කිව් ගීවලට තැන්කිව් හස රජ සිල්වා ….

දැක්කත් හිනා යන ඉද්දිත් ඇඬීලා
චරිතෙක මතක නම් නොම යයි කැඩීලා
දුන් රස එන නිසා යළි යළි වැඩීලා
ඇගැයිය යුතු නොවෙද දැන්වත් ෆ්‍රෙඩීලා

ගායකයට වඩා ඉස්මතු වුණෙ නළුවා
මිනිහගෙ පිචර් අපි පැල් බැඳගෙන බැලුවා
ඔහුගේ ගීයෙනුත් හෙන සොමියක්‍ ගැලුවා
ඒවත් අසා අසා අපි අප්පුඩි තැලුවා

බාර් බාර් කියමින් අරඹා ගමන
සූර් වෙන්න දුන්නා තම නැණ පමණ
අදත් අහනවිට දෙකණින් දුම් දමන
සිංදු එක්ක මිනිහෙක් කළ හැටි රමණ

කෑමක් පවා නොගෙනම අයිනක් අල්ලා
හිටි බල්ලෙක් නිසා සෝකෙට පත් කොල්ලා
කඩවුණු තමන්ගේ බලු අයිතිය ඉල්ලා
බලුකම ගැනම මතකද දුක් වුණු බල්ලා

ආරොන් මල්ලි බාරොන් මොරටුවෙ වඩුව
කෙරුවොත් වඩු වැඩක් හෙම තනිකර නඩුව
හදලා ඇඳක් සැරයක් කොලිටිය අඩුව
හනිමුන් රැයේ ජෝඩුවෙ ආතල් කැඩුව

යද්දී බොරු කකුල්කාරයෙකුත් පාරේ
ඇයි ඔහු එහෙම යන්නේ මට නොම තේරේ
පුතෙකුගෙ මුවින් පැන පිට පැන යයි දෝරේ
මරු පිළිතුරක් දීලා පියතුම බේරේ

ගීයෙන් කියන්නට නම් ගියෙ නොමැත බණ
උත්ප්‍රාසයයි තිබුණේ සළකුණක් මෙන
ඒවා ඇසූ විට හිනැහී ගියා පන
හඳ මාමා ගැනත් ගැයුවා උඩින් යන

කන්දක් උඩට ගිය ජැක් සහ ජිල් දෙන්නා
මරු පාඩමක් අප හට පෙන්වා දුන්නා
මිනිහගෙ ගීත විමසන උදවිය දන්නා
මතුපිට හිනාවට වැඩි අරුතක් ගන්නා

හැඬවූ ගිගිරි ජගිරිද කස්තුරි සුවඳේ
මේවා ඉතිං ඇස් කන් දෙකටම සුව දේ
මේ වගේ අය තවත් නැති එක නම් සොව දේ
හිටියා නම් ගයයි මිනිහා තව තව දේ

ප්‍රංශෙන් ඇවිත් රැජිනක් මොනවද අහලා
හිටියා වරක් ලව් එක ඉහටම ගහලා
ඉතිහාසයේ ඇති පෙම් පුවතුත් ලිහලා
ගෙනහැර පෑව හැටි තම පෙම නොම වහලා

කකුළුවෙකුට හිතී දවසක් මොනවාද
තියමින් කෙලින් නුපුරුදු මුත් තම පාද
කරමින් සනුහරේ උන් සමගත් වාද
රැඩිකල් වෙන්න හැදු හැටි මතකයි නේද

දැම්මේ ලෙච්චමීටත් පෙම්බර බැල්ම
තනිපංලමෙ ඉන්නයි තිබුණේ ඇල්ම
වෙනකෙකු සමග ඇය දීගෙක යනකල්ම
හිටියේ හිතින් කඩ කඩ තනියම මල්ම

තිබුණා ශෛලියක් කරගෙන ඔහුට නතූ
ඒ ගැන කතා වෙයි ඔහු නැති නමුත් මතූ
උපහාසාත්මක අකාරයෙන් ගෙතූ
කදිමයි මොට්ටපාලගෙ පාසලේ තතූ

ළග එන උපන්දිනයක් හින්දා බාරී
ඇදගෙන ෂොපින් ගිය හැටි ගන්නට සාරී
ඒ වගෙ ගමන් නොගිහින් හිටියොත් බේරී
බාරිල ඇල්ලුවෙම සැමියන් හා ගෝරී

තම පාඩුවේ ගීයක් ගැයු විට අයියා
මැද්දට විත් එකෙක් ගැහු විට බොරූ කයියා
පෙන්නා පාංකිරිතුන් විද්වත් සෙයියා
කෑදැත්තාගෙ සැනෙකින් කුඩු කළෙ පොයියා

හිටියා ප්‍රේම් හෙවනැල්ලක් ලෙස යෝද
වික්ටගෙ මෙලඩි අති සුමිහිරි සැප නාද
මේ අය එකතුවුණු තැන මැවුණෙම සාද
තුන් කට්ටුවේ ගී ටික මතකයි නේද

මිනිහා හොයාගෙන අලුතෙන් කලාවක්
පෙත්සම් ගහමු කිව්වා ගෙන වෙලාවක්
මේ ගී සියුම් උපහාසම ගුලාවක්
මේවා මැනිය යුතුමයි ගෙන තුලාවක්

මිනිහා ගීතයෙන් දුන් රස නොමැත ෂෝට්
ඒකට රසික පර්ෂදයෙන් ලැබුණි වෝට්
ඒවා සිංදුවෙන් සිංදුව හොදට නෝට්
වික්කා වතාවක් ගෙනැවිත් ⁣පරණ කෝට්

එක ගීයකට නම් මගෙ හදවත හෙල්ලේ
සෙසු ගී අතර එය නැත කොමඩිම රැල්ලේ
නුඹ මගෙ කුණ්ඩුමනයයි සුන්දර කෙල්ලේ
කී පෙම මැරුණි මන්නාරම් පිටිවැල්ලේ

ගායන මග අමුතු හැඩයක එළි දල්වා
ගී ආලේප අප හදවත තුළ ගල්වා
ගීයෙන් ගීය අති උත්ප්‍රාසෙක ගිල්වා
කිව් ගීවලට තැන්කිව් හස රජ සිල්වා

ප්‍රියන්ත කොඩිප්පිලි

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...