අද දවසේ සිංහල බෞද්ධ ලාංකිකයා ගත කරන ජීවිතය සින්දුවකින් කියන්නෙ කොහොමද? අපිට හිතෙන්නෙ ඒක මේ වෙලාවෙ කරන්න බැරි, එහෙම නැත්නම් කරන්න අමාරුම වැඩවලින් එකක්. කුමාර හෙට්ටිආරච්චි, ඒ බැරි වැඬේ කරන්න බර උත්සාහයක් දීලා තියෙනවා කියලා තමයි අපට මුලින්ම මේ සින්දුව ගැන කියන්න තියෙන්නෙ.
හෙට්ටිආරච්චි ඒ වැඩේ කරන්න පාවිච්චි කරන්නෙ සිංහල ජනකතා, ප‍්‍රස්ථාව පිරුළු වගේ ජාතික සංකේත ටිකක්. හැබැයි ජාතික උපමා කතාවලට නව අර්ථකථන ලබා දෙන ලාබ සිල්ලර වැඩේ නෙවෙයි ගීත රචකයා මේ කරන්නෙ. ඒ වෙනුවට ගීත රචකයා අපට පෙන්වන්නෙ සන්නිවේදන අවශ්‍යතා විතරක් ඉටු කරගන්න තියෙන භාෂාවකින් සමාජයක් ශිෂ්ට කරන්න බෑ කියලා. එහෙම නැත්නම් ඒ වගේ භාෂාවකින් සමාජයක් වඩා සුසාධිත, විනයගත, ආලෝකවත්, සුසමාදර්ශී තත්වයකට පත් කරන්න බෑ කියලා.
ජනකතා උපදේශ කතා, උපදේශ කාව්‍ය වගේම ප‍්‍රස්ථාව පිරුළුවලින් අපට කොයි තරම් හරි වැරදි දේවල් වෙන් කරලා දීලා තියෙනවද? ‘ආච්චිට හාල් ගැරීමේ’ සිට ‘වැද්දන්ගෙන් බණ ඇසීම’ හොඳ නැති දේවල් කොයි තරම්ද? ඒත් සින්දුව කියන කථක ස්ත‍්‍රිය කියන්නෙ හැම නොකටයුත්තම දැන් තමන් කරමින් සිටින බව.
ඒ කියන්නෙ අද දවසෙ ගෝලීය ධනවාදය ඉස්සරහා ශිෂ්ට කරන ව්‍යාපෘතියට පණ දෙන්න පරණ ජාතික භාෂාවට හැකි වෙන්නෙ නෑ කියන එක. ඔය ජන කතා, ප‍්‍රස්ථාව පිරුළු ඉබේ නිර්මාණය වුණේ නෑනෙ. ඒවාට පිටිපස්සෙන් ඒවාට මුල් වෙච්ච සිදුවීම් තිබුණා. අන්තිමට බලද්දි ප‍්‍රස්ථාව පිරුළු නිර්මාණය වුණාට සිදුවීම් දිගටම සිද්ධ වුණා. ආච්චිට හාල් ගරන්න එපා කිව්වට අපි දිගටම ගැරුවා. ඉ`ගුරු දීලා මිරිස් ගත්තා වගේම නයි පරාජය කරලා මාපිල්ලූ දිනෙව්වා. වැද්දන්ගෙන් විතරක් නෙවෙයි වඳුරන්ගෙනුත් බණ ඇහුවා. ඒ කියන්නෙ යථාර්ථය වෙනස් කරන්න ජාතිකවාදය දේශපාලන ව්‍යාපෘතියක් විදියට අසමත් වුණා.
ජිනීවා-යැංකි-හොවැංහෝ කියන සංකේත තුන මේ සින්දුව ඇතුලෙ වෙනම ඇහෙන ගතියක් තියෙනවා. ඒකට හේතුව වෙන්නෙ අර අනෙක් ජාතික සංකේත පද්ධතියට දුරස්ථ ගතියක් ඒ සංකේතවල තිබීම වෙන්න පුළුවන්. ඒ වුණාට අර උඩින් කියපු විදියට ජාතිකවාදය දේශපාලන ව්‍යාපෘතියක් විදියට අසාර්ථක වෙන තැන පෙන්වන්න ඒ සංකේත තුන බරපතළ මැදිහත්වීමක් කරනවා.
සාහිත්‍යාත්මක පැත්තෙන් බැලූවොත් මේ සින්දුව මූලික වශයෙන්ම පදනම් වෙලා තියෙන්නෙ උත්ප‍්‍රාසය මත. ඒ වුණාට ඒ උත්ප‍්‍රාසය, සාහිත්‍යයේ අපට සුලභව හම්වන උත්ප‍්‍රාසයක් නෙවෙයි. සුනිල් ආරියරත්න ලියූ ‘මේ කේතුමතී නුවරයි’ වගේ සින්දුවක් එක්ක මේ සින්දුව සන්සන්දනය කළාම ඒ වෙනස ඔයගොල්ලන්ට දැන ගන්න ලැබෙයි. ආරියරත්න මවන ‘කේතුමතී නුවර’ට සම්පූර්ණයෙන් ප‍්‍රතිවිරුද්ධ යථාර්ථයක් තමයි ලංකාවෙ අපට මිහිපිට දක්නට ලැබෙන්නෙ. පිටස්තර ලෝකෙ කියලත් වැඩි වෙනසක් නෑ. ඒ තමයි ඒ සින්දුවෙ උත්ප‍්‍රාසය වැඩ කරන විදිය.
හැබැයි අපි හොඳට බැලුවම තේරෙන දේ තමයි අපි මේ කතා කරන සින්දුවෙ තියෙන්නෙ ඇත්තටම වෙච්ච දේ. පහුගිය වසර විස්ස ඇතුළෙ ලංකාවෙ මිනිහා මුහුණ දීලා තියෙන ඇත්ත සමාජ මොහොත. එහෙනං මේ සින්දුවෙ උත්ප‍්‍රාසය මොකක්ද? ඇත්ත තමයි මේ සින්දුවෙ උත්ප‍්‍රාසය තියෙන්නෙ ‘යෝජනාව’ ඇතුළෙ කියන එක. ඒ කියන්නෙ මේ සින්දුවෙන් අපට මේ යෝජනා කරන්නෙ මෙච්චර කල් අපි කරපු දේවල් තවදුරටත් නොකර සිටිය යුතුයි කියන එක. මේ සින්දුවෙ උත්ප‍්‍රාසය වැඩ කරන්නෙ එහෙම.
මේ උත්ප‍්‍රාසය අපට හොඳින්ම වටහා ගන්න මේ සින්දුවෙ ගායිකා භූමිකාව පැත්තට හැරෙන එකත් හරිම වැදගත්. සින්දුවෙ පදවලින් කියවෙන අර්බුදය එක්ක තදාත්මක වෙන්න ඉන්දිකා උත්සාහ දරන්නෙ නෑ. එහෙම තමයි මේ සින්දුවෙ උත්ප‍්‍රාසය ඉලක්කයට (තේමාව) හොඳම සාධාරණය ඉෂ්ඨ කරන්න පුළුවන්. මොකද, ලංකාවෙ ගැහැනිය වගේම පිරිමියාත් තමන් ඉන්නෙ අර්බුදයක කියලා දන්නෙ නෑ. නැත්නම් ඇත්ත අර්බුදය මොකක්ද කියලා අඳුරන්නෙ නෑ. එහෙමත් නැත්නම් එයාට ඒ ගැන වගක් නෑ. මෙන්න මේ දන්නෙ නැති, අඳුරන්නෙ නැති, වගක් නැති සිංහල කටහඬට තමයි ඉන්දිකා තදාත්මක වෙන්නෙ.
‘වඳුරන්ගෙන් බණ දිවා රෑ අසා
පසිඳුරන් කඩදාසියක ඔතමී’
කියන තැන ඉන්දිකා නඟන අනුරාගික හඬ තමයි මේකට තියෙන හොඳම නිදසුන. සමස්තයක් විදියට අපට මේ ගායනයෙන් සංගීතයෙන් කියන දෙකෙන්ම අද දවසේ දිවි ගෙවන ලාංකික සිංහල බෞද්ධයාගේ නරුමත්වය සංකේතවත් කරනවා කියලා කියන්න පුළුවන්. මේ සින්දුවෙ තියෙන උත්ප‍්‍රාසය හොඳින්ම වටහා ගන්න ගායිකා භූමිකාව පැත්තට හැරෙන එක වැදගත් කියලා අපි කලින්ම කිව්වෙ ඒකයි.
සින්දුව ඇතුළෙ භාවිත කරලා තියෙන සංකේතවලට නිශ්චිත අර්ථකථන දෙන්න මේ විචාරයෙදි අපි උත්සාහ කළේ නෑ. අපි ඒ වැඬේ ඔබටම ඉතිරි කළා. දැන් තියෙන්නෙ ‘ආච්චිට හාල් ගරන’ තැනින් පටන් ගන්න.
ආච්චිට හාල් ගරනා නිසා නෑඹිලිය ගේන්නට පොළට යමි
කිරි බිබී සීනි පැදුරක නටා කොහොඹ ගහ යටදි කරවිල කමී
ජිනීවා කුඹුරකින් පිදුරු කා යැංකි කුසලානයෙන් වතුර බොමී
හොවැංහෝ ගඟට පැන එගොඩ වී පරෙයියන් සමඟ මම බජිරි කමී..
නාගයන් සමඟ අමනාපවීමාපිළුන් සමඟ මම හාද වෙමි
උගුඩුවන් සමඟ ඇටිකෙහෙල් කා නවදොරෙන් සිනාසී ගෙදර යමි.
වඳුරන්ගෙ බණ දිවා රෑ අසා පසිඳුරන් කඩදාසියක ඔතමි.
සියල්ලම වෙන්දේසි වන නිසා හිරිඔතප් බන්ඳේසියක තබමි.
පද – කුමාර හෙට්ටිආරච්චි
ගායනය හා තනුව – ඉන්දිකා උපමාලි
සංගීතය – ළහිරු ද කොස්තා
උපුටා ගැනීම රළ