Breaking News

මියගිය ඥාතීන් සිහිකිරීමත් අරහං ලංකාවේ පොලීසිය

ලංකාවේ පොලීසියේ අලුත්ම රාජකාරිය වී තිබෙන්නේ යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීම සඳහා කෙරෙන සැමරුම්වලට බාධා කිරීමයි. පසුගිය 12 වැනිදා රාත්‍රියේ සාම්පූර් ප්‍රදේශයේදී පිරිසක් විසින් තම මිය ගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදා හැරීම සිදු කිරීමෙන් පසු එදින රාත්‍රී කාලයේ ඔවුන්ගේ නිවාස වෙත පැමිණි පොලිසියේ යැයි පැවසෙන පිරිස විසින් ඔවුන්ව බලහත්කාරයෙන් පොලිසියට රැගෙන ගොස් තිබුණි. ඔවුන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මේ අතර ඊයේ(14) දිනයේදී ද රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වු තම සමීපතමයන් සිහි කරමින් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ලබා දුන් කැඳ දන්සලක් සනීපාරක්ෂක හේතු හුවා දක්වමින් නවතාලීමට පොලීසිය දැරු උත්සාහයක් අසාර්ථක වී තිබේ.

මඩකලපුව ගුවන් තොටුපල පාරේ පිහිටි ශ්‍රී පරිපුර්ණ විනායගර් (පිල්ලයාර්) කෝවිල ඉදිරිපිට ට ඊයේ (මැයි 14) පෙරවරුවේ පොලිස් නිලධාරීන් සමග පැමිණි මඩකලපුව කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කැඳ දන්සල නවත්වා එම ස්ථානයෙන් පිටව යන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ දන්සල නැවැත්වීම සදහා අධිකරණය ලබා දුන් නියෝගයක් ඇත්දැයි දන්සලේ සංවිධායකයන් විසින් පෙරලා ප්‍රශ්න කළ බවයි.

කැඳ දන්සල නැවැත්වීමට හේතුව කුමක්දැයි ඔවුන් විමසු අවස්ථාවේ පොලීසිය දැනුම් දී ඇත්තේ සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරමින් ආහාර පාන බෙදා දීමට අවස්ථාව ලබා දිය නොහැකි බවයි.

උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජාගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් කැඳ දන්සල එම ස්ථානයේදී පවත්වා ඇත්තේ ප්‍රදේශයේ සිවිල් සංවිධාන හා ජනතා නියෝජිතයන්ගේ සහයෝගයෙනි.

අධිකරණ නියෝගයක් ඉදිරිපත් කිරීමට අසමත් වු සහකාර පොලිස් අධිකාරිවරයා එම අවස්ථාවේ දුරකථනයෙන් කතා කොට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එම ස්ථානයට කැදවීමට ක්‍රියා කළ බවයි ඔවුන් වැඩි දුරටත් පවසන්නේ.

එහිදී පොලීසිය තමන්ට සිදු කළ බාධා කිරීම් සම්බන්ධයෙන් උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මඩකලපුව දිස්ත්‍රික් නායිකා අමලනායගී අමලිරාජා මාතාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන්ට පැහැදිලි කර තිබුනේ පහත අයුරිනි.

“මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම රථවාහන පොලිසියෙන් ඇවිල්ලා අපි කැඳ උයන්න උත්සාහ කරනකොට ඒකට ඉඩ දෙන් නැතුව පී.එච්.අයි ලා එක්කන් ඇවිල්ලා අපිට බැනලා මේ කැඳ බෙදන්න ඉඩ දෙන්නේ නැතුව අපිට විශාල කරදරයක් කළා. කැද බොන්න අපු අය ඔක්කෝම එළවලා මෙහේ ඉන්න ඉඩ දෙන්නේ නැතුව යැව්වා. සනීපාරක්ෂාව පිළිබද නීතිරීතිවලට අනුව මෙම කැඳ ලබා දිය යුතු බවත් අත්වැසුම්, මුහුණු ආවරණ සහ හිස් ආවරණ පැළඳ ගෙන කැඳ දෙන්න කිව්වා.”

මෙහිදී මෙම පිරිස පවසන්නේ තම මියගිය ඥාතීන් සිහිපත් කරමින් කැඳ බෙදාදුන් පිරිසක් සාම්පුර් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සිහිපත් කරමින් පොලිස් නිලධාරීන් තමන්ට තර්ජනය කළ බවයි.

“සාම්පූර්වල වෙච්ච දේ දන්නවා නේද කියලා අදත් පොලිසියේ එක්කෙනක් කිව්වා. ඉතින් සාම්පූර්වල සිදු වූ නීති විරෝධී ම්ලේච්ඡ ක්‍රියාව ගැන උදාහරණයක් විදිහට කියලා අපිත් ඒක කරනවා කියලා තර්ජනය කරනවා.”

පොලිස් නිල ඇඳුම්න් සිටි පිරිමින් විසින් මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් අමානුෂික ලෙස බිම දිගේ ඇදගෙන යන ආකාරය ද ප්‍රදේශවාසීන් විසින් විඩියෝ ගත කර තිබේ.

එම අත්අඩංගුවට ගැනීමට ප්‍රධානතම හේතු ලෙස පොලීසිය නිවේදනය කර ඇත්තේ අධිකරණ නියෝගයකට අකිකරු වීම සහ රජයේ සේවකයකු නිසි පරිදි ප්‍රකාශ කරනු ලැබු ආඥාවකට අකීකරු වීමයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලිස් තර්ජන හමුවේ ශ්‍රී පරිපුර්ණ විනායගර් (පිල්ලයාර්) කෝවිල ඉදිරිපිට දී කැඳ බෙදා දීම නතර නොකළ දෙමළ ජනයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබා දුන් උපදෙස් අනුගමනය කරමින් කැද දන්සල ක්‍රියාත්මක කළ බවයි.

යුද්ධයේ අවසන් සමයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශ රැසක විශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදුවිය. එහිදී මියගිය තම ඥාතීන් සැමරීම උතුරු නැගෙනහිර ජනතාව විසින් වසර ගණනාවක් පුර සිදුකරමින් සිටියි. මේ සෑම අවස්ථාවකම ආණ්ඩුවේ ආරක්ෂක අංශ මැදිහත්වී එම කටයුතුවලට බාධා කිරීම් නිරන්තරයෙන් සිදුවෙමින් පවතියි.

 

leave a reply