Breaking News

ආත්මාර්ථකාමී වෙමු !

ශාලික විමලසේන

මාතර පිහිටි කුඩා වනාන්තර කොටසකදී කැටයම් චින්තක මරා දැමිණි. ඔහු මරා දැමීම සාධාරණීකරණය කරමින් පොලිසිය නිවේදන ලිව්වේය. මාධ්‍ය ඒ නිවේදන කොපි පේස්ට් කළේය.

මෙච්චර ලොකු පොලිසියක්
ඊට දින දෙකකට පසු ඔහුගේ මව මෙසේ කීය.
‘මගේ පුතා මොනව කළත් ඒ මගේ පුතා. මගේ පුතා මිනිස්සු මැරුව නම්, ඔච්චර ලොකු පොලිසියකට බැරිද අල්ලං ගිහින්, උසාවි දාලා හිරේ දාන්න. මරලා දාන එකද දඬුවම …?’
ඒ අම්මා එසේ අසන විට, බහුතර සමාජය අනෙක් පැත්තට මෙසේ ඇසුවේය.

මිනීමරුවෙක්
‘මිනීමරුවෙක්ව හුරතල් කරන්න කියලද කියන්නෙ…?’
අම්මාගේ ප්‍රකාශයට වඩා ලොකු බලයක් බහුතර සමාජයේ ප්‍රශ්නයට විය.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ සැලසුම් සහගත සමූහ ඝාතනයේදී මරා දැමුණු රැඳවියෙකුගේ තාත්තා කෙනෙක් මෙසේ ඇසුවේය.
‘මේක අපරාධයක් නෙමෙයි ද? මේ විදිහට මිනිස්සුන්ව මරලා දාන්න පුළුවන් ද?’
තාත්තාගේ ප්‍රකාශයට වඩා සද්දෙන් බහුතර සමාජය මෙසේ පිළිතුරු දුන්නේය.
මුන්ට සලකන්න ඕනෙ විදිහ
‘මුන් මිනීමරුවො. මිනිස්සුන්ට සලකන විදිහට මුන්ට සලකලා බෑ.’
මාධ්‍ය බලය මෙහෙයවූවේ ඒ පිළිතුර සමාජගත කරන්නට ය. තාත්තාගේ ප්‍රශ්නය යට ගියේය.
එක දිගට මිනිසුන් මරා දැමිණි. ඔවුන් සියල්ලන් අපරාධකරුවන් විය.

මාධ්‍යයේ දෙයාකාරය
‘අහවලා ඝාතනය කරයි.’
‘අහවල් අපරාධ කළ, අහවලා සැඟවූ ආයුධ පෙන්වන්නට ගොස්, සඟවා තිබූ ආයුධයකින් වෙඩි තැබීමට / බෝම්බ ගැසීමට උත්සාහ කිරීම නිසා වෙඩි කා නසී.’
මේ මාධ්‍ය මගින් දෙයාකාරයකට ප්‍රවෘත්ති වාර්තා කරන ආකාරය යි. ඔවුන් නොකියා මෙසේ කියයි.

අධිකරණ ඕනෙ ද?
‘මෙන්න මේවා කළ නිසා මරාදැමිය යුතුයි.’
ඒ කියන අපරාධවලට අධිකරණ මගින් දඬුවම් දිය නොහැකි ද? අත්අඩංගුවට ගත් පසු, එකම දේ හැමදාම සිදුවන්නේ ඇයි ?
අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවෙකු සම්බන්ධයෙන් ම අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට වගකීමක් තිබේ. අධිකරණය ඉදිරියේ ඒවා ප්‍රමාණවත් ලෙස ප්‍රශ්න නොකෙරෙන්නේ ඇයි?
මහේස්ත්‍රාත්වරුන් මෙවැනි සිදුවීම්වලට අදාළ ව තම වගකීම ඉටු කර තිබේද ?
කවර තත්ත්වයක් යටතේ හෝ සැලසුම් සහගත ඝාතනය අපරාධයකි.
එක දිගට එවැනි අපරාධ සිදුවෙමින් පවතී. එපමණක් ද?
කියලා කරන මරණ
දැන් මරන්නේ කියලා ය.
මරන්නට යන බව දැනගෙන සියලු වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කළද, ඝාතකයන් සිටින්නේ ඒ සියල්ලන්ට ඉහළිනි. නියෝග දෙන්නන් ද එසේ ම ය.

ටින්කරින් ලසන්ත
ටින්කරින් ලසන්ත ද එසේම ඝාතනය කෙරිණි. ඒ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පොලිස්පතිවරයාට, මානව හිමිකම් කොමිසමට මේ අපරාධය සිදු කරන බව දැනුම් දී තිබියදී ය. මාධ්‍ය මගින් මේ බව වගකිවයුත්තන්ට දැනුම් දී තිබියදී ය. නීතිඥවරුන් විසින් වෙන-වෙනම දැනුම් දී තිබියදී ය. මානව හිමිකම් කොමිසම මේ පිළිබඳව අදාළ පොලිසිවලින් විමසීම් කොට තිබියදී ය.
සන්නද්ධ වූ බලය
ඒ කියන්නේ අපරාධකරුවන් මේ කිසිවක් ගණන් නොගන්නා, ගණන් නොගෙන නියෝග ක්‍රියාත්මක කළ හැකි බලයකින් සන්නද්ධ ය.
මාධ්‍ය මගින් පොම්ප කරන මතය අනුව, ජනතාව ද මේ අපරාධ අනුමත කරන බව ඔවුහු දනිති.
ඕනෑම වරදක් සම්බන්ධයෙන් දඬුවම් දීමේ බලය ඇත්තේ පිළිගත් අධිකරණයකට ය. පිළිගත් අධිකරණය ඒ තීන්දුව ගැනීමට පෙර, විත්ති පාර්ශ්වයට තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාව ලබාදෙයි.
මෙහිදී සිදුවන්නේ කුමක්ද ?

වෙනම නීති
‘මානව හිමිකම් මේවට හරියන්නෙ නෑ. මුන්ට සලකන්න වෙනම නීති ඕනෙ.’
සමාජගත කරන මතය අනුව තීරණ ගන්නා ජනතාව එසේ කියයි. එයින් ඝාතකයන් නිදොස් වෙයි.
සමාජ සුබසිද්ධිය
නීතියේ ඇති සමාජ සුබසිද්ධිය යනු මිනීමැරීමට දෙන ලයිෂන් එකක් නොවේ.
මිනිසුන් මරාදමන්නට ලයිෂන් දෙන්නට පෙර, ඔබ දෙස බලන්න ! මම, මම දෙස බලමි !
සැලසුම් සහගත සියලු ඝාතනවලට විරුද්ධ වන්න !
මම මගේ දරුවන් ගැන බිය වෙමි !

leave a reply