Breaking News

අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලුම ප්‍රවණතාවයන්ගේ ආරම්භය 70 දශකය

“අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලුම ප්‍රවණතාවයන්ගේ ආරම්භය 70 දශකය තුළ සිද්ධ වුණා” – ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න නූතන පරම්පරාවේ කැපී පෙනෙන කවියෙකි. ඔහු රචනා කළ ’70 දශකයේ සිංහල කවිය’ නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනවාරි 26 වන දින කන්තලේ දී සහෘදගත වන්නට නියමිත ය. මතු දැක්වෙන්නේ ඒ නිමිති කරගෙන  (ලංකා ROSE අතිරේකයේ උපුටා ගත්තකි )  අප ඔහු සමඟ කළ සංවාදයකි.

#. ’70 දශකයේ සිංහල කවිය’ කෘතියක් ලෙස බිහිවෙන්න පසුබිම් වූ කාරණා මොනවද කියල මුලින්ම දැනගන්න කැමතියි?

පශ්චාත් උපාධි පර්යේෂණයට මං තෝරගත්තෙ මේ මාතෘකාව.අවුරුදු හතරක් විතර මේ මාතෘකාව එක්ක වැඩ කරනකොට මට තේරිච්ච දේ තමයි මං හිතුවටත් වඩා මේ දශකය සිංහල කවිය සම්බන්ධයෙන් තීරණාත්මක යි කියන එක.ඒක නිසා උපාධි නිබන්ධනය කරන කාලෙ ඉඳල ම මට මේක පොතක් විදියට පළ කරන අවශ්‍යතාවය තිබ්බා.මගේ උපදේශක මහාචාර්යවරයා වෙච්ච ජිනදාස දනන්සූරියත් උපාධි නිබන්දනය අවසන් කළ කාලෙ ඉඳල ම මේක පොතක් විදියට පළ කරන්න කියලා සෑහෙන බලපෑමක් කළා.පර්යේෂණයට උදව් ඉල්ලන්න 70 දශකයේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙච්ච ලොකු කවියෙකුට කතා කරා ම “ඔයාලා වගේ ටියුෂන්කාරයන්ට මේ වගේ ලොකු වැඩ කරන්න බෑ.පුළුවන් වැඩක් කරන්න” කියලත් කිව්වා.ඒකත් සෑහෙන උත්තේජනයක් වුණා.ඒ කවියාටත් ස්තුති කරන්න මේ අවස්ථාව යොදා ගන්න කැමතියි.බුද්ධදාස ගලප්පත්ති,බර්ටි බී. කුඩාහෙට්ටි කියන කවීන්ගෙන් ලොකු උදව් ලැබුණා.දිලිප් කුමාර ලියනගේ මේ හැම අකුරක් පිටිපස්සෙ ම හිටියා.දනන්සූරිය සර් ගැන ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

#. 70 කවිය ගැන දැන් අපි ඔබෙන් මොකුත් අහන්නෙ නෑ. නමුත් 70න් එපිට සිංහල කවිය ගැන ඔබේ තක්සේරුව දැනගන්න අපිට අවශ්‍යයි?

70න් එපිට කිව්ව ම පරාසය ගොඩක් ලොකු යි.ඒක නිසා මං පැරණි යුගයට යන්නෙ නැතුව නූතන යුගයෙන් පටන් ගන්නම්.70ට කලින් යුගයේ මං දකින තීරණාත්මක මැදිහත් වීම් දෙක වෙන්නෙ විමලරත්න කුමාරගම යි සිරි ගුනසිංහ යි.ඊට පිටිපස්සෙන් ඉන්නවා ජී.බී. යි ගුණදාස අමරසේකර යි.ඇත්තට ම 70 දශකයේ සිංහල කවිය බිහි වෙන්නෙ මේ හතර දෙනාගෙ මැදිහත් වීම්වල ප්‍රතිඵලයක් විදියට.කවියේ අන්තර්ගතය සහ ස්වරූපය සම්බන්ධයෙන් මේ හතර දෙනා සිදු කළ විප්ලවය නො වෙන්න අද දවසේ සිංහල කවිය පවා මේ තත්ත්වයේ නො තිබෙන්න ඉඩ තිබ්බා.

#. 70න් මෙපිට කවියත්, නූතන සිංහල කවියෙ ස්ථානගත වීමත් ගැන ඔබේ අදහස කොහොමද?

ලංකාවෙ බොහෝ ක්ෂේත්‍රවල දකින්න ලැබෙන්නෙ කඩා වැටීම්නෙ.ඒ වුණාට සිංහල කවිය මං දකින්නෙ ඒ අතරෙ දියුණවට පත් වෙච්ච ක්ෂේත්‍ර කිහිපයෙන් එකක් විදියට.අපිට මේ වෙනකොට ඉන්නවා මහා කවීන් විදියට හඳුන්වන්න පුළුවන් කවීන් පස් දෙනෙක්.ඒ, පරාක්‍රම කොඩිතුවක්කු,එරික් ඉලයප්ආරච්චි,ආරියවංශ රණවීර,නන්දන වීරසිංහ,ලාල් හෑගොඩ.ඊට පිටිපස්සෙන් ඉන්නවා අනාගතේ ඒ මට්ටමට එන්න ඉඩ තියෙන තරුණ කවීන් කීප දෙනෙක් ම.ඒක නිසා අනාගත සිංහල කවිය ගැන නම් ඒ තරම් බියක් තියා ගන්න ඕන නෑ.හැබැයි ඉතිං දැං අපි ජීවත් වෙන්නෙ අනාගතය ගැන හිතන්න පුළුවන් රටක නම් නෙවෙයි කියලත් ඒ එක්ක ම කියන්න වෙනවා.

#. ‘කිසිවක් සිදු නොවන සියවස් තිබේ, එසේම සියල්ල සිදුවන දශක තිබේ’ යනුවෙන් ඔබ ලෙනින් උපුටා දක්වනවා. ඒ සමඟ ම ඔබ රණවීර, නන්දන සහ හෑගොඩ නම් එතැනට ඈඳා දක්වනවා. මේ නිශ්චිත කාරණාව ගැන මේ මොහොතෙ තව යමක් කියන්න කැමතිද?

අද දවසේ සිංහල කවියෙන් දෘශ්‍යමාන වෙන සියලු ම ප්‍රවණතාවයන්ගෙ ආරම්භය 70 දශකය තුළ සිද්ධ වුණා.ඒ දශකයේ අලුතින් ම කවි ලියන්න සම්බන්ධ වෙච්ච කණ්ඩායම බැලුවත් ඔබට තේරේවි එතන තියෙන බරපතළකම.පරාක්‍රම,මොනිකා,ගලප්පත්ති,රත්න ශ්‍රී,බර්ටි බී.,ධර්මසිරි රාජපක්ෂ,එරික් ඒ අතරින් ප්‍රධාන යි.ආරියවංශ,නන්දන,ලාල් කියන කවීන් තුන් දෙනා ඊට පස්සෙ දශකවල සිංහල කවියට ලබා දුන්න සම්ප්‍රදානයන් ටිකත් 70 දශකයේ ම ලැබුණා නම් 70 දශකය සර්ව සම්පූර්ණ යි කියලා කියන්න තිබ්බා.ඒ තරම් දේවල් 70 දශකයේ වෙලා තියෙනවා.

#. ඔබ නූතන පරම්පරාවෙ කැපී පෙනෙන කවියෙක්. කවිය, සාහිත්‍යය, විචාරය, ශාස්ත්‍රීය අධ්‍යනය ආදී පරාස ඇතුළෙ එකෙළ මෙකෙළ වීම ඔබට අනුව කොහොම අද්දැකීමක්ද?

මං ගොඩක් කැමති වර්තමානයේ මගේ ගුරුවරයා කියන භූමිකාවට.මොකද, මට හම්බ වෙනවා අද දවසේ ම මාව තේරෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්.මං දන්නවා ඒගොල්ලො මාව රසවිඳිනවා.කවියෙක් විදියට අද දවසේ මට හම්බ වෙලා නෑ මං හොයන සහෘදයාව.ඒක නිසා මං ලියන්නෙ හෙට වෙනුවෙන්.හෙට උපදින්න ඉන්න මගේ ආදර්ශ පාඨකයා වෙනුවෙන්.මට ඕන අනාගතයේ කවියෙක් වෙන්න.

#. පොත දොරට වඩින උත්සවයක් පැවැත්වෙන බව දැනගන්නට ලැබුණා. ඒ ගැනත්, වැඩේ සිද්ධ වෙන විදිය ගැනත් යමක් කියල අපි දැනට මෙතැනින් මේ සංවාදය ඉවර කරමු?

ජනවාරි 26 වෙනි දා කන්තලේ දි මේ පොත ජනගත කරනවා.”70 වෙත යළි හැරීම නොස්ටැල්ජික් ද ?” කියන මාතෘකාව යටතෙ එදාට කතා කරනවා විදර්ශන කන්නංගර,මහේෂ් කුමාර,රෝහණ පොතුලියද්ද කියන මගේ මිතුරන්.සභාව මෙහෙයවනවා දිලිප් කුමාර ලියනගේ කියන මගේ ගුරුවර යා.ඒ විදියට තමයි මං මගේ 2021 ඒලෙවල් බැජ් එකේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සමු දෙන්න හිතාගෙන ඉන්නෙ.

සංවාදය – කසුන් සමරතුංග

leave a reply