මෙම අයවැය ජනතාවගේ ප්‍රශ්න අමතක කරමින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා නොදුන් විකෘතිසහගත යෝජනාවලියක් බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් සංජීව බණ්ඩාර පවසයි.
ඔහු අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,
“ඩොලර් අර්බුදය, නිෂ්පාදන ක්‍රියාවලියේ කඩා වැටීම, උද්දමනය ඉහළ යාම පහුගිය කාලෙ මුහුණ දීපු ආර්ථික ප්‍රශ්න. අයවැයෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ කියන ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම මිසක් නත්තල් පප්පා වගේ රුපියල් මිලියන 200 , 300 බෙදා බෙදා යන යෝජනාවලියක් නෙමයි. දැන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ සල්ලි බෙදා බෙදා යන එහෙම අයවැයක්.
ගොවියෝ පොහොර ඉල්ලලා උද්ඝෝෂණය කරනවා. ඉදිරියේදී ආහාර අර්බුදයකට රට ගොදුරුවෙන්න නියමිතයි. හැබැයි ඒ ගැටලුවට අදාළව අයවැයෙන් විසඳුමක් නැහැ.
ඒවගේම ජීවන වියදම වැඩිවීමත් එක්ක රාජ්‍ය සේවකයා බරපතල ආර්ථික පීඩනයකට ලක්වෙලා ඉන්නවා. උදාහරණයකට ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සංඛ්‍යාලේඛණවල අනුව 2021 ජනවාරි මාසෙ උද්ධමනය තිබුනේ 3.7ක. පෙබරවාරි වෙද්දී ඒක 4.1 දක්වා ඉහළ යනවා. අගෝස්තු වෙද්දී 6.7 දක්වා ඉහළ යනවා. සාමාන්‍ය හතරදෙනෙකුගෙන් යුතු පවුලක වියදම මේ අනුව රු 15000න් විතර ඉහළ ගිහින් තියෙනවා. මේ රටේ වැඩකරන ජනතාවට වැටුප ලැබුනට වැටුපෙන් මිලදී ගන්න පුළුවන් ප්‍රමාණය අඩුවෙලා. ඒ අනුව පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයාගේ වැටුප් වැඩිවීමක් නිශ්චිතවම සිදුවිය යුතුයි.
රාජ්‍ය අංශයේ සේවකයෝ රු 10000ක වැටුප් වැඩිවීමක් ඉල්ලුවා. පෞද්ගලික අංශයේ සේවකයන් තමන්ගේ මූලික වැටුප රු 26,000 දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලුවා. එතකොට මේ ඉල්ලීම් දෙකට අදාළ කිසිම යෝජනාවක් අයවැය ඇතුලේ නැහැ.
2015 සිට රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කර තිබෙනවා. අනිත් පැත්තෙන් අවුරුදු 60 දී විශ්‍රාම ගන්නවපු රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම ගැනීමේ කාලය තව අවුරුදු 5න් දීර්ඝ කරන්න කටයුතු අර තිබෙනවා. මේක ඇතුලේ තියෙන ප්‍රශ්නේ තමයි අවුරුදු 60ක් කඹුරපු සේවකයාගේ විශ්‍රාම සුවයෙන් ගතකරන්න තියෙන කාලෙත් උදුරගන්න හදන්නෙ. හැරමිටියෙනුත් ඇවිල්ලා වැඩකරපල්ලා කියලා කියන්නෙ.
ජේෂ්ඨ පුරවැසියන්ට දායකත්වය විශ්‍රාම වැටුපක් හදනවා කියමින් ජේෂ්ඨ පුවරවැසියන් ගැන හිතන බව පෙන්නන්න උත්සහ කරනවා. විශ්‍රාම වැටුපක් නැති බහුතර ජනතාවකට දායකත්ව විශ්‍රාම වැටුපකට ගෙවන්න හැකියවක් තියෙනවද? තුට්ටු දෙකේ වැටුපකට වැඩකරන ජනතාවට මේ රටේ දායකත්ව විශ්‍රාම වැටුපකට ගෙවන්න හැකියාවක් තියෙනවද?
අධ්‍යපනයේ බරපතල විෂමතාවයක් තියෙන බව කියමින් ජාතික පාසල් දහසක් සංවර්ධනය මුදල් වෙන් කරලා තියෙනවා. පාසල් 10167ක් තියෙන පාසල් පද්ධතිය ඇතුලේ පාසල් 1000ක් තෝරාගෙන ජාතික පාසල් බෝඩ් ලෑලි එල්ලුවා කියලා අධ්‍යාපනයේ තියෙන විෂමතාවය නැතිවෙන්නෙ නැහැ. අධ්‍යාපනයේ විෂමතාවය නැති කිරීම සඳහා අධාපනයට 6%ක් වෙන් කරන්න ඕනා. එය ගුරු අරගලයේත් ප්‍රධාන සටන් පාඨයක් වුණා. ඒ වෙනුවට ආණ්ඩුව කරලා තියෙන්නේ ගිය වසරට සාපේක්ෂව බිලියන එකක් පමණක් වැඩි කිරීමයි.
ඊට අමතරව කියනවා ජාත්‍යන්තර පාසල් සහ පෞද්ගලික රෝහල් ආරම්භ කිරීම සඳහා ඉඩම් සහ බදු සහන ලබාදෙන බව. මේ හරහා අධ්‍යාපනය සහ සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලියි. ”