Breaking News

අපිත් සීන් එකේ ඉන්නවා – චීනයෙන් සංඥාවක්

චීනය, ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ උනන්දු සහගතව මැදිහත්වෙනු සහ ට්වීටර් පණිවිඩ නිකුත් කරනු දින කිහිපයක සිට දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ බලයේ සිටින පක්ෂය කුමක් වූවත් චීනය නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව චීන තානාපති චී චෙන්හොන්ග් අද පවසා තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයෙන් ගොඩඒම සඳහා 2021 වසරේ ජූලි මස සිට 2022 වසරේ ජනවාරි මාසය දක්වා චීනය මෙරටට ඉන්ධන සපයා ඇති බව චීන තානාපති චී චෙන්හොන්ග් පැවැසීය. මෙම කාල සීමාවේදී ශ්‍රී ලංකාවට චීනයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 730,000 ක් ලබා දී තිබුණත් මුදල් ගෙවා ඇත්තේ නැව් 7 කට පමණක් බවත් තවත් නැව් 12 ක් සඳහා මුදල් ගෙවීමට තිබෙන බවත් චීන තානාපති චී චෙන්හොන්ග් වැඩි දුරටත් පැවසීය.

චීනයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.5 ක මුල්‍ය සහාය ලබාදීම පිළිබඳ සාකච්ඡා මන්දගාමී වීමට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා බලපෑ බව චීන තානාපති චී චෙන්හොන්ග් මෙහිදී පවසා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියමයන් සහ කොන්දේසි පිළිබඳ දැන ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පිළිබඳ විමසිල්ලෙන් සිටින බව චීන තානාපති චී චෙන්හොන්ග් වැඩි දුරටත් පැවසීය.

චීන තානාපති චී චෙන්හොන්ග් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ඒ අනූව ලබාගත් ඉන්ධන සඳහා තව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 390 ක මුදලක් ගෙවීමට තිබෙන බවයි.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන තානාපති චී චෙන්ග්හොන්ග් පැවසුවේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වැඩිහරියක් සහනදායී ණය බවත් ඉන් බොහොමයක් යටිතල පහසුකම් සංවර්ධනයට සහ පාරිසරික සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් සැපයූ ණය බවත්ය.

මීට අමතරව චීනයේ ප්‍රාථමික පාසලක ළමුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 05ක මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

එරට හැංග්ෂු ප්‍රදේශයේ සිසුන් විසින් සිය දිවා ආහාරය සඳහා ඇති මුදල් එක්රැස්කර එලෙස පරිත්‍යාගයක් ලෙස යොමුකර ඇති බව චීන තානාපති කාර්යාලය පෙන්වාදෙනවා.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල ළමුන් 1000ක අධ්‍යාපන කටයුතු සඳහා පරිත්‍යාග කර ඇති බව තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

එසේම චීනයේ යුනාන් ප්‍රදේශයේ ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහය විසින් ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ දුප්පත් ජනතාවට ආහාර මලු ලබාදීමට මුදල් ලබාදුන් බවද එහි සඳහන් වේ.

ඊට අමතරව ලංකාවේ දැනට පවතින ගැටලුව විසඳා ගැනීම සඳහා තම සහය ලබාදීමට සූදානම් බවද චීනය විටින විට ප්‍රකාශ කරනු දැකිය හැක.

ආර්ථික අර්බුදයත් සමඟ ලංකාව ඉන්දියාව සමඟ සමීපව කටයුතු කරන ලදී. තෙල් සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ණය ලබාදුන් අතර ඉදිරියේදී ද ණය ලබාදීමට කැමැත්ත පළකර තිබුණි. දේශපාලන විචාරකයන් පවසන පරිදි ඉන්දියාවේ භූමිකාව අභිබවා ලංකාව සම්බන්ධයෙන් මැදිහත්වීමට චීනය නැවත උත්සාහ දරමින් සිටින බව මෑත කාල සීමාවේ පෙනෙන්නට තිබෙන බවයි.

leave a reply