Breaking News

වනාන්තර කපා ⁣දමමින් “ස” ඉටු කරන්නේ මස් රාත්තල ඉල්ලු ජනතාවට එය ලබා දීමයි.

රවීන්ද්‍ර කාරියවසම්

 

ලංකාවේ පරිසර සංරක්ෂණය පිළිබඳ අදහස සහ ඒ වෙනුවෙන් වූ ආයතන මෙහෙය වෙන්නේ 1970 වර්ෂයේ පටන්ය. ඒ සියලුම ආයතන හා එම ආයතන ක්‍රියාත්මක කරවූ අයට තිබුණේ සිංහල බෞද්ධ පදනම මූලික කොට පරිසරය ආරක්ෂා කරගැනීම පිළිබඳ උනන්දුවකි . මෙම පරිසර ක්ෂෙත්‍රය උත්කර්ෂවත් අතට හැරෙමින් තිබියදී සිහල උරුමය පරිසර ක්ෂේත්‍රයේ විවිධ ස්ථාන හයිජැක් කරනු ලැබුවේය .

අතුරලියේ රතන හිමි උදය ගම්මන්පිල චම්පික රණවක මෙහි ප්‍රධානීන් වූ අතර ලංකාවේ පරිසර ක්ෂෙත්‍රයේ අදහස සිංහල බෞද්ධ පදනමක් බවට පත් කිරීමට ඔවුන් බොහෝ වෙහෙස දරා කටයුතු කරන ලදී .නමුත් ඒ තුළ තිබුණේ සිංහල ජාතිය සහ බෞද්ධ ආගම පදනම් කරගත් පරිසර සංරක්ෂණ ව්‍යාපාර බිහි කිරීම සහ ඒ අනුව සකස් කරගත් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ අදහසයි .මෙම ව්‍යාපාරයට ලංකාවේ ස්වාධීනව සේවය කළ පරිසරවේදීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසකගේ දායකත්වය ලැබී තිබිණි .

මූලික පදනමක් වශයෙන් ජාතිය පදනම් කරගත් පරිසර ව්‍යාපාරයක් බිහි කිරීමේ අවශ්‍යතාවය මත ජාතිවාදී පරිසරවේදීන් නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යය බවට පත්විය .එක්දහස් නවසිය හැත්තෑ ගණන් වලින් පසුව නිර්මාණය වූ පරිසර සංවිධානත්,ව්‍යාපෘති වෙනුවෙන් නිර්මාණය වූ පරිසර සංවිධානත් ලංකාවේ පරිසර ව්‍යාපාර ලෙස පෙනී සිටින ලදී.

මෙයට අමතරව ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ පදනම් කරගෙන රටක ස්වභාවික සම්පත් පිළිබඳ යම් අදහසක් ඔවුන්ගේ සාමාජිකයන් තුළ වපුරා තිබිණි .

ඔය කියන කාණ්ඩ තුනට අමතරව සිටිය ලංකාවේ පර්යේෂණ ක්ෂේත්‍ර නියෝජනය කරන පර්යේෂකයන්ය.ඔවුන්ගෙන් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලැබුණු දායකත්වය යම්තාක් දුරකට එදා මෙදා තුර ද ඇගයිය යුතුය .හෙළ උරුමය සිංහල බෞද්ධ පදනමකින් පරිසර සංරක්ෂණයට අවතීරණය වූ අතර ,එය අවසන් වූයේ මුස්ලිම් හෝ දමිල දමිළ ජාතිවාදී විරෝධයකිනි.මෙයට අමතරව විදේශ රටවල් සමඟ ගනුදෙනු කරමින් ලංකාවේ බිහිවූ පරිසර රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් ව්‍යාපෘති පදනම් වූ රාජ්‍ය නොවන සංවිධාන වූ අතර ,එවැනි සංවිධානවලින් රට තුළ දේශපාලනික සහ පරිසර හිතකාමී මිනිසුන් නිර්මාණය කිරීමත් වෙනුවට ඒ ඒ මොහොතේ ඇතිවන ගැටලුවලට සංශෝධන ලෙස පිළිතුරු සෙවීමටත් ව්‍යාපෘති වලට ආධාර කරන අයගේ අවශ්‍යතා මත තමන් කුමක් හෝ ව්‍යාපෘතියක් කිරීමටත් පෙළඹී තිබිණි .

ඉහත කියන සිංහල බෞද්ධ පදනමෙන් හෝ ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන මගින් පරිසර ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය පදනම ගොඩ නැගුනේ නැත . මේ කණ්ඩායම් දෙකම විශේෂයෙන්ම ඒ ඒ ආණ්ඩු බලයට පත් කිරීම වෙනුවෙන් යම්කිසි කාර්යභාරයක් සිදු කළ සංවිධාන වූ අතර එසේ නොවුණොත් පුද්ගලයින් කිහිප දෙනෙක් තම තම ස්වාධීන වැඩ කටයුතු කර ගෙන යනු ලැබිණි .නමුත් මේ කිසිදු ව්‍යාපාරයක් තුළින් පරිසරය සම්බන්ධ ජීවන භාවිතාවක් ඇති පිරිසක් නිර්මාණය කිරීමට ගෙන තිබුණේ ඉතාමත් අල්ප උත්සාහයන් පමණි .ඇතැම් විට පරිසරය සංරක්ෂණයේ යෙදී සිටියද දේශපාලන වශයෙන් බොහෝ දෙනකුට තිබුණේ ඉතාමත් දේශපාලනික නොවුණු අදහසකි .එම නිසා මේ සියලු කරුණු සහ තවත් නො ලියූ කරුණු රාශියක් ලංකාවේ පරිසර ව්‍යාපාරයක් නිර්මාණය වීමට තිබූ ඉඩකඩ බොහෝමයක් අවම කර තිබේ .එම නිසා ඒ සංවිධානවලට හෝ ලංකා ජනතාවට පරිසරය පිළිබඳ ජීවන භාවිතාවක් නොමැති අතර හුදකලාවට හෝ පාර්ටි ටයිමි පරිසරය රකින පිරිසක් රට තුල මෙිවනවිට ඉතිරිව ඇත.ඒ බොහෝ දෙනාට පරිසරය සහ දේශපාලනය ජීවන දර්ශනය පිලිබදව කතිකාවක් නොමැති තරම්ය .

වනාන්තර හෙක්ටයාර ලක්ෂ පහක් භාවිතයට ගැනීමට ගෝඨාභය රාජපක්ෂ තීරණය ගන්නේ ජනතා කැමැත්ත අනුවය. ඉදිරියේදී මුහුන පෑමට සිදුවන අනතුර අඳුනා ගැනීමට බැරි ජනතාවක් මගින් පත් කළ නායකයෙක් තමන්ගේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරමින් සිටි.. .ගෝඨාභය ඇත්තටම මේ ඉටු කරන්නේ ජනතාවගේ අවශ්‍යතාවයයි.ඒ අනුව ජනතාව ඒ සඳහා අවශ්‍ය බලය ද ඔහුට ලබා දී ඇත .ජීවන භාවිතාවක් නොමැති ජනතාව කිසිදු විටෙක ජීවන භාවිතාවක් ඇති පාලකයෙක් පත් කර ගන්නේ නැත.තක්කඩියෙක් බලයට ගෙන සාන්තුවරයෙකුගේ ක්‍රියාව අපට බලාපොරොත්තු විය නොහැක .ඒ අනුව මේ ඉටුවෙමින් ඉටුවෙමින් තියෙන්නෙ ජනතා අපේක්ෂාවයි . දැන් අප කුමක් කළ යුතුද .මධ්‍යම පරිසර අධිකාරය අවම වශයෙන් හයදාහක් වත් පරිසර සංවිධාන ලියාපදිංචි වී ඇති අතර එම සංවිධාන මගින් එක ජීවන භාවිතාවක් ඇති මිනිසෙක් හැදුවා නම් හෙට දවසේ මේ මහා විනාශයට විරුද්ධව හයදාහක් පහරට බැසීමට සිටිනු ඇත .නමුත් එය එසේ සිදු වී නොමැත .එසේනම් අපට කළ යුතුව ඇත්තේ කාරණා දෙකකි .ඒත් පරිසරය සහ දේශපාලනය පිළිබඳ ජීවන භාවිතාවක් ඇති මිනිසුන් නිර්මාණය කිරීමට අවැසි අවකාශයක් සාදා ගැනීම සහ විටින් විට මතු වෙන පරිසර ගැටළු වෙනුවෙන් පෙනී සිටීමට ය .මේ සියලු කාරණා අපට විවාද කර ගැසීමට ගැනීමට හැකිය .ඒ හෙට දවසේ දේශපාලනිකව පරිසර ගැටලුව දිහා බලන ජනතාවක් නිර්මාණය කිරීම වෙනුවෙනුත් ඒ සඳහා වන පෙරමුණක් නිර්මාණය කිරීම වෙනුවෙනුත්ය….

leave a reply