Breaking News

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ කොල්ල කෑ මැණික් සහ දියමන්ති නැවත ඉල්ලයි

එලිසබත් රැජිනගේ අවමංගල කටයුතු අවසන් වීමත් සමඟ බ්‍රිතාන්‍ය විසින් යටත් විජිත සමයේදී කොල්ල කෑ වස්තුව නැවත තම රටවල්වලට ලබාදෙන ලෙස රටවල් කිහිපයක්ම ඉල්ලා තිබේ. විශේෂයෙන් බ්‍රිතාන්‍ය රජ පවුලට අයත් ඔටුන්න ඇතුළු විවිධ ආභරණ සඳහා යොදා ඇති දියමන්ති සහ මැණික් තම රටවලට ලබාදෙන ලෙස එම රටවල් ඉල්ලා තිබේ. එම දියමන්ති සහ මැණික් පිටුපස ලේ වැකි ඉතිහාසයක් පවතින බව නොරහසකි.

රාජකීය පවුලට අයත්ව තිබෙන කොහිනූර් දියමන්තිය නැවතත් ඉන්දියාවට ලබාදෙන ලෙස ඉන්දියාව වසර ගණනාවක සිට ඉල්ලීම් කර තිබූ අතර නැවත එම ඉල්ලීම අලුත් වී තිබේ. මේ අතර විශේෂ අවධානයක් දිනාගත් සිදුවීමක් වූවේ රැජිනගේ ඔටුන්නට සවි කර ඇති දියමන්තියක් ආපසු තම රටට දෙන්නැයි දකුණු අප්‍රිකානු සංවිධාන කිහිපයක් බ්‍රිතාන්‍ය රජ පවුලට දන්වා තිබීමයි. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව තුළ විශාල සංවාදයක මතුව ඇති බව වාර්තා වේ.

‘ග්‍රේට් ස්ටාර් ඔෆ් අප්‍රිකා’ එසේත් නැතිනම් ‘කලිනන් 1’ යන නමින් හැඳින්වෙන මෙම දියමන්තිය 1905 වසරේ දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගනු ලැබූවකි. මෙය දකුණු අප්‍රිකාවෙන් හමුවුණු විශාලතම දියමන්තිය පමණක් නොව, වටිනාම දියමන්තිය ද වෙයි.

යටත් විජිත සමයේ යටත් විජිත පාලකයන් මෙම දියමන්තිය බ්‍රිතාන්‍ය රජ පවුලට පරිත්‍යාග කර තිබේ. දියමන්තිය ඔටුන්නට සවි කෙරුණේ ඒ අනුවය. මෙම දියමන්තිය සහිත ඔටුන්න රැජිනගේ අවමංගල්‍ය උත්සවයේදී මිනී පෙට්ටිය උඩ තැන්පත් කර තිබෙනු දැකිය හැකිවිය.

දකුණු අප්‍රිකා දේශප්‍රේමී ක්‍රියාකාරීන් පෙන්වා දෙන ආකාරයට, රැජිනගේ අභාවයෙන් පසු තමන් ‘කලිනන් 1’ දියමන්තිය පමණක් නොව, දකුණු අප්‍රිකාවෙන් හමුවී පසුව බි්‍රතාන්‍ය රජ පවුලට ලබා දුන් සෙසු දියමන්ති ද ආපසු අවශ්‍ය බවය. එම දියමන්ති සුදු පාලකයන් විසින් දකුණු අප්‍රිකාවෙන් කොල්ල කෑ බවට දේශප්‍රේමී ක්‍රියාකාරීන් චෝදනා කරමින් සිටියි. එසේම දියමන්තිය ඉල්ලා සිටින බොහෝ පිරිසක් පවසන්නේ එය දකුණු අප්‍රිකානු කෞතුකාගාරයක තැන්පත් කළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය රජ පවුල සහ එරට කෞතුකාගාර කොල්ලකන ලද පෞරාණික භාණ්ඩ සහ වටිනා ඛණිජවලින් පිරී තිබෙන බව නොරහසකි. 2010 වසරේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඉන්දියානු රුපවාහිනි වැඩසටහනකට එක් වී සිටි අවස්ථාවේ කොහිනුර් දියමන්තිය ආපසු ඉන්දියාවට ලබාදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ විට ඔහු පැවසුවේ එවැනි එකක් නැවත ලබාදීමට එකඟ වුවහොත් සියල්ල නැවත ලබාදීමට සිදුවෙනු ඇති බවත් ඉන්පසු බ්‍රිතාන්‍ය කෞතුකාගාර හිස්වෙනු ඇති බවත්ය.

leave a reply