සේවය කෙරෙහි අඩු සැලකිල්ලක් දැක්වීමද මිට ඇතුළත් වේ. එහිදී සියලු රාජ්‍ය සේවය හැකිලීමේ අරමුණින් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින රාජ්ය සේවකයන්ට වසර 05ක නිවාඩු ලබාදීමේ ක්‍රියාවලියද සෞඛ්‍ය වෘත්තිකයන් රට හැරයාමට හේතු වී ඇත.