Breaking News

අධ්‍යාපනය විකුණන අලුත් සෙල්ලම, කොතලාවල පනත

ප්‍රවේශය

1977 නවලිබරල් ආර්ථීක ප්‍රතිපත්ති මෙරට හඳුන්වාදීමත් සමඟ එතෙක් සමාජ අයිතීන් ලෙස තිබු අධ්‍යාපනය සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර පවා වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ විය.

1981 අධ්‍යාපන ධවල පත්‍රිකාව, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය, කිංස්ලි සිල්වා, තාරා හැරල්ඩ් වාර්තා, පාසල් අඛණ්ඩ ඇගයීම් ඇතුළු මාලඹේ සයිටම් හොර උපාධි කඩය දක්වාම ගෙන ආ විවිධ යෝජනා හරහා දිගින් දිගටම උත්සාහ කරනු ලැබුවේ අධ්‍යාපනය විකිණීමේ ක්‍රියාවලිය නීතිගත කරමින් පවත්වාගෙන යාමය.

මෙරට අධ්‍යාපනයේ පවතින ගැටලුව අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති වීම බව ඇතැමුන් පවසයි. කලින් ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොතිබූ නිසා අධ්‍යාපනයේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පත්වන සෑම පාලකයෙක්ම පවසයි. නමුත් 1981 අධ්‍යාපන ධවල පත්‍රිකාවේ සිට මේ දක්වා ප්‍රතිසංස්කරණ වල මුලික අරමුණ වී ඇත්තේ අධ්‍යාපනය වෙළෙඳපලට මුදා හැරීමයි. එවිට සිදු වන්නේ අධ්‍යාපනයේ වැය බර දැරීමෙන් ආණ්ඩුව ක්‍රමයෙන් නිදහස් වීමයි. එනම් අධ්‍යාපනයේ රාජ්‍ය පංගුව හැකිලී යාමත් සමඟ අධ්‍යාපනයේ අවස්ථා වෙළෙඳ පලට විවෘත වීම සිදුවේ.

නමුත් ඉහත කී සෑම උත්සාහයක්ම හකුලා ගැනීමට ආණ්ඩු වලට සිදු වුයේ එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පැන නැගුනු බරපතල විරෝධයන් හමුවෙයි. එම විරෝධයන් ද ඉබේ පහල වූ ඒවා නොවේ. ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම නිදහස් අධ්‍යාපනය රැකගතයුතු යැයි විශ්වාස කල බොහෝ දෙනා එක්ව සිදු කල අරගලයන් වල ප්‍රතිපල ලෙස ඉහත යෝජනා, ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට පාලකයන්ට සිදු විය.

නමුත් අප ජිවත් වන සමාජ ක්‍රමය තවමත් වෙනස් වී නොමැත. එමනිසා අධ්‍යාපනය විකිණීමට අදාළ ප්‍රතිපත්තිය ද තවමත් වෙනස් වී නැත. ඒ හේතුවෙන් කාලයෙන් කාලයට එන පාලකයන් විවිධ යෝජනා හරහා තවමත් උත්සාහ කරමින් සිටිනුයේ අධ්‍යාපනය විකිණීම නීතිගත කරගැනීමටය. ඒ වෙනුවෙන් එක් පසෙකින් ප්‍රතිපාදන කප්පාදු කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය අඩපණ වීමට ඉඩ හැර ඇත. අනෙක් පසින් පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට හා දිරි ගැන්වීමට කටයුතු කරමින් සිටී.

කොතලාවල පනත නමින් 2018 වසරේ ඉදිරිපත් කල පනතක් නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේ හරහා නැවත වතාවක් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හා පවතින හොර උපාධි කඩ නීතිගත කිරීමට අදාල නීතිමය පසුබිම සකස් කෙරේ. බරපතලම කාරණය වන්නේ මෙම පනත හරහා අධ්‍යාපනය විකිණීම මිලිටරි යාන්ත්‍රණයක් යටතේ සිදු කිරීමය.

පවතින ආර්ථීකයට අනුව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර පුර්ණ ලෙස වෙළෙඳ භාණ්ඩ බවට පත් කිරීමට පාලකයන්ට නොහැකි විය. ඒ සඳහා ඔවුන්ට ඇති බාධා එකින් එක ඉවත් කරමින් සිටී. එහි ප්‍රමුඛ පියවරක් ලෙස කොතලාවල පනත හඳුන්වා දිය හැක. එසේ නම් කොතලාවල පනත පළමු මොහොතේම පරාජයට පත් කිරීම අප සියලු දෙනාගේම වගකීමක් වන්නේය.

  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත කියූ සැණින් බොහෝ දෙනෙකුගේ මතකයට නැගෙනුයේ රත්මලාන ප්‍රදේශයේ දැනටත් පිහිටා ඇති කොතලාවල විශ්වවිද්‍යාලයයි. ඒ අනුව මෙම පනත එම විශ්වවිද්‍යාලයේ කටයුතු වලට සම්බන්ධ ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ අධ්‍යයන කටයුතු සම්බන්ධ පනතක් ලෙස බැලු බැල්මට කෙනෙකුට පෙනී යා හැක.

එසේම දැනට පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුල උපාධි පාඨමාලා පිරිනමන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට පමණක් නොව, මුදලට වෙනත් පුද්ගලයන්ට ද උපාධි විකිණීම සිදු කෙරේ. ඒ අනුව කොතලාවල ආරක්ෂක විශවවිද්‍යාලය යනු මේ වනවිටත් රාජ්‍ය අරමුදල් යොදවා මිලිටරි ව්‍යුහයක් යටතේ පවත්වාගෙන යනු ලබන පුද්ගලික විශ්වවිද්‍යාලයකි. ඒ සඳහා පියවරෙන් පියවර සිදු කල ප්‍රතිසංස්කරණ හරහා අධ්‍යාපනය විකිණීමට අදාළ ගුණාත්මක තත්ත්වයක් ද නිර්මාණය කර ඇත්තේ පහත පරිදිය.

රත්මලානේ මේ වනවිට පිහිටා ඇති ආයතනය ආරම්භ කරනු ලැබුවේ 1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත යටතේ කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙසයි. ඒ ආරක්ෂක අංශ සමාජිකයින් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහාය. මෙම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ඇත්තේ 1988 අංක 27 දරණ සංශෝධන පනත මඟිනි. නමුත් මෙම ආයතනයට උපාධි ප්‍රදානය කිරීමේ නෛතික බලය ලැඛෙනුයේ 2007 අංක 50 දරණ සංශෝධිත පනත මඟිනි.

නමුත් එම පනතට අනුවත් මෙම ආයතනයෙන් වෛද්‍ය උපාධි ලබන පිරිසට වෛද්‍ය වෘත්තිකයන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව නොලැබිණ. ඒ අනුව එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා 2014 අංක 6 දරණ වෛද්‍ය(සංශෝධිත) පනත මඟින් වෛද්‍ය ආඥා පනත වෙනස් කොට කොතලාවල වෛද්‍ය උපාධිය සඳහා නීත්‍යනුකුලභාවයක් හිමිකර දී ඇත.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය˜ නමින් පසුගිය මාර්තු මස 26 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත 2018 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ සකස් කර 2018 අප්‍රේල් මස 11 වනදා ආරක්ෂක අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද්දකි. මෙම පනත මඟින් 1981 අංක 68 දරණ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඉවත් කිරීම සිදුවන අතර මෙම නව පනත බලපාන්නේ දැනට පවතින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් නොව රට පුරා ඇතිකරන විශ්වවිද්‍යාල ජාලයකටය.

ඒ අනුව සිදු වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යන නාමකරණය යටතේ තවත් විශ්වවිද්‍යාල, මණ්ඩප, විද්‍යාල, පීඨ ආදිය රට පුරා ආරම්භ කිරීමේ බලය අදාළ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට හිමිවීමයි. එසේම වෙනත් දේශීය හෝ විදේශීය ආයතන සමඟ අනුබද්ධව කටයුතු කිරීමේ බලය ද හිමි වේ. ඒ හරහා සිදුවන්නේ මෙතෙක් මේ රට තුළ සමාගම් පනත යටතේ සමාගම් ලෙස ආරම්භ කර පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල හා නිල නොවන මට්ටමෙන් පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ල කොතලවල විශ්වවිද්‍යාලය යටතේ අනුබද්ධ කර පවත්වාගෙන යාමට හැකියාව ලැබීමය. පසුගිය කාලයක් තිස්සේ පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරගැනීමට ආණ්ඩුවලට තිබු බාධාව සම්පුර්ණයෙන්ම මේ හරහා ඉවත් වීමක් සිදු වේ. ඊට හොඳම උදාහරණය වන්නේ Baticlo Campus නමින් රජයේ අනුග්‍රහය ද ඇතිව ආරම්භ කිරීමට උත්සාහ කළ පෞද්ගලික විශ්වවිද්‍යාලය පිහිටුවීම තාවකාලිකව හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවුව ද වත්මන් අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා පසුගිය දිනෙක සඳහන් කරනු ලැබුවේ Baticlo Campus ආයතනය කොතලාවලට අනියුක්ත කිරීමට යෝජනා කරන බවයි.

1 කොටස

  1. විශ්වවිද්‍යාලයේ අරමුණු පහත සඳහන් පරිදි විය යුතුය.

(ආ) කැඩෙට් නිලධරයන්ට, සන්නද්ධ හමුදාවල නිලධරයන්ට, රාජ්‍ය සේවකයන්ට සහ වෙනත් තැනැත්තන්ට උපාධි, ඩිප්ලෝමා සහ අනෙකුත් ශාස්ත්‍රීය ප්‍රවීණතා ප්‍රදානය කිරීමට හේතුවන්නා වූ අධ්‍යයන අංශයන් සම්බන්ධයෙන් අධ්‍යයන පාඨමාලා සහ උපදෙස් සැපයීම.

මෙම වගන්තිය අනුව ආරක්ෂක අංශ සාමාජිකයන්ට අමතරව රජය සේවකයන්ට හා ‘වෙනත් තැනැත්තන්ට’ යන්න යටතේ ඕනෑම අයෙකුට මෙම විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට හැකි වේ.

  1. මේ පනතේ විධිවිධානවලට යටත්ව, විශ්වවිද්‍යාලයට පහත දැක්වෙන බලතල තිබිය යුතුය.

(ඌ) විශ්වවිද්‍යාලයේ අරමුණුවලට අවශ්‍ය විය හැකි කාර්මික, වෘත්තීය හෝ වෘත්තීමය ආයතන ද ඇතුළුව දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමඟ අනුබද්ධව කටයුතු කිරීම.

(ච) විශ්වවිද්‍යාලයට අවශ්‍ය විය හැකි පරිදි වූ මණ්ඩප, විද්‍යාල, පීඨ, අධ්‍යයනාංශ, මධ්‍යස්ථාන, ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් යම් විශේෂිත ආයතන පිහිටුවීම.

  • නව මිලිටරි ව්‍යුහයක් ස්ථාපිත කිරීම

මෙම පනත මඟින් පිහිටුවන විශ්වවිද්‍යාලය පවතින්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේයි. එහි පාලනය සඳහා ව්‍යුහයක්, සාමාජිකයින් හා බලතල මෙම පනත

මඟින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමත් සමඟ ඊට අදාළ මණ්ඩලයක් පත් කරනු ලැබේ.

(2) මණ්ඩලය පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතුය.

(අ) ආරක්ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා.

(ආ) ආරක්ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා.

(ඇ) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා.

(ඈ) ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපතිවරයා.

(ඉ) ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා.

(ඊ) ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හමුදාපතිවරයා.

(උ) විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා.

(ඌ) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නාමිකයකු සහ

(එ) භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ අනුයෝජිතයකු.

  1. (1) ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත් කරනු ලැබිය යුතුය.

මේ වනවිටත් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පත්කිරීම් සිට ප්‍රතිපාදන කොමිසමේ කටයුතු දක්වා දේශපාලන අතපෙවීම් සිදුවන බව නොරහසකි. නමුත් එසේ තිබියදීත් විශ්වවිද්‍යාල සම්බන්ධ තීරණ ගැනීමේදී අධ්‍යාපන විෂය සම්බන්ධ ප්‍රවීණයන් ආචාර්යවරුන් හා උපකුලපතිවරුන්ට සාපේක්ෂ ස්වාධීනත්වයක් පවතී. නමුත් මෙම නව පනත හරහා හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත තනි ව්‍යුහයක් නිර්මාණය වන අතර ඒ යටතේ රට පුරා ශාඛා පිහිටුවීම සිදුවේ. එමඟින් මෙතෙක් විශ්වවිද්‍යාල සඳහා පැවති සාපේක්ෂ ස්වාධීනත්වය හෝ අහෝසි වී යාම වැළැක්විය නොහැක.

  • 1978 විශ්වවිද්‍යාල පනත බල රහිත වීම.

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහත සඳහන් කාර්යයන් සිදුකිරීමට 1978 විශ්වවිද්‍යාල පනත අනුව නීතිමය බලතල පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටය. නමුත් මෙම නව පනත අනුව පිහිටුවන විශ්වවිද්‍යාලය සඳහා 1978 විශ්වවිද්‍යාල පනත හෝ ඊට අදාළ කිසිඳු විධානයක් අදාළ නොවන බව එම පනතේම සඳහන් කර ඇත.

  1. මේ පනතේ විධිවිධානවලට යටත්ව, විශ්වවිද්‍යාලයට පහත දැක්වෙන බලතල තිබිය යුතුය.

(ඒ) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 128 වන වගන්තියේ විධිවිධානවලට පටහැනිව කුමක් සඳහන් වුව ද, විශ්වවිද්‍යාලයේ එම ඉගෙනුම් අංශවල අධ්‍යයන පාඨමාලා හදාරා තත්කාර්ය සඳහා සාදන ලද යම් ප්‍රඥප්තිවලට අනුකූලව එම විභාග සමත් වී ඇති කැඩෙට් නිලධරයන්ට, සන්නද්ධ හමුදාවල නිලධරයන්ට, රාජ්‍ය නිලධරයන්ට සහ වෙනත් තැනැත්තන්ට උපාධි, ඩිප්ලෝමා සහ සහතික සහ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ඨතා ප්‍රදානය කිරීම සහ පිරිනැමීම.

  1. සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන මේ පනත යටතේ පිහිටුවන ලද විශ්වවිද්‍යාලයට හෝ ඒ සම්බන්ධයෙන් අදාළ නොවිය යුතු ය.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල අධ්‍යයන කටයුතු සම්බන්ධ තීරණ ගනු ලබන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවයි. පරිපාලනමය තීරණ ගනු ලබන්නේ පාලක සභාවයි. උපකුලපතිවරුන් පත් කිරීම සම්බන්ධ දේශපාලන මැදිහත්වීම වත්මන් ව්‍යුහය තුල ද පවතින නමුත් මේ වනවිට අධ්‍යයන තීන්දු තීරණ ගැනීමේදී ඒ ඒ විෂයන් සම්බන්ධ ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ අදහස් යෝජනා සැලකිල්ලට ගැනේ. විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුනට එම තීරණ ගැනීමේ අවස්ථා සඳහා සම්බන්ධවීමටත් එම අවස්ථාවන්වලදී සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව කටයුතු කිරීමටත් අදාල වාතාවරණයක් පවතී.

නමුත් විශ්වවිද්‍යාලයකින් සිදු කරන ශාස්ත්‍රීය කටයුතු පවා පාලනය කිරීම මෙම පනත යටතේ සිදුවන්නේ අධ්‍යාපන, ශාස්ත්‍රිය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිසිවෙකුත් ඇතුලත් නොවන හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත ව්‍යුහය හරහාය.

  1. (1) 18 වන වගන්තිය මඟින් මණ්ඩලය වෙත පවරා ඇති බලතලවල

ව්‍යාප්තියට අගතියක් නොමැතිව, මණ්ඩලය විසින් පහත දැක්වෙන බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම.

(අ) විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා වන නිර්ණායක, කලින් කල නිශ්චය කිරීම.

(ආ) උපාධි, ඩිප්ලෝමා, සහතික පත්‍ර හා වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ඨතා ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් නියමාවලි මඟින් තීරණය කරනු ලැබිය හැකි යම් අධ්‍යයන තත්ත්වයන්ට වඩා අඩු නොවන අධ්‍යයන තත්ත්වයන්ට අනුකූලව අධ්‍යයන පාඨමාලා හා පුහුණු පාඨමාලා අනුමත කිරීම.

(ක) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවි, මහාචාර්ය පදවි, සහය මහාචාර්ය පදවි, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පදවි, කථීකාචාර්ය පදවි සහ එවැනි වෙනත් තනතුරු ඇති කිරීම,
අවලංගු කිරීම හෝ අත්හිටුවීම.

(ග) යම් අනධ්‍යයන තනතුරක් ඇති කිරීම, අවලංගු කිරීම හෝ අත්හිටුවීම.

(ච) විශ්වවිද්‍යාලයේ යම් අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සඳහා අවශ්‍ය සුදුසුකම් තීරණය කිරීම.

(ජ) විශ්වවිද්‍යාලයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කාර්ය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දේශීය හෝ විදේශීය ආයතන සමඟ සහයෝගිතා සහ හවුල් සම්බන්ධතා පිහිටුවා ගැනීම.

(ට) අධිශිෂ්‍යත්ව, ශිෂ්‍යත්ව, ඡාත්‍ර දක්ෂිණ, ශිෂ්‍යාධාර, පදක්කම් සහ වෙනත් ත්‍යාග ප්‍රදානය කිරීම.

(ඩ) තීරණය කරනු ලැබිය හැකි පරිදි මණ්ඩප, විද්‍යාල, පීඨ හා දෙපාර්තමේන්තු, මධ්‍යස්ථාන සහ වෙනත් ආයතන, පාසල් සහ අංශ පිහිටුවා ගැනීම.

(ණ) විශ්වවිද්‍යාලයේ නිලධරයන්ගේ, උපාධිධාරීන්ගේ සහ ශිෂ්‍යයන්ගේ උපාධි නේපථ්‍යය සහ ලාංඡන නිශ්චය කිරීම.

ඒ අනුව මෙම පනත හරහා පිහිටුවනු ලබන්නේ විශ්වවිද්‍යාලයක් නොව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, වෛද්‍ය සභාව, ඉංජිනේරු ආයතනය ආදී ව්‍යුහයන් සියල්ලේ පුර්ණ බලතල සහිත ඒ සියල්ලට ඉහළින් පවතින ව්‍යුහයකි. එසේම මෙම නව මණ්ඩලය හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, වෛද්‍ය සභාව, ඉංජිනේරු සභාව ආදී ව්‍යුහයන් බල රහිත ව්‍යුහයන් බවට පත්වේ.

  • රට පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් බිහිවීම.

මෙම පනත යටතේ පත් කරන මිලිටරි ව්‍යුහය සහිත පාලක මණ්ඩලයට 1978 විශ්වවිද්‍යාල පනත අදාළ නොවන අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සතු සියලූ බලතල හිමි වේ. ඒ අනුව පිහිටුවනු ලබන නව විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල, ආයතන, විද්‍යාල ආරම්භ කිරීම සිදු කල හැකි අතර එම ආයතන සඳහා සිසුන් බඳවා ගැනීමේ සිට ඒවාට අදාල නිර්ණායක නිකුත් කිරීම ශාස්ත්‍රීය තනතුරු ප්‍රධානය කිරීම දක්වාම තීරණ ගැනීම් බලය ඇත.

නව ආයතන ආරම්භ කිරීම පමණක් නොව පවතින වෙනත් ආයතන හා අනුබද්ධව කටයුතු කිරීමට තීරණය කිරීමේ හැකියාව ද මෙම මිලිටරි මණ්ඩලයට හිමි වේ.

මේ හරහා සිදු වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනුබද්ධව මුදල් අය කරමින් පවත්වාගෙන නව උසස් අධ්‍යාපන පද්ධතියක් බිහි වේ. එසේම දැනට පවතින සමාගම් පනත යටතේ ව්‍යාපාර ලෙස ආරම්භ කර ඇති දේශීය හෝ විදේශීය ඕනෑම උපාධි කඩයකට කොතලාවලට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. එමෙන්ම මේ වනවිට නොනිල මට්ටමින් උසස් අධ්‍යාපන ආයතන යැයි පවසමින් පවත්වාගෙන යනු ලබන ආයතන වලට පවා කොතලාවලට අනුබද්ධ ආයතන ලෙස නීතිමයභාවයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ.

එනම් මෙයින් සිදු වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, උසස් අධ්‍යාපන අමාත්‍යංශය කිසිඳු සම්බන්ධයක් නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් නිර්මාණය වීමයි.

  1. මේ පනතේ විධිවිධානවලට යටත්ව, විශ්වවිද්‍යාලයට පහත දැක්වෙන බලතල තිබිය යුතුය.

(ඌ) විශ්වවිද්‍යාලයේ අරමුණුවලට අවශ්‍ය විය හැකි කාර්මික, වෘත්තීය හෝ වෘත්තීමය ආයතන ද ඇතුළුව දේශීය හා විදේශීය උසස් අධ්‍යාපන ආයතන සමඟ අනුබද්ධව කටයුතු කිරීම.

(ච) විශ්වවිද්‍යාලයට අවශ්‍ය විය හැකි පරිදි වූ මණ්ඩප, විද්‍යාල, පීඨ, අධ්‍යයනාංශ, මධ්‍යස්ථාන, ශාස්ත්‍රීය ආයතන සහ වෙනත් යම් විශේෂිත ආයතන පිහිටුවීම.

  1. (1) 18 වන වගන්තිය මඟින් මණ්ඩලය වෙත පවරා ඇති බලතලවල ව්‍යාප්තියට අගතියක් නොමැතිව, මණ්ඩලය විසින් පහත දැක්වෙන බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, කිරීම ඉටු කිරීම.

(ඩ) තීරණය කරනු ලැබිය හැකි පරිදි මණ්ඩප, විද්‍යාල, පීඨ හා දෙපාර්තමේන්තු, මධ්‍යස්ථාන සහ වෙනත් ආයතන, පාසල් සහ අංශ පිහිටුවා ගැනීම.

  • පෞද්ගලික පාසල් ජාලයක් නිර්මාණය වීම.

මෙම පනත අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට රජයේ සරසවිවලට බාහිරව මුදල් ගෙවීමේ පදනම මත උපාධි කඩ ආරම්භ කිරීම මෙන්ම ඒ සඳහා ගැළපෙන පාසල් ජාලයක් ද ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තහවුරු කර ඇත.

  1. (1) 18

(ඩ) තීරණය කරනු ලැබිය හැකි පරිදි මණ්ඩප, විද්‍යාල, පීඨ හා දෙපාර්තමේන්තු, මධ්‍යස්ථාන සහ වෙනත් ආයතන, පාසල් සහ අංශ පිහිටුවා ගැනීම.

මෙය බරපතල තත්ත්වයකි. මෙරට පාසල් ආරම්භ කිරීම හෝ පවත්වාගෙන යාම සිසුන් බඳවා ගැනීම විෂය නිර්දේශ ආදී සියල්ල තීරණය කරනු ලබන්නේ අධ්‍යාපන අමත්‍යාංශය මඟිනි. එසේ නම් පාසල් සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යංශය සතු බලතල ද හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත මණ්ඩලයට හිමි වේ. මෙය සිදු වන්නේ මේ වනවිටත් නිසි ප්‍රතිපාදන වෙන් නොකිරීම හා පහසුකම් නොමැති වීම නිසා රජය යටතේ පවතින ඇතැම් පාසල් වසා දැමීමට තීරණය වන අවස්ථාවකය.

එසේ නම් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින පාසල් වසා දමන තත්වයක් තුල ආරක්ෂක අමාත්‍යංශය යටතේ මිලිටරි ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වන පාසල් පද්ධතියක් ද නිර්මාණය වීමේ අවදානමක් මේ හරහා මතු වේ. එසේම දැනට පවතින පෞද්ගලික පාසල් ලෙස පවත්වාගෙන් යනු ලබන ආයතන වලට ද කොතලාවලට අනුබද්ධ ආයතන ලෙස පවත්වාගෙන් යාමට අවස්ථාව ලැබේ.

  • මුදල් අය කිරීම නීතිගත කිරීම

අධ්‍යාපනය යනු සමස්ත සමාජයක අයිතියකි. වසර දහස් ගණනක් තිස්සේ දහස් ගණනක් ශ්‍රමය වැය කොට සොයා ගත දැනුම කිහිප දෙනෙකු යටතේ ලාභ ලැබීමට භාවිතා කල නොහැක. අධ්‍යාපනය ලාභ ලබන වෙළඳ භාණ්ඩයක් බවට පත් වුවහොත් සිදු වන්නේ කිසිඳු භේදයකින් තොරව ඕනෑම අයෙකුට ප්‍රවේශ විය හැකි ලෙස තිබිය යුතු අධ්‍යාපනය සීමිත පිරිසකගේ වරප්‍රසාදයක් බවට පත් වීමයි. ඒ හරහා වියදම් කල නොහැකි පිරිසකට අධ්‍යාපන අයිතිය අහිමි වීමත් අධ්‍යාපනය සම්බන්ධ බරපතල විෂමතාවකුත් නිර්මාණය වේ.

එසේම අධ්‍යාපනය ලාභ ලබන භාණ්ඩයක් බවට පත්වන විටම එහි මුලික අරමුණු උල්ලංඝනය වීමත් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිලිබඳ ගැටලු මතුවීම වැළක්විය නොහැකිය.

නමුත් මෙම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා පාඨමාලා සඳහා මුදල් අය කිරීම හා එම මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න තීරණය කිරීමේ බලය ද අදාළ මණ්ඩලයට හිමි වේ. එනම් අධ්‍යාපනය සඳහා මුදල් අය කිරීම එමඟින් ලාභ ලැබීම නිත්‍යානුකුල තත්ත්වයට පත් වේ. මෙතෙක් කලක් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ආණ්ඩුවට සිදු කරගත නොහැකි වූ අධ්‍යාපනය සඳහා මුදල් අය කිරීම රජය යටතේම පවතින ආයතනයක් හරහා නීති ගත කිරීම සිදුවේ.

(එ) මහජනතාවට හෝ යම් ආයතනයකට සපයනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය ඇතුළු යම් අධ්‍යයන, පුහුණු හා උපදෙස් පාඨමාලාවල ප්‍රතිපාදන සඳහා ගාස්තු අය කිරීම සහ එසේ ජනනය වූ ආදායම යම් නියමාවලි මඟින් නියම කරනු ලැබිය යුතු යම් ආකාරයකට විශ්වවිද්‍යාලයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා යොදා ගැනීම.

මෙම පනත සම්මත වුවහොත් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තල දෙකක් නිර්මාණය වේ. එනම් පොදු බඳවාගැනීම් පටිපාටියක් යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අනෙකුත් ව්‍යූහයන්වල අධීක්ෂණය යටතේ උපාධි ලබන්නන් සහ ඉහත කිසිඳු ව්‍යුහයක අධීක්ෂණයකින් පිළිගැනීමකින් තොරව උපාධි ලබන්නන්ය. දැනටමත් මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය වෙනුවෙන් වෙන්වන ප්‍රතිපාදන බරපතල ලෙස කප්පාදු කර ඇති තත්ත්වයක් තුළ මෙකී තල දෙක අතර විෂමතාව විසින් නිදහස් අධ්‍යාපනය වලපල්ලට යාම වැළක්විය නොහැක.

  • වෘත්තීය ප්‍රමිතිය පරීක්ෂා කරන ආයතන බල රහිත වීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය, ඉංජිනේරු සභාව, හෙද සභාව වැනි ආයතන පවතින්නේ අදාළ ක්ෂේත්‍ර වල වෘත්තීය ප්‍රමිතිය, ගුණාත්මකභාවය අධීක්ෂණය කරන ආයතන වේ. මෙම ආයතන 100% ක් ස්වාධීන යැයි කිව නොහැකි වුව ද මෙම සභාවන් වල ව්‍යුහය සකස් වන්නේ අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙනි.

අධ්‍යාපනය විකුණන ආයතන සම්බන්ධ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු මතුවූ අවස්ථාවන්හිදී මෙම ආයතන සාධනීය මැදිහත් වීම ද සිදු කර ඇත. මේ වනවිටත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) පිළිගැනීම හිමිව නැත.

එම පිළිගැනීමට කොතලාවල ආයතනයට ලබාදෙන ලෙස බල කරමින් පහුගිය සමයේ ජනාධිපතිවරයා පවා පලපෑම් කර තිබිණ. එසේම කොතලාවල වෛද්‍ය පීඨයේ උපාධියට වෛද්‍ය සභාවේ අනුමැතිය පැවතිය ද ඔවුනට වෛද්‍ය වෘත්තියේ යෙදීමට අවකාශයක් නොවීය. එම අවස්ථාව ලබාදීම් සඳහා 2014 වසරේ වෛද්‍ය අඟහ පනතට සංශෝධනයක් ඉදිරිපත් කර එම පනත පවා වෙනස් කිරීමට කටයුතු කෙරිණ.

සාපේක්ෂ ස්වාධීනත්වයක් සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් නියෝජනය සහිතව පවතිද්දී පවා මෙම ආයතනවලට බලපෑම් සිදුවීම් හා අදාළ ආයතනවල නිර්දේශ නොසලකා කටයුතු කිරීම දක්නට ලැබේ.

එසේනම් මෙම පනත හරහා නිර්මාණය වන මිලිටරි ව්‍යුහය මෙම කිසිඳු ආයතනයකට වග නොකියන නමුත් මෙම ආයතන සියලේම බලතල සහිත ව්‍යුහයක් බවට පත් වේ. එය රටේ අධ්‍යාපනය හා වෘත්තීය ගුණාත්මකභාවය පිලිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන කාරණයකි. මන්ද රජයේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් පිටවන පිරිස් නියාමනයට වෙනම ආයතන පවතිද්දී එම ආයතන සියල්ලේ බලය සහිත තනි ව්‍යුහයක් හරහා පාලනය වන ආයතන ගණනාවකින් ඉහත වෘත්තීය ආයතන කිසිවකට වගකීමක් නොදරන පිරිසක් ද ක්ෂේත්‍රයට මුදා හැරේ.

  • මර්දනයට පාර කැපීම

පාසල් සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මුදල් ගෙවීමට සිදුවීම සම්බන්ධව පසුගිය කාලය පුරා පාසල් විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව දෙමාපියන් හා ගුරුවරු ද බරපතල පීඩාවකට මුහුණ දෙනු ලැබීය. එය දිනෙන් දින වැඩි වුවා මිස ජනතා බදු මුදල් අධ්‍යාපනය යෙදවීම් වෙනුවට සිදු වුයේ වසරින් වසර අධ්‍යාපනයට ප්‍රතිපාදන කපා හැරීමයි.

අධ්‍යාපනය විකිණීම, ගාස්තු අය කිරීමට එරෙහිව පසුගිය කාලය පුරා විරෝධතා පැන නැගුනු අතර එම ගැටලුවලට විසඳුම් දීම වෙනුවට ආණ්ඩුව සිදු කරනු ලැබුවේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලු සටන් කරන බලවේග වෙත බරපතල මර්දනයක් ක්‍රියාත්මක කිරීමයි.

මෙම පනත හරහා මර්දනයට අදාළ නීතිමය තත්වය පනත තුළම අන්තර්ගත කර ඇත.

  1. විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව නැතහොත් එම තත්ත්වය මඟින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරිතවය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යැයි ඔහු විසින් සලකනු ලබන සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධාන කරනු ලැබිය හැකි ය.

ඉහත වගන්තිය අනුව ශිෂ්‍යයින් පමණක් නොව ආචාර්යවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල පවා යම් අසාධාරණයකදී හඬ නැඟීම, වෘත්තීය අරගලයකදී ගනු ලබන ක්‍රියාමාර්ග පවා මර්දනය කිරීමට ඇමතිවරයාට බලය පැවරේ. මෙය ජාතික ආරක්ෂාව යන්නට මුවා වී අධ්‍යාපනය විකිණීමට හා එයට එරෙහි වන්නන් මර්දනයට නීතිමයභාවයක් ලබා ගැනීමකි.

හොඳින් සිතා බලන්න පසුගිය සෑම ආණ්ඩුවකටම මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කරගත නොහැකි වූ ප්‍රධාන ප්‍රතිසංස්කරණය නම් අධ්‍යාපනය පෞද්ගලිකකරණයයි. එය සිදු කරගැනීමට හා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට ගෙනා කිසිඳු ව්‍යාපෘතියක් සාර්ථක කරගැනීමට ආණ්ඩුවට නොහැකි වූයේ ශිෂ්‍ය ව්‍යාපාරය ප්‍රමුඛ බලවේගවලින් එල්ල වූ විරෝධය හා නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා අඛණ්ඩව ගෙනගිය අරගලයයි. එසේම වෛද්‍ය සභාව වැනි ව්‍යුහයන් හරහා ද පසුගිය කාලය තුළ ඊට බාධා එල්ල විය. නමුත් මෙම පනත හරහා එම බාධාවන් දෙකම ඉවත් කරගැනීමට සැලසුම් කර ඇත.
බරපතලම කාරණය වන්නේ ආණ්ඩුව ඉදිරියේදී පාසල් අධ්‍යාපනය සඳහා ද ප්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීමයි. එම ප්‍රතිසංස්කරණවල ඉල්ලකය ඉතා පැහැදිලිවම අධ්‍යාපනය විකිණීම හා වෙළඳපොලට අවශ්‍ය අධ්‍යාපනයක් සකස් කිරීමයි.

Baticlo Campus ආයතනය කොතලාවට අනුබද්ධ කිරීමට යෝජනා වන්නේත්, 2019 උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට සැලසුම් කරන්නේත්, හොර රහසේ මෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත

leave a reply