අමුතු දොස්තර අවසාන වුණා. අලුත් අත්දැකීමකට මුල පුරමින් ආරම්භ වුණු අමුතු දොස්තර අලුතෙන් පත්වුණු ආණ්ඩුවේ වැඩපිළිවෙලට සමපාත වෙමින් ඇදී ගිය අමුතු දොස්තර අවසාන උනේ අමුතුම විදිහකට.
අමුතු දොස්තර අවසාන වීම හදිසි අවසානයක් කරා ගමන් කළ බව ප්‍රේක්ෂකයාට අවසාන එපිසෝදියෝ එකේදී දැනුනත් අමුතු දොස්තර අවසාන උන බව පිළිනොගත් ප්‍රේක්ෂකයෝ හිටියා . එනිසා සමහර ප්‍රේක්ෂකයෝ අමුතු දොස්තර බලන්න පසුදාත් බලන් හිටියා . ඒත් අමුතු දොස්තර මල් වෑන් එකෙ යන්න ගිහින් .
අමුතු දොස්තර ආරම්භ වන්නේ වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීමේ කාලසීමාව තුළ වීම සහ වංචාවෙන් දූෂණයෙන් පිරුණු ගරා වැටුණු කලපුව රෝහල තුළ එතෙක් සේවය කළ බහුතරයකට චාපා දොස්තර මහත්තයා හිසරදයක් වුවද ඔහුගේ අමුතු වැඩ ජරා තිප්පලක් වූ කලපුව රෝහල හිමීට හිමීට පණ ගසමින් රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පරිවර්තනය වෙද්දී මේ සිදුවීම ප්‍රේක්ෂකයා සමාන කර බලන්නට වූවේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සමඟයි. ආණ්ඩුව කෙරෙහි තැබූ බලාපොරොත්තුව සමඟයි.
මේ සැසඳීම සර්ව සාධාරණ නොවූවත් අමුතු දොස්තරගේ ආරම්භය සහ අනුර කුමාර පාර්ශ්වයේ රාජ්‍ය පාලනය ආරම්භය එකම කාලයක සිදුවීම තුළින් අනුරලා රට හමුවේ තබපු බලාපොරොත්තුව ජනගත කිරීම සඳහා මතවාදීමය තල්ලුවක් ලබාදීමට අමුතු දොස්තර ක්‍රියාත්මක වෙන බව ඇතැම් ප්‍රේක්ෂකයෙක්ට සිතෙන්නට විය .
චාපා දොස්තර මහත්තයා කලපුව රෝහලට යන විට එම ස්ථානය සකලවිධ දූෂණයන්ගේ ලැගුම් තිප්පලකි. දූෂිතයන්ගේ කනස්සල්ලද විරෝධයද කුමන්ත්‍රණද මධ්‍යයේ අමුතු දොස්තර නෝනා කෙනෙකුද පැමිණ ජන සෙත උදෙසා කලපුව රෝහල නිර්මාණය කරන්නට යන අමුතු දොස්තරට උදව් වෙන්නට පටන් ගැනීම බලාගෙන සිටිය උන් දුටුවේ අමුතුම වැඩක් හැටියටයි.
කලපුව රෝහලේ සිටි දූෂිතයන් එකිනෙකාව වැඩි ශබ්දයක් නැතිව ඉන් ඉවත් කරන විට සහ පියවරෙන් පියවර රෝහල ගොඩනඟන විට රෝගීන්ට හිතකර තැනක් බවට රෝහල පරිවර්තනය වන විට බලාගෙන සිටිය උන් සංසන්දනය කළේ අලුත් ආණ්ඩුවේ වැඩ පිළිවෙලත් මේ තරම්ම වේද යන්නයි.
එහෙත් එක පෑන් පාරෙන් හාල් මාපියාව මට්ටු කරන්නට ආ අනුර කුමාර දිසානායක රුපියල් දහයකින් මහමෝල් හිමියන්ගේ ලාභය වර්ධනය කර සහල් අර්බුදය සමනය කිරීමට පිටරටින් හාල් ගෙන්වන්න යෝජනා කරද්දි බලාපොරොත්තු බිඳ වැටුනේ ඒ දෙස බලාගෙන හිටපු උන්ගේය .
නාට්‍ය ආරම්භයේම චාපා දොස්තර මහත්තයාගේ කම්මුලට ගහපු නැන්දනිය චෝදනා කළේ දෙමව්පියන් මරා ගත්තා යැයි පවසමින්ය. චාපා දොස්තර මහත්තයා අසාධාරණයට ලක් වූ කෙනෙකුට සාධාරණය ඉෂ්ට කරන්නට අර අඳින බව අපට වැටහුණි. එහෙත් ඒ හේතුවම මුල් කරගෙන ජීවිත ගණනාවක් අහිමි වී ඇති බවද අපට වැටහුණේ.
අමුතු දොස්තර මහත්තයා සමාජයට ආදරය කරන්නෙකු වුවද තමන් ගොඩනගන්නට සූදානම් වන හොඳම පරිසරය ගොඩනඟනවාට එරෙහිව ගොඩනැගී ඇති දුෂ්ට බලවේගය තමන්ට වඩා තවමත් ශක්තිමත් බව අමුතු දොස්තර මහත්තයා තේරුම් නොගෙන සිටියේය .
මුලින්ම ක්ලීන් කළ යුතු තැන ක්ලීන් නොකර වැඩේ මැදදී ක්ලීන් කළ යුතු තැන මුලින්ම ක්ලීන් කරන්නට යෑමෙන් සිද්ධවන ඛේදවාචකයේ පීඩිතයා බවට අවසානයේ ඔහු පත්ව නික්ම යද්දී අමුතු දොස්තර මහත්තයා දැකගන්නට සිටියේ නැත.
අමුතු දොස්තර නික්ම යන්නේ අත ගහපු ගහපු වැඩේ අසාර්ථක කරගත්, පෙන්වනු ලැබූ ස්වරූපය වෙනස් කරගත්, තමන් සතු ලිපි ගොණුව තවත් තැනක සඟවන්නට යන්නෙකු ලෙසය .